Last Update  :  2024-03-29 14:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සාෆ් පාපන්දු කුසලාන මාලදිවයිනට

සාෆ් පාපන්දු කුසලාන මාලදිවයිනට

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


12 වැනි දකුණු ආසියානු පාපන්දු සම්මේලන (සාෆ්) කුසලාන තරගාවලියේ පෙරළිකාර සහ වාසනාවන්ත කණ්ඩායමක් ලෙස පියවරෙන් පියවර ඉදිරියට පැමිණි මාලදිවයින අද (15) පැවැති අවසන් තරගයේදී ප්‍රබල ඉන්දියාව ගෝල 2-1කින් පරදා එම කුසලාන සහ මුදලින් ඇමරිකානු ඩොලර් 50000ක් දිනා ගැනීමට සමත්විය.

බංග්ලාදේශයේ ඩකා අගනුවර බංගබන්දු ක්‍රීඩාංගණයේදී මෙම අවසන් තරගය පැවැති අතර මාලදිවයින එම කුසලාන දිනාගත් දෙවැනි අවස්ථාවද වේ. මීට පෙර 2008 වසරේ පැවැති සාෆ් පාපන්දු තරගාවලියේදී ඉන්දියාව ගෝල 1-1කින් පරදා මාලදිවයින එම කුසලාන දිනාගෙන ඇත.

මාලදිවයින 1997, 2003 සහ 2009 යන වසරවල තරගාවලියේ අනුශූරයන් වී ඇති අතර එම සෑම අවසන් තරගයකදීම ඉන්දියාව මාලදිවයිනේ ප්‍රතිවාදීන් වී ඇත.

2018 සාෆ් පාපන්දු තරගාවලිය යටතේ ‘බී’ කාණ්ඩය නියෝජනය කළ මාලදිවයින සිය පළමු තරගය ශ්‍රී ලංකාව සමග ගෝල 0-0ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් කරගත් අතර ඉන්දියාවට එරෙහිව මුහුණ දුන් මූලික වටයේ අවසන් තරගය ගෝල 0-2ක් ලෙස ඉන්දියාවට පරාජය විය.

අනතුරුව ශ්‍රී ලංකාව සහ මාලදිවයින ප්‍රසාද ලකුණු සමවීම නිසා කාසියේ වාසිය මත එහි ජයග්‍රහණය අත්කර ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ මාලදිවයින නේපාලයට එරෙහිව ගෝල 3-0ක ජයක් හිමිකර ගනිමින් අවසන් තරගය නියෝජනය කිරීමට වරම් ලබාගත්තේය.

මාලදිවයින සහ ඉන්දියාව අතර පැවැති අවසන් තරගයේ ප්‍රථම භාගය අවසන් වන විට මාලදිවයින ගෝල 1-0ක් ලෙස ඉදිරියෙන් සිටියේය. එම ගෝලය 19වැනි මිනිත්තුවේදී ඉබ්‍රහීම් හුසේන් විසින් වාර්තා කරන ලදී.

මාලදිවයිනේ දෙවැනි ගෝලය අලී හසීර් විසින් 66 වැනි මිනිත්තුවේදී වාර්තා කරන ලද අතර තරගය නිමාවීමට මොහොතකට පෙර ඉන්දීය කණ්ඩායමේ සුමිට් පාස්සි විසින් අතිරේක කාලයේදී (92 වැනි මිනිත්තුවේදී) ඉන්දියාව වෙනුවෙන් එකම ගෝලයක් වාර්තා කරන ලදී.

 

 


අදහස් (0)

සාෆ් පාපන්දු කුසලාන මාලදිවයිනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.