Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball මන්චි කුසලාන සුපර් ලීග් වොලිබෝල් තරගාවලිය 20 දා දඩල්ලේදී

මන්චි කුසලාන සුපර් ලීග් වොලිබෝල් තරගාවලිය 20 දා දඩල්ලේදී

නාමල් පතිරගේ - 2021 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ශූරතා ‘මන්චි කුසලාන‘ සුපර් ලීග් වොලිබෝල් තරගාවලිය ලබන සෙනසුරාදා (20 වැනිදා) සිට ගාල්ල දඩල්ල ජාතික වොලිබෝල් සංකීර්ණ ගෘහස්ත පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය වසරකට පමණ පසුව දේශීය වොලිබෝල් තරග මාලා සංවිධානය කිරීම ආරම්භ කරන්නේ මෙම තරගාවලියෙනි.

දඩල්ලේදී දකුණු පළාත් ක්‍රීඩා සංකීර්ණය ලෙස ඉදිකිරීමෙන් පසු, එය මෑතකදී වොලිබෝල් සම්මේලනයට පවරන ලදි.  දඩල්ල ජාතික වොලිබෝල් ක්‍රීඩා සංකීර්ණය බවට පත්වූ පසුව එහි පැවැත්වෙන පළමු වොලිබෝල් තරගාවලිය වන්නේද මෙම තරගාවලියයි.

මෙම 20 වැනිදා සිට 22 වැනිදා දක්වා කාන්තා මූලික තරග වටය පැවැත්වේ. 22 වැනිදා සිට 27 වැනිදා දක්වා පිරිමි මූලික තරග වටය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. කාන්තා හා පිරිමි අවසන් පූර්ව තරග සහ තෙවැනි ස්ථාන තේරීමේ තරග 28 වැනිදා හා මාර්තු 01 වැනිදා පැවැත්වේ. කාණ්ඩ දෙකේම අවසන් මහ තරග පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන මාර්තු 13 වැනිදාය.

ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිතයා වන අවසන් මහ තරග අතරින් කාන්තා තරගය මාර්තු 13 වැනිදා පස්වරු 1.00 ට ද, පිරිමි තරගය එදින පස්වරු 3.00 ට ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

දිවයිනේ නමගිය කාන්තා හා පිරිමි වොලිබෝල් කණ්ඩායම් සියල්ල මෙම තරගාවලියේදී තරග වදින අතර ජාතික වොලිබෝල් සංචිතවල සිටින ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන් බහුතරයක් මෙන්ම නවක ක්‍රීඩක ක්‍රීඩිකාවෝද මෙම තරගාවලියේදී තරග වදිති.

කොවිඩ් 19 වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය වසරට (2020) නියමිත තරගාවලිය අත්හැර දමමින් 2021 වසරට නියමිත තරගාවලිය ලෙස මෙවර සුපර් ලීග් තරගාවලිය පැවැත්වේ.

ජාතික වොලිබෝල් ශූරතා තරග මාලාවටම අයත් ජාතික ආධුනික තරගාවලිය මෙම වසරේදී පසුව වෙනම පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පවසයි.

සෙනසුරාදා ආරම්භ වන සුපර් ලීග් තරග මාලාවේ 2019 වසරේදී පිරිමි ශූරතාව දිනාගත්තේ යුද හමුදා ක්‍රීඩා සමාජයයි. 2019 දී එහි කාන්තා ශූරතාව දිනාගත්තේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයයයි.  මෙම කණ්ඩායම් දෙක ඇතුළුව කාන්තා කණ්ඩායම් අටක් හා පිරිමි කණ්ඩායම් 10ක් මෙවර තරගාවලියට සහභාගි වීමට නියමිතය.

 ලබන සෙනසුරාදා පෙරවරු 9.00 ට නාවික හමුදා පිල හා මහඋස්වැව ක්‍රීඩා සමාජ පිල අතර තරගයෙන් කාන්තා සුපර් ලීග් තරගාවලිය ඇරඹේ. විදුලිබල මණ්ඩල පිල හා ‘ඕෂන් ලංකා’ පිල අතර මෙම 23 වැනිදා පෙරවරු 9.00 ට පැවැත්වෙන තරගයෙන් සුපර් ලීග් පිරිමි තරගාවලිය ආරම්භ වේ. පිරිමි මූලික වටය තරග 20කිනුත්, කාන්තා මූලික වටය තරග 12කිනුත් සමන්විතය.

සිලෝන් (මන්චි) බිස්කට් සමාගම මෙවරත් තරග මාලාවට අනුග්‍රහය දැක්වයි.
ශූරතා, අනු ශූරතා සහ තෙවැනි ස්ථානවලට පවත්වන කණ්ඩායම් සඳහා රුපියල් 150,000 සිට ත්‍යාග මුදල් ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ.


සුපර් ලීග් වොලිබෝල් තරග මාලාවට සහභාගි වන ක්‍රීඩා සමාජ:

පිරිමි තරගාවලිය
යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, විදුලිබල මණ්ඩලය, බිටුලින්ක් ගෲප්, තරුණ සේවා සභාව, ඕෂන් ලංකා ක්‍රීඩා සමාජය, වාසනා බේකරි ක්‍රීඩා සමාජය සහ වරාය අධිකාරිය.

කාන්තා තරගාවලිය
ගුවන් හමුදාව, නාවික හමුදාව, යුද හමුදාව, වරාය අධිකාරිය, මාස් කැෂුවලයින්, තරුණ සේවා සභාව, හයිඩ්‍රාමනි සහ මහඋස්වැව ක්‍රීඩා සමාජය

 


අදහස් (0)

මන්චි කුසලාන සුපර් ලීග් වොලිබෝල් තරගාවලිය 20 දා දඩල්ලේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.