Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හැරී කේන් සිහින දෙකක් හඹා යයි

හැරී කේන් සිහින දෙකක් හඹා යයි

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දැනටමත් ගෝල 5ක් වාර්තා කරමින් මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ වැඩිම ගෝල සංඛ්‍යාවක් ලැබූ ක්‍රීඩකයා බවට පත්ව කුසලානයයි, රන් සපත්තුවයි දෙකම හඹා යන එංගලන්ත නායක හැරී කේන් එංගලන්ත පාපන්දු ලෝලීන්ගේ එකම බලාපොරොත්තුව වී තිබේ. අර්ජන්ටිනාව සහ පෘතුගාලය දැනටමත් තරගාවලියෙන් ඉවතට විසිවී සිටින බැවින් ලයනල් මෙසී හෝ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගැන තවදුරටත් කතා කිරීමෙන් පලක් නැත.

හැරී කේන් පසුවන්නේ හෙට පැවැත්වෙන අවසන් 16 දෙනාගේ අවසන් තරගයේදී කොලොම්බියාව පරදවා අර්ධ අවසන් පූර්ව වටයට එක්වීමේ බලාපොරොත්තුවෙනි. ඔහු දැනට සිතමින් ඉන්නේ තමන් ආසන්නයේම තිබෙන අභියෝගය ගැන පමණි. එහෙත් ඔහු සිහින දෙකක් හඹා යමින් සිටී.

ලෝක කුසලානයට අත තැබීමත් රන් සපත්තුව පයළා ගැනීමත් ඔහුගේ සිහින දෙකයි.

බෙල්ජියම සමග පැවැති මූලික වටයේ අවසන් තරගයේදී වැඩි හොඳට විවේක ගන්වා සිටි එංගලන්ත පිලේ නායකයා ඊට පෙර පැවැති  තරග දෙකේදී දැක්වූයේ විස්මිත පෙරළියකි. ඔහු ටියුනීසියාව සමග පැවැති තරගයේදී ගෝල ද්විත්වයක් වාර්තා කළ අතර පැනමා කණ්ඩායමට එරෙහිව ගෝල ත්‍රිත්වයක් ලැබුවේය.

කණ්ඩායමේ කළමනාකරු ගැරත් සවුත්ගේට් කියන විදිහට 1966 වසරේ ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමට පසුව එංගලන්තයේ බිහිවූ හොඳම කණ්ඩායම වර්තමාන කණ්ඩායමයි. වසර 52කට පසුව එංගලන්තයට පාපන්දු ලෝක කුසලානයක් දිනාගැනීමට මෙවර කදිම අවස්ථාවක් ලැබී ඇතැයි ද ඔහු කියයි.
පැනමා පිල සමග පැවැති තරගයේදී ගෝල ද්විත්වයක් වාර්තා කළ ජෝන් ස්ටෝන්ස්, ජෙසී ලින්ගාඞ් හෙට තරගයේදී හැරී කේන්ගේ ප්‍රධානතම සහායකයෝ බවට පත්වී සිටිති.

මේ අතර ජපානය හමුවේ අන්පේක්ෂිත පරාජයක් ලබමින් තරගාවලිය ආරම්භ කළ කොලොම්බියාව හෙට තරගයට එක්වන්නේ තරමක් දෙගිඩියාවෙනි. මෙවර තරගාවලියට එක්වී සිටින්නේ සිය හොඳම කණ්ඩායම නොවන  බව ඉඳුරාම දන්නා කොලොම්බියානු පිලට අර්ධ අවසන් පූර්ව වටයේ තැනක් ලැබෙන්නේ නම් එය එක් අතකින් ප්‍රසාද දීමනාවක් බඳුය.

මේ දකුණු අමෙරිකානුවන්ගේ විශිෂ්ටතම ක්‍රීඩක ජේම්ස් රොඞ්රිගුවස් දකුණු පාදයේ ආබාධයකට ලක්වී සිටින අතර හෙට තරගයට ඔහුගේ සහභාගීත්වය තවමත් අවිනිශ්චිතය. පසුගිය තරගාවලියේ ගෝල 6ක් වාර්තා කරමින් රන් සපත්තුව දිනාගත් 26 හැවිරිදි රොඞ්රිගුවස්ගේ අඩුව කොලොම්බියාවට තරමක පීඩනයක් වනු නිසැකය. එසේ වුවත් දස්කම් අතරේ සිටින යෙරී මිනා, ජුවාන් ෆර්නැන්ඩෝ කුවින්ටෙරෝ සහ රැඩාමෙල් ෆැල්කෝ එංගලන්තයට විශාල අභියෝගයක් වනු ඇත.

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නැරැඹීමට කොලොම්බියානුවෝ 30,000 කට වැඩි පිරිසක් රුසියාවට පැමිණ සිටිති. තවත් 10,000 ක් දෙනා හෙට එන බව කියන කොලොම්බියානු පිලේ ගෝල් රකින්නා වන ඬේවිඞ් ඔස්පිනා නම් කියන්නේ මේ අතිවිශාල ක්‍රීඩාලෝලීන්ගේ ආශිර්වාදයෙන් එංගලන්තය දණගැස්වීමට කොලොම්බියාවට අවස්ථාවක් ලැබෙනු ඇති බවය.

‘එංගලන්තය හොඳ කණ්ඩායමක්. ඒත් අපි ඔවුන්ට බය නෑ.‘ ඔහු කියයි.

 

සැකසුම : මොහාන් ප්‍රනාන්දු

 


අදහස් (0)

හැරී කේන් සිහින දෙකක් හඹා යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.