Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වොලිබෝල් සම්මේලනයේ මුල් පුටුවට ද්වන්ධ සටනක්

වොලිබෝල් සම්මේලනයේ මුල් පුටුවට ද්වන්ධ සටනක්

නාමල් පතිරගේ - 2021 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නිලවරණය දේශපාලනඥයන් දෙදෙනකු අතර පැවැත්වෙන ද්වන්ධ සටනක් බවට පත්ව තිබේ. වොලිබෝල් සම්මේලනයේ නිලවරණයකදී සභාපති ධුරය සඳහා ඡන්ද විමසුමක් පැවැත්වෙන්නේ වසර 26කට පසුවයි.

වොලිබෝල් සම්මේලනයේ වත්මන් සභාපති, නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා සහ සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, සබරගමුව පළාත් සභාවේ හිටපු සභාපති කංචන ජයරත්න යන මහත්වරු වොලිබෝල් සම්මේලනයේ සභාපති ධුරය අපේක්‍ෂා කරති.
ඔවුන් දෙදෙනාම සබරගමු පළාතේ දේශපාලනඥයෝ වෙති.

සම්මේලනයේ වත්මන් ලේකම් ඒ.එස්. නාලක මහතා සහ වත්මන් භාණ්ඩාගාරික තුෂාර සම්පත් යන මහත්වරු මෙවරත් එම ධුර සඳහා නිතරගයෙන් පත්ව සිටිති. උප සභාපති ධුර හයක් සඳහා නාමයෝජනා හතක්ද, කාරක සභාවේ ධුර 11ක් සඳහා නාමයෝජනා 17ක්ද,  ඉදිරිපත්ව තිබේ.

කෙසේ වුවත් නියෝජ්‍ය ලේකම් ධුර දෙක සඳහාත් නියෝජ්‍ය භාණ්ඩාගාරික ධුරය සඳහාත් නාමයෝජනා ඉදිරිපත් කළ අපේක්‍ෂකයන් නිතරගයෙන් පත්වීම් ලබා සිටිති.

1995 දී පැවැති වොලිබෝල් සම්මේලනයේ නිලවරණයේදී එවකට ඇමැතිවරුන් වූ රෙජී රණතුංග හා ඩී.පී. වික්‍රමසිංහ යන මහත්වරු සභාපති ධුරයට නාමයෝජනා ඉදිරිපත් කර තිබේ. එහෙත් නිලවරණය කැඳවීමෙන් පසුව මහ සභාවේදී වික්‍රමසිංහ මහතා සිය නාමයෝජනාව ඉවත් කරගැනීමට කටයුතු කිරීමෙන් අවසන් මොහොතේදී නිතරගයෙන් සිය පත්වීම සනාථ කර ගැනීමට රෙජී රණතුංග මහතා සමත්ව තිබේ.

වොලිබෝල් නිලවරණය සඳහා නාමයෝජනා බාරගැනීම පෙරේදා (22) නිමාවට පත්විය. නාමයෝජනාවලට එරෙහිව ඉදිරිපත් වන විරෝධතා බාර ගැනීම ඊයේ (23) පෙරවරු 9 සිට 11 දක්වා සිදු කෙරිණ. එ්වායේ විමර්ශන ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ ලබන සඳුදාය.

වොලිබෝල් සම්මේලනයේ නිලවරණය අප්‍රේල් 4 වැනිදා පෙරවරු 10 ට රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, ව්‍යවස්ථාපිත හා විශේෂිත යන කාණ්ඩ තුනකට අයත් වොලිබෝල් සංගම් 98කට ඡන්ද 196 ක්  තිබේ.

පසුගිය කාලය පුරා දේශපාලනඥයන් රැසක් මුල් පුටුව හෙබවූ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය 1951 දී ස්ථාපිත කර තිබේ. 1991 දී ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව ලෙස පිළිගැනීමට ලක් වූයේද වොලිබෝල් ක්‍රීඩාවයි.


ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නිලවරණයට ඉදිරිපත් වූ නාමයෝජනා

♦ සභාපති ධුරයට:-
නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය (කෑගල්ල) හා සබරගමු පළාත් සභා හිටපු සභාපති කංචන ජයරත්න (රත්නපුර) යන මහත්වරු

♦ ප්‍රධාන ලේකම් ධුරයට:-
ඒ.එස්. නාලක මහතා (වෙළඳසේවා) නිතරගයෙන්

♦ භාණ්ඩාගාරික ධුරයට:-
තුෂාර සම්පත් මහතා (තරුණ සේවා) නිතරගයෙන්

♦ උප සභාපති ධුර (6) :-
සී. රත්නමුදලි (විශ්වවිද්‍යාල), චන්දන විජේසිංහ (කුරුණෑගල), මහින්ද සෙනරත් බණ්ඩාර (කොළඹ), බ්‍රිගේඩියර් මහේෂ් අබේරත්න (යුද හමුදාව), ගුවන් කොමදෝරු පද්මන් ද කොස්තා (ගුවන් හමුදාව), ටී.එන්. ද සිල්වා (නාවික හමුදාව), නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා (පොලිසිය)

♦ ප්‍රධාන සංවිධායක ධුරයට:-
ධනපාල ජයපත්ම (පුත්තලම) හා ඒ.ඒ. ජයතිස්ස (ගම්පහ) යන මහත්වරු

♦ නියෝජ්‍ය ලේකම් ධුර (2):-
සමන් අබේවර්ධන (තරුණ සේවා) හා කාන්තසිරි මීගමුවගේ (කළුතර) යන මහත්වරු

♦ නියෝජ්‍ය භාණ්ඩාගාරික ධුරයට:-
අසංක රාජපක්‍ෂ මහතා (කොළඹ) නිතරගයෙන්

 


අදහස් (0)

වොලිබෝල් සම්මේලනයේ මුල් පුටුවට ද්වන්ධ සටනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.