Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සුසුකිගේ පමාවෙන් ඉෂාන් ඉදිරියට පනී

සුසුකිගේ පමාවෙන් ඉෂාන් ඉදිරියට පනී

ශනුක අරවින්ද - 2016 ජුනි මස 28 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

කුරුණෑගල, බෝයගනේ විජයබාහු රෙජිමේන්තු ධාවන පථයේදී පැවැති 14 වැනි ‘විජයබාහු මොටෝක්‍රොස්’ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීමට ඉෂාන් දසනායක සමත් විය.

තරගාවලියේ ප‍්‍රධානම යතුරුපැදි ඉසව්ව වූ එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වේ පළමු තරගයේදී දෙවැනි ස්ථානයට පත්වූ ඉෂාන් දසනායක, දෙවැනි තරගය විශිෂ්ට ලෙස ජයගනිමින් එම සම්මානයට හිමිකම් කීවේය.

ආරම්භයේ සිටම ධාවන පථය පුරා සිය අණසක පැතිරවූ ජපන් ජාතික තොමායා සුසුකි, පහසුවෙන්ම පළමු තරගය ජයගැනීමට සමත් වූ අතර එම තරගය අවසන් වන තෙක්ම ඔහු පසුපස හඹාගිය ඉෂාන් දසනායක සහ සමීර පේ‍්‍රමරත්න පිළිවෙලින් දෙවැනියා සහ තෙවැනියා ලෙස තරගය අවසන් කළහ.

දෙවැනි තරගය ආරම්භයේදී පෙරමුණ ගැනීමට ඉෂාන් දසනායක සමත් වුවත් පළමු වටය නිමාවීමට ඔන්න මෙන්න කියා තිබියදී ඔහු පසුකර යමින් තරගයේ ඉදිරිය ලබාගැනීමට තොමායා සුසුකි සමත් විය. එතැන් සිට වට 4 ක් නිමා වන තෙක් තරගයේ පෙරමුණේ ගමන්කළ සුසුකිට, සිය යතුරුපැදියේ ඇතිවූ කාර්මික දෝෂයක් නිසා 5 වැනි වටය ආරම්භයේදී තරගයෙන් ඉවත් වීමට සිදුවිය. එම නිසා ඔහුට පිට පිටම තෙවැනි වරටත් ‘විජයබාහු මොටෝක්‍රොස්’ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වීමට තිබූ දුර්ලභ අවස්ථාවද අහිමිවී ගියේය.

සුසුකිගේ ඉවත්වීමත් සමග නැවතත් තරගයේ පෙරමුණට පැමිණි ඉෂාන් දසනායක එම තරගය ජයග‍්‍රහණයකින් නිමා කළේ පළමු වරට ‘විජයබාහු මොටෝක්‍රොස්’ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවාට හිමි සම්මානය තමන් සතුකරගනිමිනි. සමීර පේ‍්‍රමරත්න සහ ඉවෝන් බී. ගුරුසිංහ පිළිවෙලින් එම තරගයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකරගත්හ.

මෙම තරගාවලියේදී ලද ජයග‍්‍රහණයත් සමග පිට පිටම සහභාගි වූ ප‍්‍රධාන පෙළේ තරගාවලි 4 කදී දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වීමට ඉෂාන් දසනායක සමත් වී තිබේ. මින් පෙර පැවැති ‘නරියාකන්ද සුපර්ක්‍රොස්’ (අපේ‍්‍රල් මස 24 වැනිදා දියතලාවේදී), ‘සීගිරිය රැළි ක්‍රොස්’ (ජූනි මස 5 වැනිදා සීගිරියේදී) සහ ‘කැවල්රි සුපර්ක්‍රොස්’ (ජූනි මස 12 වැනිදා කුරුණෑගලදී) යන තරගාවලි වලදීද දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වූයේ ඉෂාන්ය.

‘එම්. එක්ස්.’ කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) රේසිං යතුරුපැදි විවෘත තරගය ජයගැනීමට ඉෂාන් දසනායක සමත් වූයේ සමීර පේ‍්‍රමරත්න සහ බුද්ධික කසුන් සිල්වා එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන වලට ඇද දමමිනි.

මෙවර තරගාවලියේදී කී‍්‍රඩකයක් වාර්තා කළ දිගම පිම්ම (අඩි 116) වාර්තා කිරීමට යුද හමුදාවේ සංඥා බලකාය නියෝජනය කළ බුද්ධික කසුන් සිල්වා සමත් විය. තරගාවලියේ අවසන් තරගය වූ එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි දෙවැනි තරගයේ අවසන් වටයේදී ඔහු එම දස්කම දැක්වීය.

එදා මෙදා තුර ‘විජයබාහු මොටෝක්‍රොස්’ තරගාවලි ඉතිහාසයේ කී‍්‍රඩකයක් වාර්තා දිගම පිම්මේ වාර්තාවට (අඩි 120) හිමිකම් කියන ටොමායා සුසුකිට මෙවර තරගාවලියේදී වාර්තා කළ හැකි වූයේ අඩි 108 ක් දුරක් පමණි.

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද (සන්නද්ධ සේවා) යතුරුපැදි තරගය සහ ‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද (විවෘත) යතුරුපැදි තරගය ජයගත් යුද හමුදාවේ විජයබාහු රෙජිමේන්තුවේ නිහාල් විජේරත්න, ඉන් නොනැවතී ‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්) යතුරුපැදි තරග දෙකේම දෙවැනි ස්ථානද හිමිකරගනිමින් තරගාවලියේදී දක්ෂතම සන්නද්ධ සේවා යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගත්තේය.

