Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වොලිබෝල් සම්මේලන මුල් පුටුවට සිවුකොන් සටනක්

වොලිබෝල් සම්මේලන මුල් පුටුවට සිවුකොන් සටනක්

නාමල් පතිරගේ - 2021 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අප්‍රේල් 4 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නිලවරණයේ දී සභාපති ධුරයට තමන් නාමයෝජනා බාර දෙන බව එහි වත්මන් උප සභාපතිවරයකු වන සබරගමුව පළාත් සභාවේ හිටපු සභාපති කංචන ජයරත්න මහතා පවසයි. උප සභාපතිවරයකු ලෙස එහි දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කරන  ජයරත්න මහතා ‘ලංකාදීප’යට පැවසුවේ වොලිබෝල්  සම්මේලනයේ සභාපති ධුරයට තරග වැදීමට තමා මීට පෙර අවස්ථා කීපයක දී උත්සාහ දැරුවත් එය විවිධ හේතුන් මත අත්හැර දැමීමට සිදුවූ බවයි.

‘‘මා හිතනවා ඒ සඳහා සුදුසුම වේලාව මේ කියලා. ඒනිසා මම වොලිබෝල් සම්මේලනයේ සභාපති ධුරයට නාමයෝජනා බාර දෙන්න සූදානමින් සිටිනවා.’’ යයි ද ‘ලංකාදීප’යට අදහස් දැක්වූ කංචන ජයරත්න මහතා පැවසීය. රත්නපුරය දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ සභාපති ධුරය ද මේ වනවිට හොබවන ඔහු ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ වත්මන් සභාපතිවරයා ද වේ. ඔහු වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලේ වර්ණලාභී  හිටපු වොලිබෝල් ක්‍රීඩකයෙකි.

මේ අතර මෙවර වොලිබෝල් නිලවරණය සඳහා දේශපාලනඥයන් කීප දෙනෙකුම උනන්දුවී සිටින බව වාර්තා වේ.  ඒ අතරින් රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා ‘ලංකාදීප’ය කළ විමසුමක දී පැවසුවේ ඒ සම්බන්ධයෙන් තමන් මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැති බවයි.

වොලිබෝල් සම්මේලනයේ වත්මන් සභාපති ධුරය හොබවන නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාද  මෑතකදී පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කර සිටියේ එළඹෙන නිලවරණයේ දී සභාපති ධුරය හැර යාමට තමාගේ අපේක්ෂාවක් නොමැති බවයි.

ක්‍රීඩා සමාජවලින් තමන්ට වොලිබෝල් සම්මේලනයේ සභාපති ධුරයේ තවදුරටත් කටයුතු කරන ලෙස දිගින් දිගටම ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබෙන තත්ත්වයක් තුළ තමා ඉදිරියේ සිය තීරණය ප්‍රකාශයට පත් කරන බවද සියඹලාපිටිය මහතා පැවසීය.

වොලිබෝල් සම්මේලනයේ මුල් පුටුවට ඇස ගසා සිටින සෙසු දේශපාලනඥයන් අතර රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ගැන ද සඳහන් වේ.  ගම්පහ දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ සභාපති ධුරයට ද ඉකුත්දා ඔහු පත්විය.

වොලිබෝල් සම්මේලනයේ මෑත ඉතිහාසය පුරා එහි මුල් පුටුව හොබවා ඇත්තේ බහුතරයක් දේශපාලනඥයන් වීම කැපී පෙනේ. සියඹලාපිටිය මහතාට පෙර එහි සභාපති ධුරය හෙබවූයේ එවකට රාජ්‍ය ඇමැති ධුරයක් දැරූ ඩිලාන් පෙරේරා මහතාය.  වොලිබෝල් සම්මේලනයේ විධායක සභාවේ අසුන් ගැනීමේ අවම සුදුසුකම වන්නේ පිළිගත් වොලිබෝල් තරගාවලි දෙකක නියෝජනය ලැබූ බවට සහතිකයි. එය භාණ්ඩාගාරික හා සහකාර භාණ්ඩාගාරික යන ධුර සඳහා අදාළ නොවේ.

ජාතික ක්‍රීඩා සංගම් තනතුරු සඳහා තරග වැදීමේ දී ක්‍රීඩා ඇමැතිවරයාගේ අභිමතය පරිදි (සුදුසුකම් නොමැති) නාම යෝජනා පිළිගැනීම සඳහා ලබාදී තිබූ අවසරය මේ වනවිට ක්‍රීඩා පනතෙන් ඉවත් කර තිබේ.

වොලිබෝල් සම්මේලනයේ  නිලවරණය සුදුසුකම් කිරීමේ නිලවරණ කමිටුව මේ වනවිට පත් කර තිබේ. ඒ පසුගියදා පැවති  සම්මේලනයේ විශේෂ මහ සභා රැස්වීමේදීය. එහි ප්‍රධානියා ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුමාර ඒකරත්න මහතා කටයුතු කරන අතර එහි සෙසු සාමාජිකයන් වන්නේ විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වන සුරංජිත් කුමාරපේලි හා එන්.ඒ.ටී. ජයසිංහ යන මහත්වරු ය.

නාම යෝජනා කැඳවීම ලබන පෙබරවාරි මුල් භාගයේ දී ආරම්භ කෙරේ. මෙවර නිලවරණයේ දී ඡන්ද බලය හිමි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංගම්, ව්‍යවස්ථාපිත සංගම් හා විශේෂිත සංගම් මුළු එකතුව 99කි.

දැනට දිවයින පුරා දිස්ත්‍රික් වොලිබෝල් සංගම් 10කට ආසන්න ගනණක් ක්‍රියාත්මක වුවත් සම්මේලන නිලවරණයේ දී දිස්ත්‍රික් සංගම් සඳහා ඡන්දය හිමි නොවේ.

අප්‍රේල් 4 වැනිදා පෙරවරු 9ට සම්මේලනයේ මහ සභාව පැවැත්වීමෙන් අනතුරුව නිලවරණයේ ඡන්ද විමසුම එදින පෙරවරු 10ට ආරම්භ වේ.


අදහස් (0)

වොලිබෝල් සම්මේලන මුල් පුටුවට සිවුකොන් සටනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.