Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ජනාධිපති සම්මාන දෙන්න තරම් සංගමයක් නෑ

ජනාධිපති සම්මාන දෙන්න තරම් සංගමයක් නෑ

ශනුක අරවින්ද - 2017 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කළ ජනාධිපති සම්මාන ක්‍රීඩා ප්‍රදානෝත්සවයේදී (2016) වසරේ ජාතික ක්‍රීඩා සංගමයට හිමි සම්මානය දිනාගැනීමට කිසිදු ජාතික ක්‍රීඩා සංගමයක් අපොහොසත්වීම ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැඩි අවධානයට යොමු වී තිබේ. එහි විශේෂත්වය වන්නේ වසර 2015 දී පැවති පළමුවැනි ජනාධිපති ක්‍රීඩා සම්මාන ප්‍රදානෝත්සවයේදීද ඒ සඳහා හිමි ‘ස්වර්ණ ශ්‍රේණිගත සම්මානය’ දිනා ගැනීමට කිසිදු ජාතික ක්‍රීඩා සංගමයක් අපොහොසත්වීමයි.

මෙවරත් ඒ සඳහා ජාතික ක්‍රීඩා සංගම් ගණනාවකින්ම නිර්දේශ ඉදිරිපත් කර තිබුණත් ඒවා සම්මාන අනුමැතියට ප්‍රමාණවත් නොවීම නිසා ප්‍රතික්‍ෂේප වී තිබේ.

වසරේ ජාතික ක්‍රීඩා සංගම් ක්‍රියාකාරිත්වය, එහි අන්තර් ජාතික තරග සහභාගිත්වය හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා, දේශීය තරග සංවිධානය කිරීමේ සාර්ථකත්වය ආදී කරුණු ගණනාවක් සලකා බලමින් වසරේ ජාතික ක්‍රීඩා සංගමයට හිමි ස්වර්ණ ශ්‍රේණිගත සම්මානය ප්‍රදානය කෙරේ.

මෙවර ජනාධිපති සම්මාන ක්‍රීඩා උළෙලේදී සම්මාන 53ක් සඳහා අයැදුම්පත් කැඳවූවත් එහිදී ප්‍රදානය වූයේ සම්මාන 39ක් පමණි. ඒ පිළිබඳව ජනාධිපති සම්මාන ක්‍රීඩා විනිශ්චය හා තාක්‍ෂණික කමිටුවේ ප්‍රකාශකයෙකු ‘ලංකාදීපයට’ පැවසුවේ ඒ සඳහා ඉදිරිපත්ව තිබූ නිර්දේශ පිළිගත හැකි මට්ටමේ නොවූ බැවින් ඒවා ප්‍රතික්‍ෂේප කිරීමට සිදුවූ බවයි.

“සම්මානවලට සිය නිර්දේශ ඉදිරිපත් කළ සමහරු ඔවුන් තෝරා නොගැනීම ගැන අපට දොස් නැගුවා. ඒ සමහරු අපට අපහාස පවා කළා. තවත් ඒ සමහරු සම්මානවලට නිර්දේශවුණු පුදගලයන්ට අපහාස වන ආකාරයෙන් කතා කළා. නමුත් ක්‍රීඩා අමාත්‍යාංශය සිය ස්වාධීනත්වය හැකි උපරිම ආකාරයෙන් රැක ගනිමින් සම්මානලාභීන් තෝරාගැනීමට උනන්දු වුණා යැයිද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

මෙවර නිර්දේශ ඉවත දැමූ සම්මාන වැඩි ගණනක් විශේෂ අවශ්‍යතා හා ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ක්‍රීඩා කණ්ඩායම් වෙනුවෙන් සූදානම් කළ ඒවා බවද දැනගන්නට ඇත.

මේ අතර විශේෂිත ක්‍රීඩා ක්ෂේත්‍ර සඳහා වන සම්මාන 11ක් ප්‍රකාශයට පත්ව තිබුණු අතර එහිදී වසරේ කුසලතා පූර්ණ ක්‍රීඩා විද්‍යාර්ථියා නිර්දේශ කෙරුණු සම්මාන ප්‍රදානය විරෝධතාවයක් හේතුවෙන් අවසන් මොහොතේ අවලංගු කෙරුණු බවද වාර්තා වේ. ඒ සඳහා නිර්දේශ වූ අය අතර රාගම ශික්‍ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය (ජීව රසායන) ප්‍රියංකර දයානාත් මහතා ආරාධනා ලබා උත්සවය පැවති බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට පිවිසීමෙන් පසුව දැනගන්නට ලැබී ඇත්තේ අවසන් මොහොතේදී ඉදිරිපත් වූ බව කියන විරෝධතාවයක් හේතුවෙන් අවලංගු කර තිබෙන බවයි.

ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා තහනම් උත්තේජක භාවිතය සම්බන්ධයෙන් තහනමකට ලක්ව සිටියදී රසායනාගාර වාර්තා අධ්‍යනය කරමින් ඔහු නිර්දෝෂී කරගැනීමට තොරතුරු සොයාදුන්නේ විශේෂඥ වෛද්‍ය (ජීව රසායන) ප්‍රියංකර දයානාත් මහතාය.

ක්‍රීඩා අමාත්‍යාංශයට සම්බන්ධව අවම පසුගිය වසරක පමණ කාලයක් කටයුතු කර තිබීම සම්මාන නිර්දේශයට අනිවාර්ය සුදානමක් බව ඔහුට දැනගන්නට ලැබී ඇත්තේ උත්සවය පැවැත්වෙන ශාලාවට ඇතුළත්වීමෙන් පසුව බවද පැවසේ.

ශ්‍රී ලංකා වොලිබෝලයට සියවසයි ග්‍රන්ථයට සම්මානයක්

ජනාධිපති ක්‍රීඩා සම්මාන උත්සවයේදී වසරේ විශිෂ්ටතම ක්‍රීඩා ප්‍රකාශනය සඳහා වූ ජනාධිපති සම්මානය ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ හිටපු ප්‍රධාන ලේකම් සුසිල් රණසිංහ මහතා විසින් සම්පාදනය කරන ලද “ශ්‍රී ලංකා වොලිබෝලයට සියවසයි” ග්‍රන්ථයට හිමිවිය.

ඡායාරූපයේ දැක්වෙන්නේ එම සම්මානය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා විසින් සුසිල් රණසිංහ මහතා වෙත ප්‍රදානය කළ අවස්ථාවයි. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඞ් හරීස් සහ ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරුද ඡායාරූපයේ වෙති.

 


අදහස් (0)

ජනාධිපති සම්මාන දෙන්න තරම් සංගමයක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.