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්) යතුරුපැදි තරග දෙකම ජයගත් ඉවෝන් බී. ගුරුසිංහ සහ ‘ජේ’ කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) මොටෝක්‍රොස් (වයස 10 න් පහළ) යතුරුපැදි තරග දෙකම ජයගත් ටී. ජී. අංජන ද්විත්ව ජයග‍්‍රහණයන්ට හිමිකම් කීමට කීහ.

‘එම්. එක්ස්.’ කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් (වයස 13 න් පහළ) යතුරුපැදි තරගය ජයගනිමින්, එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් (වයස 16 න් පහළ) යතුරුපැදි දෙවැනි තරගයේ තෙවැනි ස්ථානයටද පත්වූ තවමත් 11 වැනි වියේ පසුවන ඞී. එම්. ඞී. කල්හාර මෙවර තරගාවලියේ නැගී එන කී‍්‍රඩකයා ලෙස සම්මාන ලැබීය.

‘එම්. එක්ස්.’ කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් (වයස 16 න් පහළ) යතුරුපැදි පළමු තරගය ජයගැනීමට හසිඳු ගුණසේකර සමත් වූ අතර දෙවැනි තරගය ජයගැනීමට කවිඳු කෙවිටියාගල සමත් විය.

කෙසේ වුවත් ගයාන් සඳරුවන්, ෂෙහාන් සී. අධිකාරි, ජැක් ගුණවර්ධන, ශානුක සඳරුවන් සහ ළහිරු ජීවන්ත වැනි දිවයිනේ ප‍්‍රමුඛ පෙළේ යතුරුපැදිකරුවන් කිහිප දෙනකුම විවිධ අබාධ වලට ලක්ව සිටීම නිසා මෙවර තරගාවලියට සහභාගී නොවූහ.

ශ්‍රී ලංකා යුද හමාදාවේ විජයබාහු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා රේසිං යතුරුපැදි ධාවකයන්ගේ සංගමය සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලිය යතුරුපැදි තරග 13 කින් සමන්විත වූ අතර යතුරුපැදිකරුවන් 100 කට ආසන්න සංඛ්‍යාවක් ඊට සහභාගි වුහ.

 

තරග ප‍්‍රතිඵල

‘එම්. එක්ස්.’ කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය (වයස 13 න් පහළ)
1 ඞී. එම්. ඞී. කල්හාර   
2 කේසර ගොඩගේ  
3 ස්ටීවන් ප‍්‍රනාන්දු   

‘එම්. එක්ස්.’ කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) රේසිං යතුරුපැදි තරගය (සන්නද්ධ සේවා)
1 සමීර පේ‍්‍රමරත්න
2 බුද්ධික කසුන් සිල්වා  
3 නිහල් විජේරත්න

‘ජේ’ කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි පළමු තරගය (වයස 10 න් පහළ)
1 ටී. ජී. අංජන  
2 රිවිනු රත්නායක   
3 මිනුක රත්නායක   

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි තරගය (සන්නද්ධ සේවා)
1 නිහල් විජේරත්න
2 ඊ. ඒ. පී. එන්. එදිරිසිංහ
3 එම්. එන්. පෙරේරා  

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස්  යතුරුපැදි පළමු තරගය
1 තොමායා සුසුකි (ජපානය)
2 ඉෂාන් දසනායක  
3 සමීර පේ‍්‍රමරත්න

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස්  යතුරුපැදි පළමු තරගය (වයස 16 න් පහළ)
1 හසිඳු ගුණසේකර
2 වෙනුෂ්ක සිල්වා
3 කවිඳු කෙවිටියාගල

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි පළමු තරගය (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)
1 ඉවෝන් බී. ගුරුසිංහ
2 නිහල් විජේරත්න
3 මධුර පීරිස්

‘ජේ’ කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි දෙවැනි තරගය (වයස 10 න් පහළ)
1 ටී. ජී. අංජන  
2 රිවිනු රත්නායක   
3 වෙනුදු දෙව්නක

‘එම්. එක්ස්.’ කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) රේසිං යතුරුපැදි තරගය (විවෘත)
1 ඉෂාන් දසනායක
2 සමීර පේ‍්‍රමරත්න
3 බුද්ධික කසුන් සිල්වා

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි පළමු තරගය (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)
1 ඉවෝන් බී. ගුරුසිංහ
2 නිහල් විජේරත්න
3 ආර්. එම්. සෆ්රාස්

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස්  යතුරුපැදි දෙවැනි තරගය (වයස 16 න් පහළ)
1 කවිඳු කෙවිටියාගල
2 වෙනුෂ්ක ටී. සිල්වා
3 ඞී. එම්. ඞී. කල්හාර  

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි තරගය (විවෘත)
1 නිහල් විජේරත්න
2 ඊ. ඒ. පී. එන්. එදිරිසිංහ
3 මධුර පීරිස්

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස්  යතුරුපැදි දෙවැනි තරගය
1 ඉෂාන් දසනායක
2 සමීර පේ‍්‍රමරත්න
3 ඉවෝන් බී. ගුරුසිංහ

 

ජපන් ජාතික තොමායා සුසුකි

 

දක්ෂතම සන්නද්ධ සේවා යතුරුපැදිකරුවා නිහල් විජේරත්න

 

දිගම පිම්ම (අඩි 116) වාර්තා කළ බුද්ධික කසුන් සිල්වා

 

නැගී එන ක්‍රීඩකයා බවට පත්වූ ඩී. එම්. ඩී. කල්හාර

(ඡායාරූප - ශානුක අරවින්ද)

 


අදහස් (1)

සුසුකිගේ පමාවෙන් ඉෂාන් ඉදිරියට පනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.