Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball සරත් ජෙම්ස් - සිරි පැරකුම් ආධුනික ශූරතා දිනති

සරත් ජෙම්ස් - සිරි පැරකුම් ආධුනික ශූරතා දිනති

ශනුක අරවින්ද - 2016 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැති 9 වැනි ජාතික වොලිබෝල් ශූරතාවලියේ ආධුනික පිරිමි ශූරතාව දිනාගැනීමට සරත් ජෙම්ස් කණ්ඩායම සමත් විය. ආධුනික කාන්තා තරගාවලියේදී බෝයගම සිරිපැරකුම් කණ්ඩායම ශූරතාව දිනාගත්තේය.

ඉතා තියුණු තරගයකින් අනතුරුව වට 3-2 ක් ලෙස නිව් ස්ටාර් කණ්ඩායම පරාජය කරමින් සරත් ජෙම්ස් කණ්ඩායම ආධුනික පිරිමි ශූරතාවට හිමිකම් කීෙවේය. එම කාණ්ඩයේ තෙවැනි ස්ථානය වාසනා බේකර්ස් කණ්ඩායමට හිමිවිය.

පළමු සහ දෙවැනි වට පිළිවෙලින් ලකුණු 25/21 ක් සහ 25/23 ක් ලෙස ජයගනිමින් තරගයේ පෙරමුණ ගැනීමට සරත් ජෙම්ස් කණ්ඩායම සමත් වුවද, තෙවැනි සහ සිව්වැනි වට පිළිවෙලින් ලකුණු 25/23 ක් සහ 25/22 ක් ලෙස නිව් ස්ටාර් කණ්ඩායම ජයගැනීම නිසා තරගය සම තත්ත්වයට පත් විය.

තීරණාත්මක වූ පස්වැනි වටයේදී ලකුණු 15/13 ක තියුණු ජයක් අත්කරගනිමින් සමස්ත තරගයේ ජය තමන් සතු කරගැනීමට සරත් ජෙම්ස් කී‍්‍රඩකයෝ සමත් වූහ.

ආධුනික පිරිමි කාණ්ඩයේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සරත් ජෙම්ස් කණ්ඩායමේ කේසල සේනාරත්න සම්මාන දිනාගත් අතර එම කණ්ඩායමේම එල්. ජී. සී. පුෂ්පකුමාර දක්ෂතම පන්දු සකසන්නා ලෙසත්, නිව් ස්ටාර් කණ්ඩායමේ එස්. ජී. ඒ. පතිරණ දක්ෂතම ආක‍්‍රමණශීලී කී‍්‍රඩකයා ලෙසත් සම්මාන ලැබූහ.

බෝයගම සිරිපැරකුම් කණ්ඩායම ආධුනික කාන්තා ශූරතාව දිනාගත්තේ අවසන් මහ තරගයේදී වට 3-0 ක් ලෙස ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමිනි. ආධුනික කාන්තා කාණ්ඩයේ තෙවැනි ස්ථානය මාවතගම කැෂුවලයින් කණ්ඩායමට හිමිවිය.

පළමු වටයේදී කණ්ඩායම් දෙක අතර තියුණු තරගයක් දක්නට ලැබුණ අතර අවසානයේදී ලකුණු 26/24 ක් ලෙස එම වටයේ ජය බෝයගම සිරිපැරකුම් කණ්ඩායමට හිමි විය. දෙවැනි වටය ලකුණු 25/18 ක් ලෙස පහසුවෙන් ජයගැනීමට සමත් වූ බෝයගම සිරිපැරකුම් කී‍්‍රඩිකාවෝ කරට කර සටනකින් අනතුරුව තෙවැනි වටය ජයගත්තේ ලකුණු 25/23 ක් ලෙසිනි.

ආධුනික කාන්තා කාණ්ඩයේ දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස නිමේෂිකා සෙව්වන්දි සම්මාන දිනාගත් අතර සුනේත‍්‍රා ප‍්‍රියදර්ශනී දක්ෂතම පන්දු සකසන්නිය ලෙසත්, දිලූක්ෂි හර්ෂිනී දක්ෂතම ආක‍්‍රමණශීලී කී‍්‍රඩිකාව ලෙසත් සම්මාන ලැබූහ.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සංවිධානය කළ මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස මංචි සමාගම කටයුතු කළේය.

-036

 


අදහස් (0)

සරත් ජෙම්ස් - සිරි පැරකුම් ආධුනික ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.