Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball සුපර් ලීග් තරගාවලියක් මීගමුවේදී

සුපර් ලීග් තරගාවලියක් මීගමුවේදී

නාමල් පතිරගේ - 2021 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිවයිනේ පළමු වතාවට වෙරළ වොලිබෝල් සුපර් ලීග් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සැරසේ. ඒ සඳහා දිවයිනේ ප්‍රධානතම කාන්තා හා පිරිමි වෙරළ වොලිබෝල් කණ්ඩායම් අටක් බැගින් සහභාගි කර ගැනීමට තීරණය වී තිබේ. දේශීය වෙරළ වොලිබෝල් තරග මාලා ප්‍රවර්ධනය කිරීම සඳහා නව සුපර් ලීග් තරග මාලාව හඳුන්වාදේ.

ක්‍රීඩකයන්ට හා කණ්ඩායම් වෙත සුපිරි දීමනා හා ත්‍යාග මුදල් ලබාදෙන මෙම තරගාවලිය දින දෙකක් තුළදී මීගමුව වෙරළ තීරයේදී පවත්වා අවසන් කිරීමට වොලිබෝල් සම්මේලනය අපේක්ෂා කරයි.

වොලිබෝල් සම්මේලනය මේ වනවිට සුපර් ලීග් වොලිබෝල් තරගාවලියක්ද ලබන මාර්තු මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. එහි කාන්තා හා පිරිමි ජයග්‍රාහී කණ්ඩායම් සඳහා රුපියල් මිලියනයක් බැගින් ලබාදීමට ද සැලසුම් කර ඇත.

මේ වනවිට පැවැත්වෙන දේශීය ප්‍රධානතම වෙරළ වොලිබෝල් තරගමාලා අතර ජාතික තරගාවලිය, ජාතික මහ ක්‍රීඩා උළෙලේ තරගාවලිය, අන්තර් පාසල් තරගමාලාව ප්‍රමුඛ වේ. කෙසේ වුවත් මෙම තරගමාලා කොවිඩ් උවදුර හමුවේ වසර 2020දී පවත්වා නැත.

ශ්‍රී ලංකාවට 1992 දී හඳුන්වාදුන් වෙරළ වොලිබෝල් ක්‍රීඩාවේ දකුණු ආසියාවේ ශ්‍රේණිගත කාන්තා හා පිරිමි කාණ්ඩ දෙකේම අංක එකට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව සිටියි. වසර 2019 දෙසැම්බර් නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැති 12 වැනි සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව තරගමාලාව පුරා දස්කම් දක්වමින් කාන්තා හා පිරිමි රන් පදක්කම් දෙකක් රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත්ව තිබේ.

ඊට හේතුවූයේ එහිදී කාන්තා හා පිරිමි අවසන් මහ තරග දෙකටම ශ්‍රී ලංකා කණ්ඩායම් පමණක් තේරීමය. එය දකුණු ආසියානු වෙරළ වොලිබෝල් තරග ඉතිහාසයේ බිඳිය නොහැකි, සම කිරීමට පමණක් හැකි, තරග වාර්තාවක් බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පවසයි.  ඔහු වැඩිදුරටත් පැවසුවේ, වෙරළ සම්පතෙන් පොහොසත් රටක් ලෙස ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් ජයග්‍රහණ ලබාගැනීමේ වැඩි අවස්ථාවක් පවතින ක්‍රීඩා ඉසව්වක් ලෙස වෙරළ වොලිබෝල් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සැලසුම් කර තිබෙන බවයි.

කොවිඩ් නිරෝධායන නිර්දේශ අනුව, ‘‘බී’’ කාණ්ඩයට ඇතුළත් වන දුරස්ථභාවය රැකෙන (අඩු අවදානම් සහිත) ක්‍රීඩා ඉසව්වක් ලෙස නිර්දේශ වී තිබෙන වෙරළ වොලිබෝල් තරගය දෙපිලේම ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් ගණන හතරකි.

සුපර් ලීග් වෙරළ වොලිබෝල් තරගමාලාව, මීගමුවේදී උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට වොලිබෝල් සම්මේලනය සැලසුම් කර තිබේ.


අදහස් (0)

සුපර් ලීග් තරගාවලියක් මීගමුවේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.