Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball අන්තර්ජාතික වොලිබෝල් තරග ගැන අවධානය අහකට

අන්තර්ජාතික වොලිබෝල් තරග ගැන අවධානය අහකට

නාමල් පතිරගේ - 2021 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


රට තුළ උද්ගතව පවතින කොරෝනා වසංගත තත්ත්වය පාලනය වනතුරු ලබන වසරට නියමිත ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තරඟ සහභාගීත්වය පිළිබඳව අවධානය යොමු නොකරන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පවසයි.  ඒ  සම්බන්ධයෙන්  අවසන් තීරණයක් ගැනීම ලබන ජනවාරි මාසය අවසන්වීමට පෙර සිදු කෙරෙන බවත් වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්.නාලක මහතා පැවසීය.

කොවිඩ් වසංගත තත්ත්වය  හමුවේ පසුගිය  ඔක්තෝබර් මාසයේ සිට ජාතික වොලිබෝල් පුහුණු සංචිතයේ ක්‍රියාකාරකම් අත්හිටුවා තිබේ.

පසුගිය මාර්තු මාසයේ සිට වොලිබෝල් සම්මේලන සංවිධානය කළ වසර 2020 ට නියමිත දේශීය වොලිබෝල් තරඟමාලාවද මේ දක්වා අත්හිටුවා තිබේ. ඒ අතර පසුගියදා අරම්භ කිරීමට නියමිතව තිබු ජාතික වොලිබෝල් මංචි කුසලාන තරග මාලාවද විය.

මේ අතර අන්තර්ජාතික වොලිබෝල් සම්මේලනය වසර 2021ට නියමිත ජාත්‍යන්තර තරඟ දිනදසුන මේ වනවිට කෙටුම්පත් කර තිබේ. ඊට ජාත්‍යන්තර තරගාවලි 14ක් අන්තර්ගත කර තිබේ.

වසර 2020 ට පැවැත්වීමට සූදානම් කර තිබූ ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලි 10 කින් හයක්ම අත්හැර දමනු ලැබූ ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය ඉන් ඉතිරියෙන් කීපයක් වසර 2021 දී පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඒ අතර  ශ්‍රී ලංකාව සහභාගිවීමට නියමිතව තිබූ 21 වැනි ආසියානු ශූරතා වොලිබෝල් (කාන්තා සහ පිරිමි) තරග මාලාද වේ.

කෙටුම්පත් කරන ලද 2021 අන්තර් ජාතික වොලිබෝල් දින දසුන අනුව 21 වැනි ආසියානු කාන්තා වොලිබෝල් තරඟාවලිය ලබන වසරේ ආගෝස්තු 29 වැනිදා සිට සැප්තැම්බර් 5 වැනිදා දක්වා තායිලන්තයේදී හෝ චිනයේදී  පැවතැත්වීමට සැලසුම් කර තිබේ.  ‘ටෝකියෝ’ නුවරදී එහි පිරිමි ශූරතා තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ වසර 2021 සැප්තැම්බර් 12 සිට 19 වැනිදා දක්වාය.

තායිලන්තයේදී ලබන අප්‍රේල් 14 වැනිදා සිට 17 දක්වා පැවැත්වෙන ආසියානු සම්මේලන ‘සාමිලා’ කුසලාන විවෘත (කාන්තා / පිරිමි) වෙරළ වොලිබෝල් තරග මාලාව ඇතුළු ආසියානු ශූරතා තරග මාලා කීපයක් කෙරෙහි ශ්‍රී ලංකාව අවධානය යොමුකර තිබුණි.  

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ 2020 වසරට නියමිත ජාත්‍යන්තර වෙරළ වොලිබෝල් තරගාවලි හයකින් තුනක් අවලංගු කර දැමූ ජාත්‍යන්තර සම්මේලනය ඉතිරි තරගාවලි තුන ඉදිරියට ගෙනඑමින් වසර 2021 ට පැවැත්වීමට සැලසුම් කර තිබේ. තායිලන්තයේදී ‘සාමිලා’ කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේද ඒ අනුවයි.

ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගි වූ අන්තර් ජාතික වොලිබෝල් තරගාවලිය වූයේ වසර 2019 දෙසැම්බර් මාසයේ නේපාලනයේදී පැවැති 13 වැනි සාග් ක්‍රීඩා උළෙලයි.

කෙසේ වුවත් එහිදී ශ්‍රී ලංකාවට අපේක්‍ෂිත ඉලක්කය කරා ළඟාවීමට අපොහොසත් විය.

කියුබානු පුහුණුකරුවන් යටතේ ඒ සඳහා පුහුණුවීම් කළ ශ්‍රී ලංකා වොලිබෝල් කාන්තා හා පිරිමි කණ්ඩායම් දෙකම එහිදී ලෝකඩ පදක්කමෙන් සෑහීමට පත්වීමට සිදුවිය.

වසර 2021 ජාත්‍යන්තර වොලිබෝල් තරග දින දසුනේ ජුලි 23 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වෙන ටෝකියෝ ඔලිම්පික් උළෙල (2020) සඳහා ද ප්‍රධාන තැනක් හිමිව තිබේ.

මේ වනවිට මුළු ලොවම වෙලී පවතින කොවිඩ් වසංගතයෙන් වඩාත් බැට කන රටක් වන ඉරානය මෙන්ම එම වසංගතයේ කේන්ද්‍රස්ථානය වූ චීනයද වසර 2021 ට නියමිත දන දසුනට අනුව අන්තර්ජාතික වොලිබෝල් තරග මාලා ගණාවකට සත්කාරය දැරීමට ඉදිරිපත්ව තිබේ.

දෙසැම්බර් 1 වැනිදා කළ අන්තර්ජාතික වොලිබෝල් ශ්‍රේණිගත කිරිමේ අනුව ශ්‍රී ලංකාව කාන්තා ඉසව්වෙන් 71 වැනි ස්ථානය ලබා සිටී. එය  ආසියාවේ 12 වැනි ස්ථානයයි.  පිරිමි වොලිබෝල් කණ්ඩායම් අතරේ ශ්‍රී ලංකාව ලෝකයේ 59 වන ස්ථානය අත්කරගෙන ඇති අතර ආසියානු කණ්ඩායම් අතරේ හිමිකරගෙන ඇත්තේ 10 වැනි ස්ථානයයි.

 


අදහස් (0)

අන්තර්ජාතික වොලිබෝල් තරග ගැන අවධානය අහකට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.