Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වොලිබෝල් පිටියට චීනයෙන් පුහුණුකරුවන් ගෙන්වයි

වොලිබෝල් පිටියට චීනයෙන් පුහුණුකරුවන් ගෙන්වයි

නාමල් පතිරගේ - 2020 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීන ජාතික වොලිබෝල් පුහුණුකරුවන් දෙදෙනකුගේ සේවය ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි (ජ්‍යෙෂ්ඨ) වොලිබෝල් කණ්ඩායම් සඳහා ලබා ගැනීමට ශ්‍රී ලංකාව සැරසේ. ඒ සඳහා සහයෝගය දැක්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපත්ව සිටියි.

චීනයෙන් වොලිබෝල් පුහුණුකරුවන් ශ්‍රී ලංකාවේ සේවයට ලබාදීමට කැමැත්ත පළකර ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය කර ඇති දැනුම්දීමකට අනුව ඒ සඳහා කැමැත්තක් තිබේ නම් සිය අමාත්‍යාංශයට ඉල්ලීමක් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා මේ වනවිට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයට දැනුම් දී ඇතැයි වාර්තාවේ. ඒ අනුව ඒ සඳහා සිය සම්මේලනයේ කැමැත්ත පළකර ඇතැයි ‘ලංකාදීප’ය කළ විමසුමක දී ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පැවැසීය.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මීට පෙරත් විදේශීය පුහුණුකරුවන්ගේ සේවය ලබාගෙන තිබේ. අවසන් වරට පසුගිය දෙසැම්බර් මාසයේ ‘කත්මණ්ඩු’ නුවර දී පැවැති 13 වැනි සාග් ක්‍රීඩා උළෙල ඉලක්ක කරමින් කියුබානු ජාතික වොලිබෝල් පුහුණුකරුවන් දෙදෙනකුගේ සේවය ලබා ගත්තේය. ඔවුන් මේ වනවිට ශ්‍රී ලංකාවේ සේවය අවසන් කර තිබෙන නමුත් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ඔවුන්ගේ ශ්‍රී ලංකා සේවය සම්බන්ධයෙන් තෘප්තිමත් නොවීය.

13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ දී වොලිබෝල් කාන්තා හා පිරිමි ලෝකඩ පදක්කම් දෙකෙන් පමණක් සෑහීමට පත්වීමට සිදුවීම ඊට හේතු විය.

ජාත්‍යන්තර වොලිබෝල් පිටියේ එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ ඉහළම දස්කම ලෙස වාර්තා වන්නේ 1991 කොළඹ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී වොලිබෝල් (කාන්තා) රන් පදක්කම දිනා ගැනීමයි.

චීනය ජාත්‍යන්තර වොලිබෝල් ක්‍රීඩාපිටියේ ඉහළින්ම සිටින රටකි. අන්තර්ජාතික වොලිබෝල් සම්මේලනය කළ අළුත්ම ශ්‍රේණිගත කිරීම් අනුව වොලිබෝල් ජ්‍යෙෂ්ඨ කාණ්ඩයේ (කාන්තා) ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථානයේ පසුවන්නේ චීනයයි. එහෙත් වොලිබෝල් (පිරිමි) ජ්‍යෙෂ්ඨ කාණ්ඩයේ ශ්‍රේණිගත කිරීම් අනුව චීනය පසුවන්නේ 26 වැනි ස්ථානයේය. එහි මුල් තැන හිමිව ඇත්තේ බ්‍රසීලයටය.

වොලිබෝල් කාන්තා ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව පසුවන්නේ 71 වැනි ස්ථානයේය. වොලිබෝල් (පිරිමි) ජ්‍යෙෂ්ඨ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව දැන් පසු වන්නේ 59 වැනි ස්ථානයේය. එය ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළට පැමිණීමකි.

කලාපයේ ශ්‍රී ලංකාවේ ප්‍රබලතම ප්‍රතිවාදියා වන අසල්වැසි ඉන්දියාව පිරිමි ජ්‍යෙෂ්ඨ කාණ්ඩයෙන් පසුවන්නේ ශ්‍රී ලංකාවට පහළිනි. එම ශ්‍රේණිගත කිරීම් අනුව ඔවුන්ට හිමිව ඇත්තේ 78 වැනි ස්ථානයයි. පිරිමි ජ්‍යෙෂ්ඨ කාණ්ඩයේ තත්ත්වය එබඳු වුව ද ඉන්දියාව කාන්තා ජ්‍යෙෂ්ඨ කාණ්ඩයේ 54 වැනි ස්ථානයේ පසුවීමට සමත්ව සිටියි.

අන්තර්ජාතික වොලිබෝල් සම්මේලනයේ ශ්‍රේණිගත කිරීම් අනුව වොලිබෝල් වයස 20න් පහළ (කාන්තා) කාණ්ඩයේ 50 වැනි ස්ථානයේ ද වයස 21න් පහළ (පිරිමි) කාණ්ඩයේ 41 වැනි ස්ථානයේ ද ශ්‍රී ලංකාව දැනට පසුවේ.

මේ අතර ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මේ වනවිට ජාතික වොලිබෝල් පුහුණු සංචිත තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

හෙයියන්තුඩුවේ දී මෙතෙක් පවත්වාගෙන ගිය ජාතික වෙරළ වොලිබෝල් (කාන්තා-පිරිමි) පුහුණු සංචිත නොබෝදා තාවකාලිකව අත්හිටවූ වොලිබෝල් සම්මේලනය පසුගිය ඔක්තෝබර් 15 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ ජාතික වොලිබෝල් කාන්තා හා පිරිමි සංචිත ස්ථාපිත කිරීම ද දින නියමයක් නොමැතිව කල්දමනු ලැබීය.

හෙයියන්තුඩුව තරුණ සේවා පිටියේ දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනකුගෙන් සමන්විත ජාතික වෙරළ වොලිබෝල් සංචිතය පවත්වාගෙන ගියේය. එහි ක්‍රියාකාරකම් අත්හිටවූයේ තායිලන්තයේ දී මෙම වසරේ දී පැවැත්වීමට නියමිතව තිබිය දී කල් දමනු ලැබූ ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ පැවැත්ම පිළිබඳව තමන්ට සහතිකයක් ලබාදිය නොහැකි බවට ආසියානු වොලිබෝල් සම්මේලනය නොබෝදා සිය සාමාජික රටවලට කළ දැනුම්දීමට අනුවය.

ඒ අනුව පසුගිය දෙසැම්බර් මාසයේ දී කත්මණ්ඩු නුවර දී පැවැති 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ සහභාගිත්වයෙන් පසුව ශ්‍රී ලංකාවට මෙතෙක් ජාත්‍යන්තර තරග සහභාගිත්වයක් හිමිවී නැත.

මේ දිනවල රට තුළ දෙවැනි කොරෝනා රැල්ලක අනතුර නිර්මාණය වීමත් සමඟ දේශීය වොලිබෝල් තරග මාලා තවදුරටත් දින නියමයක් නොමැතිව කල් දැමීමට වොලිබෝල් සම්මේලනයට සිදුව තිබේ. ‘මංචි’ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන ජාතිකසුපර් ලීග් වොලිබෝල් තරග මාලාව හා ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය, රූපවාහිනී-තරුණ සේවා වොලිබෝල් තරගාවලිය මෙම වසරේ දී පැවැත්වීම පිළිබඳව තවදුරටත් අවිනිශ්චිත තත්ත්වයේ පසුවන බව වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක මහතා කියයි.

 


අදහස් (0)

වොලිබෝල් පිටියට චීනයෙන් පුහුණුකරුවන් ගෙන්වයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.