Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ස්ටෝක්ස්ගේ තුන් ඉරියව් දස්කම් එංගලන්තය දිනවයි

ස්ටෝක්ස්ගේ තුන් ඉරියව් දස්කම් එංගලන්තය දිනවයි

editorial - 2019 මැයි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර ලන්ඩන්හි කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (30 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 104 ක පහසු ජයක් අත්කර ගැනීමට එංගලන්තය සමත් විය. එහිදී තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ බෙන් ස්ටෝක්ස් ලකුණු 89 ක් රැස්කරමින්, කඩුලු 2 ක් දවාගනිමින්, උඩ පන්දු 2 ක් රැකගනිමින් සහ දුවද්දී දවාගැනීමකට දායක වෙමින් තරගයේ වීරයා බවට පත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 312 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකාවට ඕවර 39.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 207 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ජොෆ්රා ආචර් ලකුණු 32 කට ප්‍රබල පිතිකරුවන් තිදෙනෙක්ම දවාගනිමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූවේය. ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් බෙන් ස්ටෝක්ස් සහ ලයෑම් ප්ලන්කට් කඩුලු 2 බැගින් බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.  

දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩි’කොක් පන්දු 74 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 68 ක් රැස්කළ අතර රාසි වැන්ඩර් ඩුසේන් පන්දු 61 කදී ලකුණු 50 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගිනි. කෙසේ වුවත් දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ඔවුහු අපොහොසත් වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 311 ක් ලබාගත්තේය. තරගයේ දෙවැනි පන්දුවේදීම ආරම්භක පිතිකරු ජොනී බෙයාර්ස්ටෝ ලකුණු නොලබා දැවී ගිය නමුත් ශතක සම්බන්ධතා දෙකකට දායක වූ ජේසන් රෝයි (54), ජෝ රූට් (51), නායක ඔයින් මෝගන් (57) සහ බෙන් ස්ටෝක්ස් (89) එංගලන්තය ලකුණු 300 සීමාවෙන් ඔබ්බට කැඳවාගෙන ගියහ.

එහිදී පන්දු 79 කින් හතරේ පහර 9 ක් සමග ලකුණු රැස්කළ බෙන් ස්ටෝක්ස්, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් නායක ඔයින් මෝගන් සමග එක්ව පන්දු 106 කදී ලකුණු 106 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. පන්දු 60 කට මුහුණදුන් මෝගන් හයේ පහර 3 කින් සහ හතරේ පහර 4 කින් සිය අර්ධ ශතකය සැරසීය.

මුලු ලකුණු සංඛ්‍යාව 1 ක්ව තිබියදී ආරම්භක පිතිකරු බෙයාස්ටෝ ආපසු ක්‍රීඩාගාරය වෙත ගිය නමුත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 110 කදී ලකුණු 106 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ජේසන් රෝයි සහ ජෝ රූට් එංගලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්හ.

ඇන්ඩිල් පෙලුක්වායෝගේ පන්දුවක් හමුවේ නායක ෆෆ් ඩුප්ලෙසී අතට උඩ පන්දුවක් දෙමින් රෝයි දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය. පන්දු 53 කදී වාර්තා වූ රෝයිගේ අර්ධ ශතකයට හතරේ පහර 8 ක් ඇතුළත් වූ අතර පන්දු 59 කදී වාර්තා වූ රූට්ගේ අර්ධ ශතකය හතරේ පහර 5 කින් සමන්විත විය.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ෆෆ් ඩුප්ලෙසි පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර එහිදී ලුංගි න්ගිඩි කඩුලු 3 ක්ද, ඉම්රාන් තාහීර් සහ කගිසෝ රබාඩා කඩුලු 2 බැගින්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ලකුණු පුවරුව

