Last Update  :  2024-03-28 18:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව World Cup 2019 දිමුත්ගේ හිදැස වාසියක් වෙන්නත් පුළුවන්

දිමුත්ගේ හිදැස වාසියක් වෙන්නත් පුළුවන්

editorial - 2019 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


---------------------------------------------------------------------------------------------------------------------------
“දිමුත් කරුණාරත්න ඉතාමත් දක්‍ෂ ක්‍රීඩකයෙක්. ඔහු පිතිකරු තාක්‍ෂණයෙන් පිරිපුන්. පසුගිය වසර දෙකේදීම ටෙස්ට් තරග වලදීත් ඔහු ඉතාමත් සාර්ථක ක්‍රීඩකයෙක්....එක්දින තරග වලදී භාවිතා කෙරෙන අලුත් පන්දු දෙක නිසා, දිගු වේලාවක් පිටියේ රැඳී සිටිය හැකි, නැංගුරමක් වන් පිතිකරුවකු කණ්ඩායමට අවශ්‍යයි”
---------------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න වසර 4 කට ආසන්න කාලයක් එක්දින තරග වලට සහභාගිනොවී සිටීමේ හිදැස, මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ වාසියට සිටිය හැකි බව කුමාර් සංගක්කාර මහතා කියයි. පසුගිය අඟහරුවාදා (21 වැනිදා) ස්කොට්ලන්තයට එරෙහිව සිය 18 වැනි එක්දින තරගයට සහභාගි වූ දිමුත් කරුණාරත්නගේ 17 වැනි එක්දින තරගය පැවැතියේ ඊට වසර 4යි, මාස 2 ක් සහ දින 20 ක් එපිටිනි.

2015 මාර්තු මස 1 වැනිදා, එංගලන්ත පිලට එරෙහිව, නවසීලන්තයේ වෙලින්ටන් නුවරදී පැවැති එම තරගයේදී පන්දුවට පහරදීමට දිමුත් කරුණාරත්නට අවස්ථාවක් නොලැබිණ. කුමාර් සංගක්කාර (නොදැවී 117) සහ ළහිරු තිරිමාන්න (නොදැවී 139) ශතක ලබාගත් හෙයින් එම තරගයේදී ශ්‍රී ලංකා පිල කඩුලු 9 ක ජයක් ලබාගත්තේය.

“දිමුත් කරුණාරත්න කණ්ඩායමට එන්නේ අලුත් මුහුණුවරක් අරගෙන. අලුත් නායකයෙක් වගේ. ඒක කණ්ඩායමට වාසිදායක තත්ත්වයක් නිර්මාණය කරන්නත් පුළුවන්”  

“ඔහු කණ්ඩායමට එන්නේ පසුගිය වසර දෙකහමාර පුරාම, ඕනෑවටත් වඩා ප්‍රශ්න සහ ගැටළු වලට මුහුණ දුන්න කණ්ඩායමක හිටපු, ඒ ගැටළු කරපින්නාගත්ත කෙනෙක් විදිහට නෙමේ. තමන් ක්‍රීඩා කරන්න ඕනේ කොහොමද?, තමන් එක්ක ඉන්න ඕන ක්‍රීඩකයන් කවුරුන්ද යන්න වගේ ප්‍රශ්න ඔහුට නෑ” යයි ද සංගක්කාර මහතා පැවසීය.

ලෝක කුසලාන තරගාවලියට පෙරාතුව ශ්‍රී ලංකාවේ සූදානම කොතෙක් අවුල් සහගත තත්ත්වයක පැවැති නමුත් නව නායක දිමුත් කරුණාරත්නගේ නැවුම් බව හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දැනට මුහූුණ දී සිටින අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් මිදෙනු ඇතැයි ද සංගක්කාර මහතා කියයි.

ශ්‍රී ලංකා කණ්ඩායම 2019 ලෝක කුසලාන තරගාවලියට ඉදිරිපත් වෙන්නේ සිය අවසන් එක්දින තරග 9 න් තරග 8 ක්ම පරාජය වීමෙන් පසුවය. මේ වන විට එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ 9 වැනි ස්ථානයට වැටී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේදී ලබාගත්තේ එකම ජයග්‍රහණයකි. එය එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ 13 වැනි ස්ථානයේ සිටින ස්කොට්ලන්ත පිලට එරෙහිවය. තවමත් ටෙස්ට් වරම් ලබා නැති ස්කොට්ලන්ත පිල මෙවර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට අපොහොසත් විය.

පසුගිය 24 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ලෝක කුසලාන පුහුණු තරගයද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 87 කින් පරාජය විය.

“සූදානම ටිකක් අවුල් සහගත තමයි. කණ්ඩායමේ දස්කම් පවත්වාගැනීම වගේම තේරීම් සම්බන්ධයෙන් කියන්න තියෙන්නේත් ඒ ටිකම තමයි. විශේෂයෙන්ම ක්‍රීඩකයන්ට එක දිගට අවස්ථාව දෙමින් ඔවුන්ට තමන්ගේ විශ්වාසනීයත්වය වර්ධනය කරගන්න අවස්ථාව දෙන්න ඕනා” යයි ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයා පසුගියදා ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී කියා සිටියේය.

“මේක එක දිගටම කළ කැළැත්තීමක්. ඒ වගේ වෙලාවක කණ්ඩායමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ඔවුන් උත්සාහ කරන්නේ නෑ. ක්‍රීඩකයන් කරන්නේ තමන්ව ආරක්‍ෂා කරගැනීමේ අවශ්‍යතාව නිසා පසුපස බැලීමයි. මා හිතන්නේ ප්‍රශ්නය ඇතිවුණේ එතැනයි” යයි සංගක්කාර පැවසීය.

