Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වොලිබෝල් තරගාවලි 10 ක් දින නියමයක් නැතිව කල්යයි

වොලිබෝල් තරගාවලි 10 ක් දින නියමයක් නැතිව කල්යයි

editorial - 2020 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 
(සුසිල් ප්‍රේමලාල්)
මේ වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු මට්ටමේ වොලිබෝල් තරගාවලි පහම ආසියානු වොලිබෝල් සම්මේලනය විසින් දින නියමයක් නැතිව කල් තබා ඇති බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පවසයි. ඊට අමතරව 2020 වසර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් කර තිබූ වොලිබෝල් තරගාවලි 5ක් ද කල්දමා ඇති බව වොලිබෝල් සම්මේලනයේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
 
මේ වසරට නියමිත දේශීය වොලිබෝල් තරගාවලි 2020 දෙසැම්බර් 31ට පෙර පැවැත්වීම හෝ නොපැවත්වීම සම්බන්ධව ලබන සැප්තැම්බර් මාසයේදී තීරණයක් ගත හැකි වනු ඇතැයි වොලිබෝල් ලේකම්වරයා විශ්වාස පළ කරයි. කෙසේ වෙතත් දේශීය තර පැවැත්වීම ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ අනුග්‍රාහකයන්ගේ අභිමතය පරිදි තීරණය කෙරෙනු ඇත.
 
මේ වන විට සමස්ත ලෝකයම මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ මෙම තරගාවලි පැවැත්වීම සම්බන්ධයෙන් ඇත්තේ විශාල ප්‍රශ්නාර්ථයකි.
 
‘ඩයලොග්‘ ජනාධිපති රන් කුසලාන තරගාවලිය, ‘මංචි‘ ජාතික ශූරතාවලිය, ‘ඩී.එස්.අයි.‘ සුපර් ස්පෝර්ට්ස් පාසල් ශූරතාවලිය, ‘සන්ක්වික්‘ ජාතික වෙරළ ශූරතාවලිය සහ අලුතින් හඳුන්වා දී ඇති අගමැති කුසලාන වයස අවු. 22න් පහළ තරගාවලිය, දැනට අත්හිටුවා ඇති දේශීය ජාතික මට්ටමේ වොලිබෝල් තරගාවලි වේ.

ආසියානු මට්ටමේ ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලි අතර දෙවැනි ආසියානු පිරිමි අභියෝග කුසලාන තරගාවලිය (කිරිකිස්ථානය),  20 වැනි ආසියානු පිරිමි වයස අවු. 20න් පහළ ශූරතාවලිය (ඉරානය), 20 වැනි ආසියානු කාන්තා වයස 19න් පහළ ශූරතාවලිය (චීනය), ආසියානු කුසලාන පිරිමි තරගාවලිය (මියන්මාරය) සහ 2 වැනි ආසියානු කාන්තා අභියෝග කුසලාන තරගාවලිය (චීනය) යන තරගාවලි වලට සහභාගි වීමට ශ්‍රී ලංකාව සහභාගි වීමට සැලසුම් කර තිබිණ.
 
මෙම ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලි ඉලක්ක කරමින් පිරිමි හා කාන්තා ජාතික සංචිත 2ක් පිහිටුවා ඉකුත් පෙබරවාරි අවසානය තෙක් දෛනික පුහුණුවීම් ආරම්භ කර තිබිණ. එහෙත් කොරෝනා වයිරසයේ පැතිරීමත් සමගම එම සංචිත දෙක විසුරුවා හැරීමට පියවර ගත්තේය. පිරිමි සංචිතයට ක්‍රීඩකයෝ 30ක් සහ කාන්තා සංචිතයට ක්‍රීඩිකාවෝ 30 ක් ඇතුළත්ව සිටියහ.
 
2019 වසරේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (කත්මණ්ඩු) සහ ආසියානු මට්ටමේ තරගාවලි කිහිපයක් ඉලක්ක කරගනිමින් විදෙස් පුහුණුකරුවන් දෙදෙනකු ඉකුත් දෙසැම්බර් මාසය වන තෙක් ශ්‍රී ලංකාවේ සේවය කළහ. එහෙත් එම විදෙස් පුහුණුකරුවන් දෙදෙනාගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම නිසා එම කොන්ත්‍රාත් ගිවිසුම අවසන් කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් බලධාරීහු පියවර ගත්හ.

2020 වසර වෙනුවෙන් කිසිදු විදෙස් පුහුණුකරුවකුගේ සේවය ලබා නොගැනීමට තීරණය කළ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, දේශීය පුහුණුකරුවන්ට ප්‍රමුඛත්වය දෙමින් පිරිමි හා කාන්තා ජාතික පුහුණුකරුවන්, සහය පුහුණුකරුවන් සහ අභ්‍යාසකරුවන් පත් කිරීමට පියවර ගෙන තිබුණි.
 
නේපාලයේ කත්මණ්ඩු නුවර පසුගිය දෙසැම්බර් මාසයේදී අවසන් වූ 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වොලිබෝල් පිරිමි හා කාන්තා දෙඅංශයෙන්ම ලෝකඩ පදක්කම් පමණක් හිමිකරගත්තේය. 2019 වසරේදී ශ්‍රී ලංකාව ආසියානු මට්ටමේ ජාත්‍යන්තර තරගාවලි කිහිපයකට ද සහභාගි වූ නමුදු ඉන් ශ්‍රී ලංකාවට කැපී පෙන දක්ෂතා දැක්වීමට නොහැකි විය.
 
වසර 100ක් ඉක්මවා ඇති ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩාවේ ඉතිහාසය අනුව ශ්‍රී ලංකාවට දිනා ගත හැකි වී ඇත්තේ එක් ශූරතාවක් පමණි. ඒ 1991 කොළඹ සාෆ් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම ඉන්දියාව පරදා රන් පදක්කම දිනා ගැනීමයි.

එහෙත් පිරිමි අංශයෙන් එදා මෙදා තෙක් ශ්‍රී ලංකාව අන්තර්ජාතික මට්මමේ එකම ශූරතාවක් හෝ දිනා නැත.

 


අදහස් (0)

වොලිබෝල් තරගාවලි 10 ක් දින නියමයක් නැතිව කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.