Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ව්‍යවස්ථාව වෙනස් කිරීමේ මත ගැටුමක්

ව්‍යවස්ථාව වෙනස් කිරීමේ මත ගැටුමක්

ශනුක අරවින්ද - 2017 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ඔලිම්පික් කමිටුවේ ව්‍යවස්ථාව වෙනස් කිරීමේ යෝජනාවලිය සම්බන්ධයෙන් සිය මතය සඳහන් ඒකාබද්ධ යෝජනාවලියක් ජාතික ක්‍රීඩා සංගම් 14ක එකතුවෙන් ඔලිම්පික් කමිටුවට යොමුකර ඇතැයි වාර්තා වේ. මේ අතර ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය ද එම ඒකාබද්ධ යෝජනාවලියට සමාන ප්‍රතියෝජනාවලියක් ඊයේ (31) ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතාට යොමු කළ බව වාර්තා වේ.

ඔලිම්පික් කමිටුවේ ව්‍යවස්ථා සංශෝධනය සඳහා යෝජනා කිරීමට ජාතික ක්‍රීඩා සංගම්වලට ලබාදෙන කාලසීමාව දීර්ඝ කිරීමට ද මේ වනවිට එම කමිටුව තීරණය කර තිබේ. ඒ සඳහා යෝජනා හා අදහස් ලබාගැනීම පසුගිය ඉරිදා (29) නිමාවට පත්වීමට නියමිතව තිබුණත් දැන් එය බ්‍රහස්පතින්දා (2) දක්වා දීර්ඝ කර තිබේ.

මේ අතර ඔලිම්පික් කමිටුවේ ව්‍යවස්ථා සංශෝධනය සඳහා එහි ලේකම්වරයාගේ අත්සනින් ඉදිරිපත් කෙරුණු යෝජනා බහුතරයකට තමන් එකඟ නොවන බව ප්‍රතියෝජනාවලියක් ඉදිරිපත් කරමින් අදාළ ජාතික ක්‍රීඩා සංගම් එකමුතුව පෙන්වාදී ඇතැයිද ඔලිම්පික් කමිටු ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අතර ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රධාන කාරණා කීපයක් වන ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් නාමය වෙනස් කිරීම, එහි උපසභාපති තනතුරු සිව් දෙනකුට පමණක් සීමා කිරීම, කමිටුව අර්ධ සමාගමක් බවට පත් කිරීම යන යෝජනාවලට තමන් එකඟ නොවන බවට ජාතික ක්‍රීඩා සංගම් එකමුතුව ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයාට දැනුම් දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

එම යෝජනා ක්‍රියාත්මක කිරීමට මෙය සුදුසු වේලාවක් නොවන බවද ඔවුන් අවධාරණය කර තිබේ. එම යෝජනා කීපය ක්‍රියාවට නැගීම සම්බන්ධයෙන් එළඹෙන ඔලිම්පික් කමිටුවේ නිලවරණයෙන් පසුව තීරණයක් ගත යුතු බව ඔවුන්ගේ අදහසවී තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයා ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය අනුව “ජාතික ඔලිම්පික් කමිටුව” යන්න වෙනුවට “ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව” ලෙස එහි නිල නාමය වෙනස් කිරීමට යෝජනා කරයි. අර්ධ සමාගමක් බවට පත් කිරීමේදී කමිටුව සමාගම් පනත යටතේ ලියාපදිංචි කෙරෙනු ඇත.

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ සභා රැස්වීමක් වසර 2012 න් පසුව පැවැත්වීමට සූදානම් වන්නේ ලබන නොවැම්බර් 9 වැනිදාය. වසර 2008 ඔක්තෝබර් මාසයෙන් පසුව කමිටුවේ නිලවරණයක් කැඳවීම සඳහා දින නියම කිරීම එහිදී සිදු කෙරේ.

තුන් ප්‍රයාම, නූතන පංච ප්‍රයාම, රග්බි, කඩුහරඹ, රෝද සපත්තු සහ කරාටේ දෝ යන ජාතික ක්‍රීඩා සංගම් හය හැරෙන්නට මෙවර නිලවරණයේදී හිම ක්‍රීඩා සංගමය සඳහාද ඡන්ද බලය ලබාදීමට මේ වනවිට යෝජනාවී ඇතැයි වාර්තා වේ. එහෙත් හිම ක්‍රීඩා සංගමය ඇතුළු සංගම් කිහිපයකටම මෙවර නිලවරණයේ දී ඡන්ද බලය පිරිනැමීම මේ වනවිට අවිනිශ්චිත තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වේ. ඊට හේතුව ඒ සම්බන්ධයෙන් ඔලිම්පික් කමිටුවේ වත්මන් පරිපාලනය ඒ පිළිබඳව මෙතෙක් අවසන් තීරණයකට නොපැමිණ තිබීමයි.

තත්ත්වය මෙසේ තිබියදී ස්ලෝවෙකියාවේදී පැවැත්වෙන ජාතික ඔලිම්පික් කමිටු ජාත්‍යන්තර සංවිධානයේ සැසිවාරයකට සහභාගිවීම සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු හා එහි ලේකම් මැක්ස්වල් ද සිල්වා යන මහත්වරු ඊයේ දිවයිනෙන් පිටත්ව ගිය බවද වාර්තා වේ. ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් එකඟ නොවී සිටින ජාතික ක්‍රීඩා සංගම් ගණනාවක් පසුගියදා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට විරෝධතාවයක් බාරදුන් බව ද වාර්තා විය.

එළඹෙන නිලවරණයට තමන් ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කර තිබෙන ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතාගේ සහයෝගය නැවතත් ලේකම් ධුරයට තරග වදින මැක්ස්වල් ද සිල්වා මහතාට පළවී තිබේ. මෙවර ඔලිම්පික් නිලවරණයේ දී සභාපති ධුරයට තරග වදින බවට ප්‍රකාශ වී ඇති අය අතර ජාතික රුවල් ඔරු සංගමයේ සභාපති රොහාන් ප්‍රනාන්දු සහ ටෙනිස් සංගමයේ හිටපු සභාපති සුරේෂ් සුබ්‍රමානියම් යන මහත්වරු ද වෙති.

මේ අතර වසර ගණනාවකට පසුව ජාතික ඔලිම්පික් කමිටුව සිය නිලවරණය කැඳවීමට දරන උත්සාහය මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේද දැඩි අවධානයට යොමුවෙමින් පවතින බව වැඩි දුරටත් වාර්තා වේ.

 


අදහස් (0)

ව්‍යවස්ථාව වෙනස් කිරීමේ මත ගැටුමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.