Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball සර්බියානු වොලිබෝල් පුහුණුකරු ගෙදර යවයි

සර්බියානු වොලිබෝල් පුහුණුකරු ගෙදර යවයි

Nisanka Sandeepani - 2018 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 කොළඹ දී නිමාවට පත්වූ පළමු ආසියානු සමුළු අභියෝග ශූරතා වොලිබෝල් (පිරිමි) තරගාවලියේදි ශ්‍රී ලංකා කණ්ඩායම සෞදි අරාබියට පරාජය වීම පිළිබඳව සොයා බැලීමට පත්කළ විමර්ශන කමිටුව එහි ප්‍රධාන වොලිබෝල් පුහුණුකරු ලෙස කටයුතු කළ සර්බියානු  ජාතික ඩෙජාන් වුල්සිටි මහතා ඇතුළු සෙසු සහය පුහුණුකරුවන්ගේ සේවය අවසන් කිරීමට නිර්දේශ කර තිබේ.

 අදාල තරගයේදී ප්‍රධාන පුහුණුකරු වුල්සිවි මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්  නිවැරදි ලෙස ආදේශ කිරීමට අපොහොසත්වී ඇතැයි චෝදනා නැගුණි. එහිදී ශ්‍රී ලංකා  කණ්ඩායමේ සහය පුහුණුකරු චාල්ස් තිලකරත්න හා අභ්‍යාශක නලින් සම්පත් අබේසිංහ යන මහත්වරු සිය රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට අපොහොසත් වීමේ චෝදනා මත ඔවුන් සියලු දෙනාගේ සේවය මෙතැන් සිට අවසන් කළ යුතු බවට විමර්ශන කමිටුව  තීරණය කර තිබේ.

 ශ්‍රී ලංකාවේ සේවය සඳහා බඳවා ගත් සර්බියානු වොලිබෝල් පුහුණුකරු වුල්සිවි මහතා මේ වනවිට නිවාඩුවක් ලබා සිය රට බලාගොස් සිටියි. ඒ අනුව ඔහුගේ ශ්‍රී ලංකාවේ සේවය අවසන් කළ බවට ඔහුට ලිඛිතව දන්වා යවන  බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පවසයි.

කොළඹ දී නිමාවට පත්වූ පළමු ආසියානු අභියෝග ශූරතා වොලිබෝල් තරගාවලියේදී  ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානය ලැබූ අතර එහිදී ශූරතාව දිනාගත් ඉරාකයත් අනුශූරතාව ලද සෞදි අරාබියත් එළඹෙන ආසියානු ශූරතා වොලිබෝල් (පිරිමි) තරගාවලියට සුදුසුකම් ලැබීය. කෙසේ වුවත් ශ්‍රී ලංකාව සත්කාරය සඳහා විශාල වියදමක් දරමින් අපේක්‍ෂා කළේ අවම අනුශූරතාව ලබමින් හෝ ආසියානු ශූරතා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමය.

 මූලික වටයේදී වට 3/1කින් සෞදි අරාබියාවට පරාජයවීම තුළ තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීමේ ශ්‍රී ලංකාවේ අවස්ථාවට දැඩි බලපෑමක් එල්ලවූ බව ශ්‍රී ලංකා වොලිබෝල්  සම්මේලනය එහිදී අවධාරණය කර සිටියේය.

සෞදියට එරෙහිව පැවැති  මතභේදයට තුඩුදුන් මූලික වටයේ තරගය කිසියම් ආකාරයකින් ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත් වූයේ නම් ඔවුන්ට අවසන් පූර්ව තරගයේදී මුණ ගැසීමට  නියමිතව තිබුණේ බංගලාදේශයයි.

ඒ අනුව අදාල තීරණාත්මක තරගයේදී ශ්‍රී ලංකාව පළමු වටය ජයගෙන තිබියදීත් සෙසු වට තුනෙන්ම පරාජයට පත්වීමට සිදුවූ අතර එහිදි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් නිසි ලෙස ආදේශ නොකිරීම පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන්ට චෝදනා එල්ලවිය.

ඒ අනුව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ විධායක කමිටුව ඒ පිළිබඳව  විමර්ශනයක් කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් පත් කෙරුණි. සුසිල් රණසිංහ, රංජිත් ප්‍රේමරත්න, සී. රත්නමුදලි හා ධනපාල ජයපත්ම යන මහත්වරු කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ. කමිටුවේ විමර්ශන වාර්තාව ලබා ගැනීමෙන් පසුව ඊයේ කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවූ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විමර්ශන වාර්තාවේ නිර්දේශ මාධ්‍යයට ඉදිරිපත් කර සිටියේය.

ආසියානු අභියෝග ශූරතා තරගාවලිය හැරෙන්නට පැවැති ජකාර්තා ආසියානු ක්‍රීඩා  උළෙල හා ‘හෝචිමින්’ ආසියානු ක්‍රීඩා සමාජ (පිරිමි) වොලිබෝල් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම් මෙහෙය වූ ප්‍රධාන පුහුණුකරු වූයේ ඩෙජාන් වුල්සිවි මහතාය.

  ඔහුගේ ශ්‍රී ලංකා සේවය පිළිබඳව වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා මෙසේද පැවසීය.

 “සර්බියානු පුහුණුකරු ශ්‍රී ලංකාවේ ගත කළ කාලය තුළදී ලබාදුන් සේවය ගැන අපි සෑහීමකට පත්වෙනවා. ඔහු දක්‍ෂ පුහුණුකරුවෙක්. ඔහු මෙරටට අපි ගෙනාවෙ වසරක පරිවාස කාලයක් ඔහුට ලබාදීල අවශ්‍ය වුණොත් වසර දෙකකට සේවය දික් කරන්නයි. නමුත් කමිටු වාර්තාව ලබාදුන් නිර්දේශයට අනුව ඔහුගේ  ශ්‍රී ලංකාවේ සේවය අවසන් කරන්න අපි තීරණය කළා”

මේ අතර ජාතික කාන්තා හා පිරිමි, වයස 23න් පහළ කාන්තා හා පිරිමි, වෙරළ වොලිබෝල් කාන්තා හා පිරිමි හා  සියළු ජාතික වොලිබෝල් පුහුණ සංචිත ඉලක්ක කරමින් අළුතින් පුහුණුකරුවන් බඳවා ගැනීමට වොලිබෝල් සම්මේලනය තීරණය කර ඇත.

අදාළ සිදුවීමේදි සේවය අවසන් කළ දේශීය වොලිබෝල් පුහුණුකරුවන්ට නැවත ජාතික පුහුණුකරු ධුර සඳහා අයදුම් කිරීමට කිරීමට කිසිදු බාධාවක් නැතැයි ද නාලක මහතා පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් එහි පුහුණුකරුවන්, කළමනාකරු හා වෛද්‍ය නිලධාරියාගේ ප්‍රකාශ පදනම් කරගනිමින් කමිටු වාර්තාව සකස් කිරීමට එහිදී පියවර ගෙන තිබේ.

tytyt


අදහස් (0)

සර්බියානු වොලිබෝල් පුහුණුකරු ගෙදර යවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.