Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වොලිබෝල් සංචිතය වසර පුරාම

වොලිබෝල් සංචිතය වසර පුරාම

Nisanka Sandeepani - 2017 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වොලිබෝල් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වුවත් මෙරට වොලිබෝල් ක්‍රීඩාවේ කැපී පෙනෙන දියුණුවක් පසුගිය කාලයේදී දක්නට නොලැබුණු බවත් වොලිබෝල් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තළයෙන් ඉහළට යාමට නම් වසර පුරා ක්‍රියාත්මක වන ජාතික වොලිබෝල් සංචිතයක් ස්ථාපිත කළ යුතුව ඇති බවත් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නව සභාපති විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ලංකාදීපයට පැවැසීය. පෙරේදා (3) ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නිලවරණයේදී වසර 4 ක කාලයක් සඳහා නිතරගයෙන් සභාපති ධුරයට පත්වූ සියඹලාපිටිය මහතා කෑගල්ල දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ වත්මන් සභාපති ලෙසද කටයුතු කරයි.

කොළඹ රාජකීය විදුහලේ ශිෂ්‍යයෙකු ලෙස කල්ගෙවද්දී වොලිබෝල් ක්‍රීඩාවට අවතීර්ණ වූ ඒ මහතා පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී උසස් අධ්‍යාපනය හදාරන අතර එහි වොලිබෝල් (පිරිමි) කණ්ඩායමේද නායකත්වය දරා තිබේ.

කාර්ය බහුල ඇමැතිවරයකු වන බැවින් වොලිබෝල් සම්මේලනයේ සභාපති ධුරයේ වගකීම් නිසි ලෙස ඉටු කිරීම අභියෝගයක් නොවන්නේදැයි ලංකාදීපය කළ විමසුමට පිළිතුරු දුන් ඇමැතිවරයා පැවැසුවේ තමා දේශපාලනඥයකු ලෙස කාලය කළමනාකරණය කර ගැනීම පිළිබඳව වඩාත් හොඳ අවබෝධයක පසුවන බැවින් ඒ සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් නොමැති බවත් තමා ඉගෙන ගෙන ඇත්තේ තනතුරු හා බලතල බෙදාගෙන කිරීම මිසක් බදාගෙන කිරීමට නොවන බවත් වැඩිදුරටත් පැවැසීය.

වොලිබෝල් සම්මේලනයට මෙතෙක් පත්වූ සභාපතිවරයකු වසර 4 ක් වන දීර්ඝ කාලයක් සඳහා පත්වූ පළමු අවස්ථාව මෙය වේ. වොලිබෝල් සම්මේලනයේ මෙවර නිලවරණයේදී විධායක සභාව හැරෙන්නට සෙසු සියළුම නිලධාරිහු යළිත් නිතරගයෙන් පත්වූහ.

ප්‍රධාන ලේකම් ධුරයට ඒ.එස්. නාලක මහතාත්, උප සභාපතිවරු ලෙස සබරගමුව පළාත් සභා සභාපති කංචන ජයරත්න, නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා, සී. රත්නමුදලි හා චන්දන විජේසිංහ යන මහත්වරුද නියෝජ්‍ය ඇමැතිනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ රන්තිලකා ජයවීර යන මහත්මීහුද පත්ව සිටිති.

මෙවර භාණ්ඩාගාරික ධුරය සඳහා නිතරගයෙන් පත්ව සිටින්නේ තුෂාර සම්පත් මහතාය. 

විධායක සභාවේ 11 දෙනෙකු තෝරා පත් කර ගැනීමට නාම යෝජනා 14ක් ඉදිරිපත් වී තිබුණි. එහිදී වැඩිම ඡන්ද ගණනක් ලබා ගත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ වොලිබෝල් පුහුණුකාරිණියක් ලෙසත් කටයුතු කරන ක්‍රිෂාන්ති ජයවර්ධන මහත්මියයි. මෙම ඡන්ද විමසුමට ඉදිරිපත් වූ සුසිල් විජේසිංහ (53), විමල් අමරසිංහ (34), කේ.ඒ.එස්. සිරිවර්ධන (30) හා වින්ග් කොමදෝරු ක්‍රිෂාන්ත ප්‍රනාන්දු යන මහත්වරු පරාජයට පත්වූහ.

වොලිබෝල් සම්මේලනයේ සභාපතිවරයා සිය පළමු කටයුත්ත ලෙස අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ ගංවතුරෙන් විපතට පත්ව සිටින පවුල්වල පාසල් සිසු සිසුවියන් 1000 කට පමණ පරිත්‍යාගශීලීන්ගේද අනුග්‍රහයෙන් පාසල් උපකරණ බෙදාදෙනු ලැබිණ. එම අවස්ථාවට ජාතික වොලිබෝල් කණ්ඩායම්හි නායක නායිකාවන් වන ගයාන් ප්‍රේමරත්න, දිනේෂා ප්‍රසාදීනි, ජාතික වොලිබෝල් පුහුණුකරු චාල්ස් තිලකරත්න, වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

වසර 10කට අධික කාලයක් වොලිබෝල් සම්මේලනයේ සභාපති ධුරය දැරූ වත්මන් මහාමාර්ග සංවර්ධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා නිලවරණය පැවැති ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවනාගාරයට පැමිණ වොලිබෝල් සම්මේලනයේ නව සභාපතිවරයාට සුබ පැතීය.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ විධායක සභාවට තේරී පත්වූවෝ:- 
ක්‍රිෂාන්ති ජයවර්ධන (128), කාන්තසිරි මීගමුවගේ (127), මේජර් එම්. එස්. සූරියබණ්ඩාර (119), සී.ආර්.එෆ්.සී. පොල්ගම්පල (113), ක්‍රිෂ්ණපිල්ලේ මනෝහරන් (111), ඩී.එස්.ආර්. අරුණ ශාන්ත (110), ජී.ටී.එස්.කේ. අබේසිරිවර්ධන (109), රේණුකා නිල්මිණි (102), සුගත් ලොකුගේ (99), කන්දසාමි යෝගරත්නම් (94), උපුල් දහනායක (94).


 


අදහස් (0)

වොලිබෝල් සංචිතය වසර පුරාම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.