Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හච් - ශ්‍රී ලංකා සුපර් සීරීස් සම්මාන රාත්‍රිය හෙට

හච් - ශ්‍රී ලංකා සුපර් සීරීස් සම්මාන රාත්‍රිය හෙට

ශානුක අරවින්ද - 2019 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මෝටර් රථ රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය (ස්ලාඩාර්), ආසියානු මෝටර් රථ ක්‍රීඩා සමාජය (ඒ.එම්.ආර්.සී.) සමග එක්ව තෙවැනි වරටත් සංවිධානය කළ ‘හච්-ශ්‍රී ලංකා සුපර් සීරීස්’ මෝටර් රථ සහ යතුරුපැදි ශූරතාවලියේ සම්මාන රාත්‍රිය හෙට (10) පස්වරු 7.00 සිට අත්තිඩිය, ඊගල් ලේක් සයිඞ් හෝටලයේදී පැවැත්වේ.

දියතලාවේදී පැවැති නරියාකන්ද සුපර්ක්‍රොස්, කුඩාඔයදී පැවැති කමාන්ඩෝ සුපර්ක්‍රොස්, කුරුණෑගලදී පැවැති කැවල්රි සුපර්ක්‍රොස්, වැලිසරදී පැවැති කොළඹ සුපර්ක්‍රොස් යන තරගාවලිවලදී මෙන්ම මීරිගමදී සහ කටුකුරුන්දේදී පැවැති මාර්ග මෝටර් රථ තරගාවලිවලදීද ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා මෙම සම්මාන උළෙලේදී ඇගැයීමට ලක්කෙරේ.

එහිදී වසරේ දක්ෂතම මෝටර් රථ රියැදුරා සහ දක්ෂතම යතුරුපැදිකරුවා සඳහා විශේෂ සම්මාන දෙකක් පිරිනැමෙන අතර ඔවුන් දෙදෙනාට ත්‍යාග වශයෙන් හොණ්ඩා වර්ගයේ නවතම යතුරුපැදි දෙකක්ද ලබාදීමට නියමිතය. තවද එහිදී මෝටර් රථ අංශය සඳහා සෙසු සම්මාන 5 ක්ද, යතුරුපැදි අංශය සඳහා සෙසු සම්මාන 3 ක්ද පිරිනැමීමට සංවිධායකයන් කටයුතු යොදා තිබේ.

එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ ඉසව්වේදී වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙසත්, එම්.එක්ස්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වේදී වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා දක්ෂතම යතුරුපැදිකරුවා ලෙසත් එහිදී අභිසෙස් ලැබීමට නියමිතය.

මෙවර තරග මාලාවේ දක්ෂතම මෝටර් රථ රියැදුරා සම්මානය සඳහා අශාන් සිල්වා සහ උෂාන් පෙරේරා අතරද, දක්ෂතම යතුරුපැදිකරුවා සම්මානය සඳහා ජාක් ගුණවර්ධන සහ ඉවෝන් බී. ගුරුසිංහ අතරද ඉතා තියුණු තරගයක් පැවැත්විණ. කෙසේ වුවත් අවසන් වරට පැවැති කොළඹ සුපර්ක්‍රොස් තරගාවලිය නිමාවීමත් සමග එම සම්මාන ද්විත්වයේ හිමිකරුවන් කවුරුන්දැයි යන්න තහවුරු විය.

එස්.එල්.එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි.ධා. 1500 දක්වා) මෝටර් රථ ඉසව්ව, එස්.එල්.එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි.ධා. 1300 දක්වා) මෝටර් රථ ඉසව්ව, එස්.එල්.එස්. කාණ්ඩයේ (සි.ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ ඉසව්ව, එස්.එල්.එච්. කාණ්ඩයේ (සි.ධා. 1600 දක්වා) හොණ්ඩා මෝටර් රථ ඉසව්ව සහ එස්.එල්.එච්. කාණ්ඩයේ (සි.ධා. 2200 දක්වා) සුබාරු ලෙගසි මෝටර් රථ ඉසව්ව සම්මාන පිරිනැමෙන සෙසු මෝටර් රථ ඉසව් වේ.  

එහිදී සම්මාන පිරිනැමෙන සෙසු යතුරුපැදි ඉසව්ව වන්නේ එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 85 දක්වා) මොටෝක්‍රොස් (වයස 15 න් පහළ) යතුරුපැදි ඉසව්ව, ‘එම්’ කාණ්ඩයේ නවීකරණය කරන ලද (සි.ධා. 250 දක්වා) යතුරුපැදි ඉසව්ව සහ එස්.එම්. කාණ්ඩයේ සුපර් මෝටාඞ් විවෘත යතුරුපැදි ඉසව්වයි.

මෙවර සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධියා ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා සහභාගි වන අතර යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂ ආරාධිතයකු ලෙස එම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

 


අදහස් (0)

හච් - ශ්‍රී ලංකා සුපර් සීරීස් සම්මාන රාත්‍රිය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.