2003 සිටම ලෝක කුසලාන තරග වලට ක්‍රීඩා කරන කුමාර් සංගක්කාර ලෝක කුසලාන තරග බිමෙන් සමුගත්තේ 2015 තරගාවලියේදී එක දිගට ශතක 4 ක් ලබාගනිමින් වසර 40 ක ලෝක කුසලාන තරග ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවමිනි. 2003 ලෝක කුසලාන තරගාවලියේදී, දකුණු අප්‍රිකාවේ පෝර්ට් එළිසබෙත් නුවරදී ඕස්ටේ්‍රලියානු පිලට එරෙහිව අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කළ සංගක්කාර 2007 දී මෙන්ම 2011 දීත් ලෝක කුසලාන අවසන් මහ තරග දෙකේදීම ක්‍රීඩා කළේය. ඔහුගේ අවසන් ලෝක කුසලාන තරගය වූයේ 2015 දී ඕස්ටේ්‍රලියානු පිලට එරෙහිව සිඞ්නි නුවරදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයයි.

වසර 2017 ආරම්භයේ සිටම ශ්‍රී ලංකා කණ්ඩායමට නායකයෝ හය දෙනෙක් සිටියහ. ඔවුන් අතුරින් ආසන්නතම නායකයා වන්නේ ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න වන නමුත් ඔහු ස්කොට්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන විට වසර 4 කින් මෙපිට එක්දින තරගයකට ක්‍රීඩා කර නොතිබිණ. ඊට එක් ප්‍රධාන හේතුවක් වූයේ ටෙස්ට් පිලේ ආරම්භක පිතිකරුවා වන කරුණාරත්න, සීමිත ඕවර තරග වලදී මන්දගාමීව ලකුණු රැස්කිරීමයි.

“දිමුත් කරුණාරත්න ඉතාමත් දක්‍ෂ ක්‍රීඩකයෙක්. ඔහු පිතිකරු තාක්‍ෂණයෙන් පිරිපුන්. පසුගිය වසර දෙකේදීම ටෙස්ට් තරග වලදීත් ඔහු ඉතාමත් සාර්ථක ක්‍රීඩකයෙක්....එක්දින තරග වලදී භාවිතා කෙරෙන අලුත් පන්දු දෙක නිසා, දිගු වේලාවක් පිටියේ රැඳී සිටිය හැකි, නැංගුරමක් වන් පිතිකරුවකු කණ්ඩායම අවශ්‍යයි” යයි ද සංගක්කාර මහතා කීවේය.

ලබන ඔක්තෝබර් මස 1 වැනිදා සිට මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති තනතුර බාරගැනීමට සූදානමින් සිටින සංගක්කාර මහතා, මාර්ලිබෝන් ක්‍රීඩා සමාජයේ වසර 232 ක ඉතිහාසය ඇතුළත, එම තනතුරට පත්වූ පළමු වැනි බි්‍රතාන්‍ය නොවන ජාතිකයාය. ලෝකයේ වඩාත්ම ගරුසැලකිලි ලැබෙන ක්‍රීඩාංගණය ලෙසින් සැලකෙන ‘ලෝඞ්ස්’ ක්‍රීඩාංගණයේ හිමිකරුවන් වන මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය ක්‍රිකට් ක්‍රීඩාවේ නීතිරීති සම්පාදනය සම්බන්ධයෙන්ද භාරකාරත්වය උසුළයි. සම්ප්‍රදායක් වශයෙන් මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ඊළඟ සභාපතිවරයා නම්කරනු ලබන්නේ ඉවත්ව යන සභාපතිවරයා විසිනි.

මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ මෙතෙක් හිටපු සභාපතිවරුන් සමග සංසන්දනය කිරීමේදී ඉතාමත් ළාබාළ තැනැත්තෙකු වන සංගක්කාර මහතාට එම ක්‍රීඩා සමාජයේ වත්මන් සභාපති ඇන්තනි රෙෆර්ඞ් මහතා මුණගැසුණේ පසුගිය වසර අගදී පැවැති එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදීය. සාර්ථක ව්‍යාපාරිකයකු මෙන්ම ක්‍රිකට් පරිපාලන නිලධාරියකුද වන ඇන්තනි රෙෆර්ඞ් මහතා මුණගැසුනු ඒ අවස්ථාවේදී කුමක් සිදුවේද යන්න පිළිබඳ සංගක්කර මහතාට එතරම් වැටහීමක් නොතිබිණ.

“ඒක අති විශාල ගෞරවයක්. එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී රාත්‍රී භෝජන සංග්‍රහයකට එන්න කියලා ඇන්තනි මහතා මට ආරාධනා කළා. ඒ ඇයි කියලා මම හාං කවිසියක් දැනගෙන හිටියේ නෑ...ඒක හරිම රසවත් සංවාදයක් වුණා. ඊට පස්සේ....ජනවාරි මාසයේදී.. මට ඔහු මට දුරකතන ඇමතුමක් දුන්නා....”
“මට ඔබගෙන් දෙයක් අහන්න ඕනා.....කියලා ඔහු රහසින් වගේ කිව්වා...ඊට පස්සේ තමයි මේ දේවල් මේ විදිහට වුණේ” යයිද සංගක්කාර මහතා පැවසීය.

කුමාර් සංගක්කාර මහතා මෙවර ලෝක කුසලාන තරගාවලියේ විස්තර විචාරකයන්ගේ ලයිස්තුවට ඇතුළත්ව සිටින එකම ශ්‍රී ලාංකිකයාය.

------------------------------------------------------------------------------------------------------------------------------

(ප්‍රංශ පුවත් සේවය ඇසුරිනි - සැකසුම : දමින්ද විජේසූරිය)


අදහස් (0)

දිමුත්ගේ හිදැස වාසියක් වෙන්නත් පුළුවන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.