Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ‘අසරණයා’ ලේබලය ශ්‍රී ලංකාවට

‘අසරණයා’ ලේබලය ශ්‍රී ලංකාවට

නාමල් පතිරගේ - 2019 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


වසර 2022 දී කටාර් හිදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සුදුසුකම් සොයා යන ශ්‍රී ලංකාව එහි මුල් පියවර ලෙස හෙට (6 වැනිදා) මැකාඩෝ රාජ්‍ය සමග තරග වදී. ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම පසුගිය සෙනසුරාදා (1) චීනයේ ගුඇන්ග්ඩොන්ග් බලා පැමිණියේ ලාඕසයේදී සුහද පාපන්දු තරග දෙකකට ද සහභාගීවීමෙන් පසුවය.

හොං කොං දූපතට ඉතා ආසන්නයේ පිහිටි ගුඇන්ඩොන්ග්හිදී මෙම ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ  තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.00 ට ආරම්භ වේ.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 202 දක්වා පහළට වැටී සිටියි. ප්‍රතිවාදී මැකාවෝ රාජ්‍යය ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 183 වැනි ස්ථානයේ පසුවේ. මෙම තත්ත්වය අනුව කණ්ඩායම් දෙකින් ‘අසරණයා’ ලේබලය හිමි කණ්ඩායම බවට ශ්‍රී ලංකා පිල පත්ව තිබේ.

ශ්‍රී ලංකාව පාපන්දු ක්‍රීඩාවේදී ජාත්‍යන්තර වශයෙන් කොතරම් කඩා වැටී තිබේ ද යන්න පැහැදිලි වන්නේ ආසියානු ශ්‍රේණිගත කිරීම් අනුව පතුළටම (46 වැනි - අවසන් ස්ථානය) මේ වනවිට ඇද වැටී සිටින බැවිනි. මැකාවෝ රාජ්‍යය මෙම ශ්‍රේණිගත කිරීම් අනුව 37 වැනි ස්ථානයේ පසුවෙයි.

ලාඕසයේදී පැවැති සුහද තරග දෙකෙන් තරගයක් ශ්‍රී ලංකාව පරාජයට පත් වූ අතර අනෙක් තරගය ගෝල 2-2 ක් ලෙසින් ජය පරාජයෙන් තොරව නිමා විය. ආසියානු කලාපීය ලෝක කුසලාන තරගාවලියේ පළමු වටය 2023 ආසියානු කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයක් ලෙසත් සැලකේ.

මැකාඩෝ සමග හෙට පැවැත්වෙන තරගයෙන් පසුව ශ්‍රී ලංකාව සහ මැකාවෝ කණ්ඩායම් අතරම ආසියානු කලාපීය සුදුසුකම් තේරීමේ දෙවැනි වටයේ තරගය මෙම මස 11 වැනිදා කොළඹදී පැවැත්වේ. ශ්‍රී ලංකාවේ දැනට පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ මෙම තරගය යුද හමුදාවේ රැකවරණය මැද කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වීමට දැන් තීරණය කර තිබේ.

මෙම තරග දෙකේදී ඉහළ දක්ෂතා පළ කරන කණ්ඩායම ලබන සැප්තැම්බර් 5 වැනිදා පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලියේ දෙවැනි වටයට තෝරා ගැනේ.

මාලදිවයිනේ වෘත්තීය පාපන්දු ක්‍රීඩකයකු වන සුජාන් පෙරේරා ශ්‍රී ලංකා පිලේ නායකත්වය දරයි. මෙරට ජාතික පිලේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයකු වන එහි නිත්‍ය දැල් රකින්නා ද වන සුජාන් පෙරේරා මාලදිවයිනේ පැවැති ලීග් පාපන්දු තරගාවලියේ හොඳම දැල් රකින්නාට  ලෙසින්ද සම්මාන ලැබීය.

එංගලන්තයේ කීර්තිමත් මැන්චෙස්ටර් පාපන්දු විද්‍යාතනයේ පුහුණු සැසිවාරයකට ද වරක් සහභාගී වී සිටින සුජාන් පෙරේරා ‘කළුතර උද්‍යානය’ ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෙකි. මැකාවෝ පිලට මුහුණ දෙන ශ්‍රී ලංකා කණ්ඩායම වයස 23න් පහළ යොවුන් ක්‍රීඩකයන් බහුතරයකින් සමන්විතය.

1950 පසුව මැකාවෝ පිල ශ්‍රී ලංකාවට මුණගැසුණු එකම අවස්ථාවේදී එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ. එහි ලකුණු තත්ත්වය 1-1 ක් විය. ඒ මලයාසියාවේ කූවින්ග් තරගයේදී වසර 2016 නොවැම්බර් මාසයේ දී පැවැති මලයාසියානු සහයෝගිතා කුසලාන තරගාවලියේදීය.

අවසන් වරට පැවැති ලෝක කුසලාන (මොස්කව් - 2018) තරගාවලියේ සුදුසුකම් සොයා ගිය පළමු වටයේදීම ශ්‍රී ලංකාව භූතානය හමුවේ තරග දෙකෙන්ම අනපේක්ෂිත පරාජයක් ලැබීමෙන් මොස්කව් ලෝක කුසලාන ගමන එතැනින් නිමාවට පත් විය.
 


අදහස් (0)

‘අසරණයා’ ලේබලය ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.