Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ඩී.එස්.අයි. තරගාවලියට කණ්ඩායම් 4000 ක්

ඩී.එස්.අයි. තරගාවලියට කණ්ඩායම් 4000 ක්

නාමල් පතිරගේ - 2020 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාර්තු මාසයේදී ආරම්භ කිරීමට නියමිත අන්තර් පාසල් (ඩී.එස්.අයි. සුපර් ස්පෝර්ට්ස්) බොලිබෝල් තරගමාලාව සඳහා මෙවරත් පාසල් කණ්ඩායම් 4000ක් පමණ සහභාගි වෙනු ඇතැයි ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය අපේක්ෂා කරයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතියෙන් මෙම තරගමාලාව සංවිධානය කෙරේ.

අයැදුම්පත් 10,000 ක් පමණ දිවයිනේ සියලුම පාසල් වලට තැපැල් කර යවා ඇති අතර ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නියෝජිතයන්ගෙන්ද අයැදුම්පත් ලබාගත හැකිය. නැතහොත් අයදුම්පත් ඩී.එස්.අයි. වෙළඳ ප්‍රදර්ශනාගාරවලින් ලබාගත හැකි බව තරග සංවිධායකයෝ පවසති.

අයැදුම්පත් මේ මස 25 වැනිදා දක්වා බාර ගැනේ. සියලුම අයැදුම්පත් ඩී.එස්.අයි. ප්‍රදර්ශනාගාර වෙත බාර දිය හැකි අතර තැපෑලෙන් ද එය යොමු කළ හැකිය. අලෙවි අංශය, නො. 257, හයිලෙවල් පාර, නාවින්න, මහරගම යන ලිපිනයට අයැදුම්පත් තැපැල් කළ හැකිය.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පැවැසුවේ ආරම්භයේ දී කණ්ඩායම් 198 කට සීමාවූ මෙම තරගාවලිය මේ වනවිට ශ්‍රී ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේම වැඩිම කණ්ඩායම් සහභාගිත්වයක් ඇති පාසල් වොලිබෝල් තරගාවලියක් බවට පත්ව තිබෙන බවයි. තරගාවලිය 11න් පහළ, 13න් පහළ, 15න් පහළ, 17 න් පහළ, 19 න් පහළ යන වයස් කාණ්ඩවලින් (බාලක සහ බාලිකා) ඉසව් 10කින් සමන්විතය.

ළාබාලම සිසු සිසුවියන් ඇතුළත් වයස 11න් පහළ හා 13න් පහළ කාණ්ඩ ඉසව් විශේෂ තරග ක්‍රමයකට පැවැත්වේ. එම ක්‍රමය පසුගිය තරග මාලාවේ දී අත්හදා බැලූ අතර එහි වඩාත් සාර්ථකත්වයක් පෙන්නුම් කළ බැවින් මෙතැන් සිට ඉහත වයස් කාණ්ඩ දෙක නව තරග ඉසව්ව අනුව පැවැත්වෙන බව වොලිබෝල් සම්මේලනය අවධාරණය කරයි. අරමුණ කණ්ඩායමකට (සංචිතයට) ඇතුළත් සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරග වැදීමේ අවස්ථාව සලසා දීමය. ඒ අනුව වයස 11න් පහළ හා 13න් පහළ තරග පැවැත්වීමේ දී සියලු  කාණ්ඩයන්හි ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් 12 දෙනාටම තරග වැදීමේ අවස්ථාව හිමිව්.

අධ්‍යාපන අමාත්‍යාංශය කලකට ඉහතදී ගෙන තිබූ තීරණයක් අනුව පාසල් ක්‍රීඩා උළෙලවලදී වයස 13න් පහළ දක්වා වන වයස් කාණ්ඩයන්ගෙන් ඕනෑම ක්‍රීඩා ඉසව්වක තරග පැවැත්වීම තහනම් කර තිබුණි. කෙසේවුවත් මීට වසර කිහිපයකට පෙර එම තහනම ඉවත් කරන ලදි. එහෙත් අධ්‍යාපන අමාත්‍යාංශය තවදුරටත් තරග සංවිධායකයන්ට උපදෙස් දී තිබුණේ 13 න් පහළ දක්වා වන වයස් කාණ්ඩයන් සහභාගි කර ගන්නා ක්‍රීඩා ඉසව් හැකිතාක් තරග ක්‍රමයෙන් බැහැරවී පවත්වන ලෙසයි.

දිස්ත්‍රික් හා ජාතික යන ප්‍රධාන ආදියර තුනකින් පැවැත්වෙන තරගමාලාවේ සියලු ම ඉසව්හි ශූරතාව අනුශූරතාව හා තවත් ස්ථාන සඳහා රුපියල් ලක්ෂයක්, 75,000 ක් හා 50,000 ක් බැගින් ප්‍රදානය කිරීමට අනුග්‍රාහක ඩී.එස්.අයි. ආයතනය කටයුතු යොදාතිබේ.

තරගාවලියේ සාමාරම්භක උත්සවය ලබන මාර්තු 1 වැනිදා හෝ ආසන්න දිනයක දී රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති, අධ්‍යාපන රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

දිස්ත්‍රික් (මූලික) තරගවටය පෙබරවාරි 28 සිට මාර්තු 31 වැනිදා දක්වාත් ජාතික (අවසන්) තරග වටය අප්‍රේල් 27 සිට මැයි 7 වැනිදා දක්වාත් පැවැත්වේ. අවසන් මහ තරග ලබන මැයි 24 - 25 යන දිනවල කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

පුරා විසි වසරක් තිස්සේ මෙම තරග මාලාවට අඛණ්ඩව අනුග්‍රහය දැක්වීම තුළින් රටේ ජාතික ක්‍රීඩාව යයි හඳුනාගෙන තිබෙන වොලිබෝල් ක්‍රීඩාවට සිය ආයතනය ප්‍රමුඛතම දායකත්වයක් ලබාදී තිබෙන බව මාධ්‍ය හමුව ඇමතූ ඩී. සැම්සන් සහ පුත්‍රයෝ (ඩී.එස්.අයි.) ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතා පැවැසීය.


අදහස් (0)

ඩී.එස්.අයි. තරගාවලියට කණ්ඩායම් 4000 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.