Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වොලිබෝල් සම්මේලනයේ කටයුතු මාස තුනකට අත්හිටුවයි

වොලිබෝල් සම්මේලනයේ කටයුතු මාස තුනකට අත්හිටුවයි

නාමල් පතිරගේ - 2020 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල තාවකාලිකව අත්හිටුවීමට ගත් තීරණයත් සමග ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ කටයුතු ලබන ඔක්තෝබර් මාසය අවසානය දක්වා අත්හිටුවීමට තීරණය කර තිබේ.

 ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල ලබන නොවැම්බර් 25 වැනිද‌ා සිට දෙසැම්බර් 5 වැනිද‌ා දක්වා චීනයේ ‘සන්යා’ නුවරදී පැවැත්වීමට නියමිතව තිබුණි. එහෙත් කොරෝනා දෙවැනි රැල්ලක බිය ලොව පුරා පැතිර යාමත් සමග එය තාවකාලිකව අත්හිටුවීමට ආසියානු ඔලිම්පික් සභාව ඉකුත්ද‌ා තීරණය කළේය. එය ශ්‍රී ලංකාවට මෙම වසරේදී යෙදී තිබුණු එකම අන්තර්ජාතික ක්‍රීඩා උළෙල විය.

කෙසේ වුවත් එය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හෙයියන්තුඩුව තරුණ සේවා වෙරළ වොලිබෝල් පිටියේ ස්ථාපිත කර තිබූ ජාතික වෙරළ කාන්තා හා පිරිමි සංචිත දෙක තාවකාලිකව විසුරුවා හැරීමට නොබෝද‌ා කටයුතු කළේය. ඒ අතර ජනාධිපති රන් කුසලාන තරගාවලිය හා ජාතික වොලිබෝල් ශූරතා තරගාවලිය ඇතුළු මෙම වසරට නියමිතව තිබූ දේශීය තරග මාලා ද ලබන ඔක්තෝබර් මාසය දක්වා කල් දැමීමට ද වොලිබෝල් සම්මේලනය පියවර ගෙන තිබේ.

 මෙම තත්ත්වය තුළ දේශීය හා අන්තර්ජාතික තරග මාලා සියල්ල මේ වනවිට තාවකාලිකව අත්හිටුවීමට ගෙන තිබෙන තීරණය හමුවේ වොලිබෝල් සම්මේලනයේ කටයුතු ද අත්හිටුවා තිබේ.

 එසේ වුවත් ලබන අගෝස්තු 22 පෙරවරු 10 ට වොලිබෝල් සම්මේලනයේ මහ සභාව රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී රැස්වේ. ඒ සඳහා එහි සාමාජික ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, විශේෂිත හා ව්‍යවස්ථාපිත යන වොලිබෝල් ක්‍රීඩා සංගම්  70ක නියෝජිතයෝ කැඳවීම් ලබා සිටිති. වොලිබෝල් සම්මේලනයේ මීළඟ නිලවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ වසර 2021 දීය.

 මේ අතර කොරෝනා වසංගත තත්ත්වයෙන් පසුව දේශීය වොලිබෝල් ක්‍රීඩා මුහුණ දී තිබෙන ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වොලිබෝල් සම්මේලනයේ විධායක සභාව ලබන සිකුරාද‌ා (23) රැස්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

 මේ වනවිට රට තුළ වොලිබෝල් ක්‍රියාකාරකම් අත්හිටුවා තිබෙන තත්ත්වයක් තුළ පුහුණුකරුවන් ඉලක්ක කරමින් පළාත් නවය සඳහාම විශේෂිත වැඩමුළුවක් බැගින් ඉදිරියේදී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පවසයි.

ආසියානු වොලිබෝල් සම්මේලනය මෙම වසරට පැවැත්වීමට සැලසුම් කර තිබූ ආසියානු වොලිබෝල් ශූරතා කාන්තා හා පිරිමි තරග මාලා 10 ක් අතරින් හයක් අවලංගු කර තිබේ. ඉතිරිය කල් දමා තිබේ. එසේ අවලංගු කළ තරගාවලි අතර මෙම වසරට නියමිතව තිබූ දෙවැනි ආසියානු අභියෝග ශූරතා කාන්තා හා පිරිමි වොලිබෝල් තරගමාලා දෙක ද විය. එම තරගාවලි දෙක ඇතුළුව ආසියානු කනිෂ්ඨ වොලිබෝල් ශූරතා තරගාවලි කීපයකට සහභාගි වීමට ද ශ්‍රී ලංකාව මෙම වසරේදී සැලසුම් කර තිබුණි.

 කෙසේ වුවත් ආසියානු සමුළුව මේ වන විටත් එළඹෙන වසර 2021 ඉලක්ක කරමින් අන්තර්ජාතික තරග දින දසුන ප්‍රකාශයට පත් කර තිබේ. ඊට වසර 2020 ට නියමිතව තිබූ තරගාවලි කීපයක් ද ඇතුළත් කර තිබේ.

 ඒ අනුව වසර 2021 ට නියමිත ජාත්‍යන්තර තරගාවලි ගණන 15 කි. ඒ අතර ලබන ජූලි 23 සිට අගෝස්තු 8 වැනිද‌ා දක්වා පැවැත්වෙන ටෝකියෝ ඔලිම්පික් උළෙල ද ඊට ඇතුළත් කර තිබේ.

කෙසේ වුවත් මෙම වසරට නියමිතව තිබූ ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලි හයක් ද අවලංගු කිරීම හා කල් දැමීමට ලක් විය. ඒ අතර තායිලන්තයේදී පසුගිය පෙබරවාරි 12 වැනිද‌ා සිට 16 වැනිදා දක්වා පැවැත්වීමට සූද‌ානම් කර තිබූ ආසියානු අන්තර් ජාතික වොලිබෝල් සම්මේලනයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව (ජූලි 19) ශ්‍රී ලංකාව පිරිමි වොලිබෝල් ශ්‍රේණිගත කිරීම් අනුව 60 වැනි ස්ථානයේ ද කාන්තා ශ්‍රේණිගත කිරීම් අනුව 71 වැනි ස්ථානයේ ද පසුවේ.

 1947 දී ආරම්භ වූ අන්තර්ජාතික වොලිබෝල් සම්මේලනයේ සාමාජික වත්මන් රටවල් හා ජාතීන් ගණන 222 කි. ශ්‍රී ලංකාව නියෝජනය ලබන ආසියානු වොලිබෝල් සමුළුවේ වත්මන් සාමාජික රටවල් හා ජාතීන් ගණන 65 කි.


අදහස් (0)

වොලිබෝල් සම්මේලනයේ කටයුතු මාස තුනකට අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.