Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සෙනුර - බිමන්දි ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායමට එක්වෙති

සෙනුර - බිමන්දි ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායමට එක්වෙති

ශානුක අරවින්ද - 2019 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 දෙසැම්බර් මස 1 වැනිදා සිට 10 වැනිදා දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව උදාකර ගැනීමට තවමත් 14 වැනි වියේ පසුවන කොළඹ ආනන්ද විදුහලේ සෙනුර සිල්වා සහ මහනුවර හිල්වුඞ් විදුහලේ බිමන්දි බණ්ඩාර සමත්ව සිටිති.

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති තේරීම් තරගාවලියේදී ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පරාජය කරමින් ඔවුහු ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසුකම් ලබාගත්හ. තේරීම් තරගාවලියේදී දැක්වූ දක්ෂතා අනුව සෙනුර පිරිමි මේසපන්දු කණ්ඩායමේ 5 වැනි ක්‍රීඩකයා බවටත්, බිමන්දි කාන්තා මේසපන්දු කණ්ඩායමේ 2 වැනි ක්‍රීඩිකාව බවටත් පත්ව තිබේ.

උදය රණසිංහගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිරිමි මේසපන්දු කණ්ඩායමට නිර්මල ජයසිංහ, ක්‍රිෂාන් වික්‍රමරත්න සහ චමීර ගිණිගේ යන ක්‍රීඩකයෝ ඇතුළත්ව සිටිති. ශ්‍රී ලංකා කාන්තා මේසපන්දු කණ්ඩායමට එරන්දි වරුසවිතාන, අයිලා චිට්ටි සහ හංසනී පියුමිලා යන ක්‍රීඩිකාවෝ ඇතුළත්ව සිටින අතර ඉෂාරා මධුරංගි එහි නායකත්වය දරන්නීය.

තේරීම් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 10 දෙනෙක් සහ ක්‍රීඩිකාවන් 10 දෙනෙක් සහභාගි වී ඇති අතර එහිදී සෑම ක්‍රීඩකයෙක්ම සෙසු ක්‍රීඩකයන් සමගද, සෑම ක්‍රීඩිකාවක්ම සෙසු ක්‍රීඩිකාවන් සමගද තරග දෙක බැගින් ක්‍රීඩා කර තිබේ. එම තරගවලදී ඔවුන් හිමිකරගත් ජයග්‍රහණ සඳහා ලැබූ ලකුණු වලින් 80% ක ප්‍රතිශතයක්ද, මේ දක්වා ඔවුන් ලබාගෙන සිටි ශ්‍රේණිගත ලකුණු වලින් 20% ක ප්‍රතිශතයක්ද එක්කොට ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගෙන තිබේ.

ඒ අනුව සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවක්ම තේරීම් තරගාවලියේදී තරග 18 කට බැගින් ක්‍රීඩා කර ඇති අතර එහිදී උදය ජයග්‍රහණ 15 ක්ද, නිර්මල ජයග්‍රහණ 13 ක්ද, ක්‍රිෂාන් ජයග්‍රහණ 12 ක්ද, චමීර ජයග්‍රහණ 11 ක්ද, සෙනුර ජයග්‍රහණ 12 ක්ද බැගින් වාර්තා කිරීමට සමත්ව ඇත. ක්‍රීඩිකාවන් අතරින් ඉෂාරා ජයග්‍රහණ 15 ක්ද, බිමන්දි ජයග්‍රහණ 14 ක්ද, එරන්දි ජයග්‍රහණ 11 ක්ද, අයිලා ජයග්‍රහණ 10 ක්ද, හංසනී ජයග්‍රහණ 10 ක්ද බැගින් හිමිකර ගෙන ඇත.

කෙසේ වුවත් ඉකුත් සැප්තැම්බර් මස ඉන්දුනීසියාවේ පැවැති ආසියානු මේසපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ප්‍රවීණ ක්‍රීඩක රොහාන් සිරිසේන මෙන්ම ජිතාරා වර්ණකුලසූරියද දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් හිමිකර ගැනීමට අපොහොසත් වී ඇත.

හිටපු ජාතික ශූරයකු වන රොහාන්, ලාබාල ක්‍රීඩකයන් හමුවේ ලද පරාජයන් හමුවේ පිරිමි තේරීම් තරගාවලියේ 7 වැනි ස්ථානයට පත්ව ඇති අතර ජිතාරා වර්ණකුලසූරියට හිමිව ඇත්තේ කාන්තා තේරීම් තරගාවලියේ 6 වැනි ස්ථානයයි. අයිලා චිට්ටි ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරමින් ජාත්‍යන්තර තරගාවලියකට සහභාගි වන පළමු අවස්ථාව මෙය වනු ඇත.

සුපුන වරුසවිතාන, මිලින්ද ලක්ෂිත, දිනේෂ් කවිෂ්ක සහ දිනේෂ් කවිෂ්ක තේරීම් තරගාවලියට සහභාගි වූ සෙසු ක්‍රීඩකයන් වූ අතර කසුනි පිටිගල, මුතුමාලි ප්‍රියදර්ශනී, තනුෂි රොද්‍රිගූ සහ ඩී.එච්. කොළඹගේ ඊට සහභාගි වූ සෙසු ක්‍රීඩිකාවෝ වූහ.

 

ශ්‍රී ලංකා පිරිමි මේසපන්දු කණ්ඩායම
උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල් ආදි ශිෂ්‍ය ක්‍රීඩා සමාජය), නිර්මල ජයසිංහ (මාස් ඉන්ටිමේට් ආයතනය), ක්‍රිෂාන් වික්‍රමරත්න (මහනුවර විද්‍යාර්ථ විදුහල් ආදි ශිෂ්‍ය ක්‍රීඩා සමාජය), චමීර ගිණිගේ (ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය) සහ සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල)

ශ්‍රී ලංකා කාන්තා මේසපන්දු කණ්ඩායම
ඉෂාරා මධුරංගි (වරාය අධිකාරිය), බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් විදුහල), එරන්දි වරුසවිතාන (යුද හමුදාව), අයිලා චිට්ටි (කොළඹ කාන්තා විදුහල) සහ හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල)

බුද්ධික දික්කුඹුර (පුහුණුකරු)

 


අදහස් (0)

සෙනුර - බිමන්දි ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායමට එක්වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.