Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව World Cup 2019 නවසීලන්තය නිහඬ සැලසුමක

නවසීලන්තය නිහඬ සැලසුමක

editorial - 2019 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : දමින්ද විජේසූරිය)
මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබූ මූලික වටයේ තරගය වර්ෂාවට සේදී ගියේය. එනිසාම නවසීලන්ත පන්දු යවන්නන් සම්බන්ධයෙන් කිසියම් වැටහීමක් ලබාගැනීමට ඉන්දීය පිතිකරුවන්ට තිබූ අවස්ථාව අහිමි වී ගිය ලෙසින්ම ඉන්දීය පිලේ දඟ පන්දු යවන්නන් මෙන්ම ජස්ප්‍රීට් බුම්රා වැනි වේග පන්දු යවන්නන්ගේ උපක්‍රම අධ්‍යනය කිරීමට නවසීලන්ත පිතිකරුවන්ට තිබූ අවස්ථාවත් ගිළිහී ගියේය.

දෙපිලටම එවන් අවාසිදායක තත්ත්වයන් තිබුණ නමුත් ඉන්දීය නායක විරාට් කෝලි පවසන පරිදි දෙපිලේම ක්‍රීඩකයන්ට අනෙකාගේ සමත්කම් හඳුනාගැනීමේ අලුත් විජ්ජාවක් නැත. අයි.පී.එල්.  තරගාවලියට ස්තුති වන්නට ක්‍රීඩකයෝ එකිනෙකාගේ හැකියාවන් මෙන්ම දුර්වලතාද හොඳින් හඳුනති. ඇරත් ලෝක කුසලාන තරගාවලියට පෙර දෙරට අතර පැවැති එක්දින තරගාවලියේදී ඉන්දියානුවෝ 4-1 ක ජයක් අත්කර ගත්හ.

ඉන්දියාව සහ නවසීලන්තය අතර හෙට (9 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන අවසන් පූර්ව තරගයට පෙර ඇත්තේ එවන් තත්ත්වයකි. අවසන් පූර්ව තරගය මැන්චෙස්ටර්හි ඕල්ඞ් ට්‍රැෆර්ඞ් පිටියේදී පැවැත්වේ.

ඉන්දීය පිලේ හිටපු නායකයකු මෙන්ම විශිෂ්ටතම පිතිකරුවකු වූ සචින් තෙන්ඩුල්කාර් කල්තබාම කීවේ ඉන්දියාව අවසන් මහ තරගය දක්වා එන බවයි. සචින්ගේ මෙම අනාවැකිය තමන්ට කදිම උත්තේජනයක් බව නවසීලන්ත පුහුණුකරු ගැරී ස්ටෙඞ් මහතා කීවේය.

“මිනිසුන්ගේ බලාපොරොත්තුව අපේ ජයග්‍රහණය නෙමේ. ඒත් මට පෙනෙන විදිහට ඒක අපට ඉන්න තියෙන හොඳ තැනක්” යයි 2015 ලෝක කුසලාන තරගාවලියේදීත් අවසන් මහ තරගයට සුදුසුකම් ලද නවසීලන්ත පිලේ පුහුණුකරුවා පැවසීය.

නවසීලන්තය සාමාන්‍යයෙන් වැඩිපුර කයිවාරු ගහන කණ්ඩායමක් නොවේ. ඔවුන්ගේ සැලසුම් නිහඬය. එහෙත් ක්‍රියාත්මක කිරීමේදී කඩිසරය. අනුකම්පාවකින් තොරය.

“අපි නවසීලන්තයත් එක්ක නවසීලන්තයේදී සම්පූර්ණ තරගාවලියක් ක්‍රීඩා කරලා වැඩි කාලයක් නෑ. ඇරත් අපි මේ වෙලාවේදී හිතන්නේ අපේ ප්‍රතිවාදීන් ගැන නොවේ....මේ වෙලාවේ අපි හිතන්නේ වඩාත් හොඳින් කරන දේ ගැනයි” යයි ඉන්දීය පිලේ සහාය පුහුණුකරු සන්ජේ බන්ගාර් මහතා කීවේය.

ඉන්දියාව සහ නවසීලන්තය අතර හෙට පැවැත්වීමට නියමිත අවසන් පූර්ව තරගයට බොහෝ සෙයින් සමාන වූ අවසන් පූර්ව තරගයක් 2008 දී මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරදී පැවැත්විණ. වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගය වූ එහිදී විරාට් කෝලි විසින් මෙහෙයවන ලද ඉන්දීය 19 න් පහළ කණ්ඩායම විසින් කේන් විලියම්සන් විසින් මෙහෙවන ලද නවසීලන්ත යොවුන් පිල පරාජය කරන ලදි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දීය පිලේ සාර්ථකත්වය පසුපස තිබෙන දැවැන්ත සෙවණැල්ල වන්නේ රෝහිත් ෂර්මාගේ පිතිහරඹයයි. එහෙත් ඉන්දීය පිලේ මැදපෙළ ද ඉතා ශක්තිමත් තත්ත්වයක තිබෙන බවද සහාය පුහුණුකරුවා කියයි.

“ඇත්තම තත්ත්වය තමයි ඇෆ්ඝනිස්ථානය සමග පැවැති තරගයේදී හැර, බොහෝ තරග වලදී මැද පෙළ පිතිකරුවන්ට කරන්න දෙයක් තිබුණේ නෑ. ඒත් රිෂාබ් පන්ට්, හාර්ඩික් පාණ්ඩ්‍යා වගේම මහේන්ද්‍ර සිං දෝනිත් හොඳ ඉනිම කිහිපයක්ම ක්‍රීඩා කළා.”