එංගලන්තය

ජේසන් රෝයි - ඇ.ඩුප්ලෙසි ප.පෙලුක්වායෝ    54    (53)
ජොනී බෙයාස්ටෝ - ඇ.ඩි’කොක් ප.තාහීර්    0    (1)
ජෝ රූට් - ඇ.ඩුමිනි ප.රබාඩා     51    (59)
ඔයින් මෝගන් - ඇ.මාක්‍රම් ප.තාහීර්    57    (60)
බෙන් ස්ටෝක්ස් - ඇ.අම්ලා ප.න්ගිඩි     89    (79)
ජොස් බට්ලර් - ප.න්ගිඩි    18    (16)
මුයින් අලී - ඇ.ඩුප්ලෙසි ප.න්ගිඩි     3    (9)
ක්‍රිස් වෝක්ස් - ඇ.ඩුප්ලෙසි ප.රබාඩා    13    (14)
ලයෑම් ප්ලන්කට් - නොදැවී     9    (6)
ජොෆ්රා ආචර් - නොදැවී     7    (3)
අතිරේක     10
එකතුව ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී     311

පන්දුවට පහර නොදුන් පිතිකරුවා :
ආදිල් රෂීඞ්  

කඩුලු වැටීම :
1-1(බෙයාස්ටෝ), 2-107(රෝයි), 3-111(රූට්), 4-217(මෝගන්), 5-247(බට්ලර්), 6-260(අලී), 7-286(වෝක්ස්), 8-300(ස්ටෝක්ස්)

පන්දු යැවීම :
ඉම්රාන් තාහීර් 10-0-61-2, ලුංගි න්ගිඩි 10-0-66-3, කගිසෝ රබාඩා 10-0-66-2, ඞ්වේන් ප්‍රිටෝරියස් 7-0-42-0, ඇන්ඩිල් පෙලුක්වායෝ 8-0-44-1, ජේ.පී. ඩුමිනි 2-0-14-0, ඒඞ්න් මාක්‍රම් 3-0-16-0

දකුණු අප්‍රිකාව

ක්වින්ටින් ඩි’කොක් - ඇ.රූට් ප.ප්ලන්කට්     68    (74)
හෂීම් අම්ලා - ඇ.බට්ලර් ප.ප්ලන්කට්     13    (23)
ඒඞ්න් මාක්‍රම් - ඇ.රූට් ප.ආචර්     11    (12)
ෆෆ් ඩුප්ලෙසී - ඇ.අලී ප.ආචර්     5    (7)
රාසි වැන්ඩර් ඩුසේන් - ඇ.අලී ප.ආචර්     50    (61)
ජේ.පී. ඩුමිනි - ඇ.ස්ටෝක්ස් ප.අලී     8    (11)
ඞ්වේන් ප්‍රිටෝරියස් - දුවද්දී දැවී ගියා     1    (1)
ඇන්ඩිල් පෙලුක්වායෝ - ඇ.ස්ටෝක්ස් ප.අලී    24    (25)
කගිසෝ රබාඩා -  ඇ.ප්ලන්කට් ප.ස්ටෝක්ස්    11    (19)
ලුංගි න්ගිඩි - නොදැවී     6    (5)
ඉම්රාන් තාහීර් - ඇ.රූට් ප.ස්ටෝක්ස්     0    (1)
අතිරේක     10
එකතුව ඕවර 39.5 කදී සියලු දෙනා දැවී     207

කඩුලු වැටීම :
1-36(මාක්‍රම්), 2-44(ඩුප්ලෙසි), 3-129(ඩි’කොක්), 4-142(ඩුමිනි), 5-144(ප්‍රිටෝරියස්), 6-167(ඩුසේන්), 7-180(පෙලුක්වායෝ), 8-193(අම්ලා), 9-208(රබාඩා), 1-207(තාහීර්)

පන්දු යැවීම :
ක්‍රිස් වෝක්ස් 5-0-24-0, ජොෆ්රා ආචර් 7-1-27-3, ආදිල් රෂීඞ් 8-0-35-1, මුයින් අලී 10-0-63-1, ලයෑම් ප්ලන්කට් 7-0-37-2, බෙන් ස්ටෝක්ස් 2.5-0-12-2

-036

 


අදහස් (0)

ස්ටෝක්ස්ගේ තුන් ඉරියව් දස්කම් එංගලන්තය දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.