Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව World Cup 2019 පාකිස්තානු බලාපොරොත්තු වැස්සේ සේදෙයි

පාකිස්තානු බලාපොරොත්තු වැස්සේ සේදෙයි

editorial - 2019 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : දමින්ද විජේසූරිය)

 

බාබර් අසාම් සහ ෆකාර් සමාන් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 104 සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් මැදපෙළ අසාර්ථක වීම හේතුවෙන් පාකිස්තානුවෝ අමාරුවේ වැටුණහ.

එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර, ඕල්ඞ් ට්‍රැෆර්ඞ් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවති ලෝක කුසලන තරගයේදී පාකිස්තානු කණ්ඩායම ලකුණු 337 ක ඉලක්කයක් හඹා යමින් සිටියේය. එහෙත් තරගයේ 35 වැනි ඕවරයේදී වර්ෂාව ඇද හැළෙන විට පාකිස්තානු පිලට ලබාගත හැකිව තිබුණේ කඩුලු 6 ක් දැවී ලකුණු 166 ක් පමණි. පස්වරු 7.10 ට පමණ තරගය නැවත ආරම්භ වූ අවස්ථාවේදී පාකිස්තානුවන්ගේ ඉලක්කය ඕවර 40 කදී ලකුණු 302 ක් සේ සංශෝධනය කර තිබිණ. එහෙත් තරගය අවසන් වූයේ ඩක්වර්ත් - ලුවිස් න්‍යාය අනුව ඉන්දියාවට ලකුණු 89 ක ජයක් ලෙසිනි.

ඉන්දීය පන්දු යවන්නන් හමුවේ ලකුණු 337 ක ඉලක්කයක් කරා යාම පහසු අභියෝගයක් නොවේ. පස්වැනි ඕවරයේදීම ඉමාම් උල් හක් දැවී ගිය නමුත් බාබර් අසාම් සහ ෆකර් සමාන් එක්ව සටන ගෙන ගියහ. කුල්දීප් යාදව් පැමිණ පන්දු 3 ක් ඇතුළතදී මෙම පිතිකරුවන් දෙදෙනාම පිටියෙන් ඉවත් කිරීම හේතුවෙන් පාකිස්තානුවෝ නොසිතූ අමාරුවක වැටුණහ.  

එතැන් සිට පාකිස්තානුවන්ගේ බලාපොරොත්තු බිඳෙන් බිඳ විසිරී යද්දී පස්වරු 6.20 ට පමණ පැමිණි වර්ෂාවේ එය සහමුලින්ම දියවී ගියේය. 40 වැනි ඕවරය නිමාවේදී පාකිස්තානයට ලබාගත හැකිවූයේ කඩුලු 6 ක් දැවී ලකුණු 212 ක් පමණි.

වසර 1992 සිට මේ දක්වා ලෝක කුසලාන තරගාවලි 7 ක් පැවැති නමුත් එදා මෙදා තුර ලෝක කුසලාන තරගයකදී පාකිස්තානු කණ්ඩායමකට ඉන්දීය පිල පරාජය කළ හැකිවී නැත.

කාසියේ වාසිය අහිමි වූ නමුත් පළමුව පන්දුවට පහර දෙන්න යයි ඉන්දීය පිලට ආරාධනා කෙරිණ.

එක්දින ලකුණු 11,000 පසුකර ගිය වේගවත්ම පිතිකරුවා වූ විරාට් කෝලිත් අලංකාර නමුත් ප්‍රචණ්ඩකාරී පිතිහරඹයක නිරත වූ රෝහිත් ෂර්මාත් (140) එක්ව ඉන්දීය පිල ලකුණු 300 න් ඔබ්බට කැඳවාගෙන ගියහ. තරගයේ 47 වැනි ඕවරයේදී වර්ෂාව නිසා ක්‍රීඩාව නතර කරන විට ඉන්දීය පිල කඩුලු 4 ක් දැවී ලකුණු 305 ක් ලබා තිබිණ. නැවතත් තරගය ආරම්භ කිරීමෙන් පසුව ඉන්දියානුවෝ තමන්ගේ ලකුණු සංඛ්‍යාව කඩුලු 5 කට 336 ක් දක්වා ඉහළ දැමූහ.

විරාට් කෝලි ලකුණු 77 ක් ලබාගත් අතර පන්දු 113 කදී ලකුණු 140 ක් ලබාගත් රෝහිත් ෂර්මා දැවී ගොස් තිබිණ. ලෝක කුසලාන තරගයකදී පාකිස්තානයට එරෙහිව ශතකයක් ලබාගත් දෙවැනි පිතිකරුවා බවට රෝහිත් ෂර්මා පත්වූ අතර රෝහිත්ට පෙර විරාට් කෝලි එම දස්කම කළ පිතිකරුවා වී සිටියේය.

දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී ලකුණු 122 ක් ලබාගනිමින් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කළ රෝහිත් ෂර්මා ඕස්ටේ්‍රලියාවට එරෙහිව ද අලංකාර ලකුණු 57 ක් ලබාගත්තේය. 31 වැනි ඕවරයේදී ෂර්මා ශතකය ලබාගන්නා විට ඉන්දීය පිල කඩුල්ලක් දැවී ලකුණු 172 ක් ලබා සිටියේය.

සිය 222 වැනි එක්දින ඉනිමේදී 11,000 වැනි ලකුණ ලබාගත් විරාට් කෝලි ඉනිම 276 කදී මෙම කඩයිම පසුකළ සචින් තෙන්ඩුල්කාර්ගේ ලෝක වාර්තාවත් අභිබවා ගියේය.

කාසියේ වාසිය ඉන්දීය පිලට අහිමි වූ නමුත් තාවකාලික ආරම්භක පිතිකරුවා වූ ලෝකේෂ් රාහුල් සමග එක්වූ ෂර්මා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 137 ක සමබන්ධතාවක් ගොඩනැංවීය. එය මෙම පිතිකරුවන් දෙදෙනා එක්දින තරගයකදී ඉනිම ආරම්භ කළ පළමු අවස්ථාව ද විය.

පන්දු 34 කින් සිය අර්ධ ශතකය කරා අවතීර්ණ වූ දකුණත් ආරම්භක පිතිකරුවා, වේග පන්දු යවන හසන් අලී හමුවේ ගැසූ ස්ක්වෙයාර් කට් පහරකින් පන්දුව නරඹන්නන් අතරට යවා ලකුණු 90 සීමාවට ඇතුළත් විය. පන්දු 85 කදී සිය 24 වැනි එක්දින ශතකය සම්පූර්ණ කළ රෝහිත් ෂර්මා හයේ පහර 3 කින් සහ හතරේ පහර 9 කින් එය අලංකාර කර තිබිණ.

මේ අතරවාරයේදී වමතින් වේග පන්දු යවන්නන් වූ වහබ් රියාස්ට මෙන්ම මොහොමඞ් අමීර්ටද තණතීරුව මත දිවයාම සම්බන්ධයෙන් විනිසුරුවරු අවවාද කළහ. ඕස්ට්‍රේලියානු පිල හමුවේ සිය හොඳම එක්දින පන්දු යැවීම වාර්තා කළ මොහොමඞ් අමීර් දෙවතාවක්ම එම වරද කළ අතර තවත් එක වතාවක් හෝ තණතීරුව මත දිවගියේ නම් මෙම තරගයේදී ඔහුගේ පන්දු යැවීම තහනම් කිරීමට විනිසුරු බෲස් ඕක්සන්ෆර්ඞ් මහතාට අවසර තිබිණ.

තරගය ආරම්භ කිරීමට පෙර පාකිස්තානයේ වත්මන් අගමැති ඉම්රාන් ඛාන් මහතා (1992 දී ලෝක කුසලානය පාකිස්තානයට දිනා දුන් කණ්ඩායමේ නායකයා) පාකිස්තානු පිලේ නායක සර්ෆ්‍රාස් ඛාන්ගෙන් ඉල්ලා සිටියේ කාසියේ වාසිය ජයගතහොත් පළමුවෙන් පන්දුවට පහරදීම තෝරා ගන්නා ලෙසයි. එහෙත් සර්ෆ්‍රාස් පාකිස්තානු අගමැතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

මේ වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ කණ්ඩායම 10 ක් අතුරින් 9 වැනි ස්ථානය ගෙන සිටින පාකිස්තානයට ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළ නැගීමට අවශ්‍ය නම් මෙම තරගයේදී ඉන්දියාව පරාජය කළ යුතුව තිබේ.

මේ වන විට ලෝකය පුරා කෝටි 100 කට වැඩි පිරිසක් රූපවාහිනියෙන් මෙම තරගය නරඹමින් සිටින අතර 800,000 ක් දෙනා මැන්චෙස්ටර් නුවර ඕල්ඞ්ට්‍රැෆර්ඞ් ක්‍රීඩාංගණයේදී තරගය නැරඹීම සඳහා ප්‍රවේශ පත් ඉල්ලා තිබිණ. එහෙත් මැන්චෙස්ටර් ක්‍රීඩාංගණයේ අසුන්ගත හැක්කේ ප්‍රේක්‍ෂකයන් 26,000 කට පමණි.

..

 
 

අදහස් (0)

පාකිස්තානු බලාපොරොත්තු වැස්සේ සේදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.