“කොහොම හරි අපේ වැඬේ කෙරෙනවානම්, ලකුණු ලැබෙනවා නම්, එච්චරයි” යයිද බන්ගාර් මහතා පැවසීය.
ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ අවසාන තරගයේදී දකුණු අප්‍රිකානු පිල විසින් ඕස්ටේ්‍රලියානුවන් පරාජය කරනු ලැබීම හේතුවෙන් අවසන් පූර්ව වටයේදී ඉන්දියාවට නවසීලන්තය මුණ ගැසීමට සිදුවිය.
මූලික වටයේදී ඉන්දියාව මුහුණ දුන් තරග 9 න් පරාජය වූයේ එංගලන්තයට එරෙහිව පැවැති තරගය පමණි. එහෙත් පළමු තරග හයම අපරාජිතව සිටි නවසීලන්ත ක්‍රීඩකයෝ පාකිස්තානය, ඕස්ටේ්‍රලියාව සහ එංගලන්තය හමුවේ පරාජය වීම හේතුවෙන් ප්‍රසාද ලකුණු පුවරුවේ සිව්වැනි ස්ථානයට ඇද වැටුණහ. නවසීලන්තය අවසන් පූර්ව වටයේ ස්ථානය සොයගත්තේ ශූද්ධ ලකුණු වේගයට ස්තුති වන්නටය.

මේ වන විට ශතක 5 ක් ලබාගනිමින් ලෝක කුසලාන තරග ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවා සිටින රෝහිත් ෂර්මාට තරගාවලි ඉතිහාසයේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවාගේ වාර්තාව පසුකර යාමට තවත් අවශ්‍ය වන්නේ ලකුණු 27 කි. වසර 2003 ලෝක කුසලාන තරගාවලියේ තරග 11 කදී ලකුණු 673 ක් ලබාගැනීමට සචින් තෙන්ඩුල්කාර් සමත්ව සිටින අතර 2007 තරගාවලියේ තරග 11 කදී මැතිව් හේඞ්න් ලකුණු 659 ක් ලබාගත්තේය. එහෙත් මෙවර තරගාවලියේ තරග 8 කදී රෝහිත් ෂර්මා ලබාසිටින ලකුණු සංඛ්‍යාව 647 කි.

ඉන්දියාවේ ශක්තිය පිතිහරඹය පමණක් නොවේ. ලසිත් මාලිංගගේ සමුගැනීමෙන් පසුව, මාලිංගගේම මුම්බායි ඉන්දියන්ස් පිලේ ශිෂ්‍යයා වන ජස්ප්‍රීට් බුම්රා ලොව හොඳම යෝකර් පන්දු යවන්නා වී සිටී. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී කඩුලු 17 ක් දවාගෙන සිටින බුම්රා වටා ශක්තිමත් පන්දු යැවීමේ බලඇණියක් සිටින නමුත් නවසීලන්තයේ පන්දු යැවීමේ අංශයද දුර්වල එකක් නොවේ.

“හැමෝම හොඳින් ක්‍රීඩා කරමින් ඉන්න එක තිබිය යුතු හිසරදයක්. අවසන් පූර්ව තරගයට ඉස්සරවෙලා තියෙන්න ඕන තත්ත්වය ඒක තමයි” යයි බුම්රා කීවේය.

නවසීලන්ත පිල වැඩි බලාපොරොත්තු තබා ඇත්තේ නායක කේන් විලියම්ස්ගේ පිත්ත කෙරෙහිය. විලියම්ස් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ලබාගත් ලකුණු 481, නවසීලන්තය මෙවර තරගාවලියේදී ලබාගත් මුලු ලකුණු එකතුවෙන් 29%කි.

කෙසේ වෙතත් මෙම තරගයේදී නරඹන්නන් වැඩි පිරිසකගේ ඕල්වරසන් ලැබෙනු ඇත්තේ ඉන්දීය පිලට යයි කිවහොත් එය ප්‍රලාපයක් නොවේ. මක්නිසාද යත් ඉන්දියානුවෝ එංගලන්තය පුරාම සිටින බැවිනි.

“මා හිතන්නේ එතන ඉංග්‍රීසි ජාතිකයන් ගොඩාක් සිටින එකක් නෑ. එතන ඉන්න වැඩි පිරිසක් ඉන්දියානුවන් වේවි.....ඒත් පිට්ටනිය මැද්දට ගියාම, සද්දේ කියන්නේ නිකම් සද්දේ විතරයි” යයිද ගැරී ස්ටෙඞ් මහතා පැවසීය.
ඉන්දියාව සහ නවසීලන්තය අතර තියුණු තරගයක් තිබූ ලෝක කුසලාන තරගයක් වූයේ නම් ඒ 2003 මාර්තු මාසයේ දකුණු අප්‍රිකාවේදීය. ඒ වන විට රිෂාබ් පන්ට් යන්තම් අවුරුදු 5 ක දරුවෙකි. එහෙත් දැන් රිෂාබ් පන්ට් යනු ඉන්දීය පිලේ සාමාජිකයෙකි. මහේන්ද්‍ර සිං දෝනිගේ අනුප්‍රාප්තිකයාය.


අදහස් (0)

නවසීලන්තය නිහඬ සැලසුමක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.