Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සත් සාමාජික සංචිතයකට මිලියන 30 ක්

සත් සාමාජික සංචිතයකට මිලියන 30 ක්

යොහාන් භාසුර - 2019 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමයට සත් සාමාජික රග්බි සංචිතයක් පවත්වාගෙන යෑමට වසරකට රුපියල් මිලියන 30 ක් පමණ අවශ්‍ය බවත් බලධාරීන් ඒ සඳහා අනුග්‍රහය නොදක්වා පදක්කම් බලාපොරොත්තු නොවියුතු බවත් ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති ලසිත ගුණරත්න මහතා පැවසීය.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ වර්තමාන නිලධාරී මණ්ඩලයේ පළමු වසර පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කොළඹදී පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී සභපාතිවරයා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කමක් දිනාගැනිමේ මට්ටමේ ඉන්නවා. අපේ පිරිමි කණ්ඩායම ආසියාවේ සිවුවැනි ස්ථානයේ රැදී සිටිනවා. එම ස්ථානය ආරක්‍ෂා කරගැනීම සහ පත්වාගෙන යෑමයි අමාරු. අපිට ඒ සඳහා විශාල වියදමක් කරන්න වෙනවා”

“අපි හඳුනාගෙන තියෙනවා අපිට සත් සාමාජික රග්බිවලින් ඉදිරියට යන්න හැකියාව තියෙනවා කියලා. ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඇතුළත්ව තිබෙන්නෙත් සත් සාමාජික රග්බි ක්‍රීඩාවයි. ඒ නිසා තමයි අපි සත් සාමාජික රග්බි වලට දැඩි අවදානය යොමු කරලා තියෙන්නේ”

“සත් සාමාජික සංචිතයක් පවත්වාගෙන යෑමට වසරකට රුපියල් මිලියන 30 ක් පමණ වැය වෙනවා. ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යංශය සහ ජාතික ඔලිම්පික් කමිටුව අනුග්‍රහය දක්විය යුතුමයි. පදක්කම් දිනන්න හැකි ක්‍රීඩාවන් තේරාගැනීම බලධාරීන්ගේ වැඩක්”

“ආසියානු ක්‍රීඩා උළෙලට මාස හයක් විතර තිබියදී සංචිතයක් දාලා පදක්කම් දිනන්න බෑ. ඔවුන් සහයෝගය දක්වන්නේ නැතුව පදක්කම් දිනුවේ නෑ කියලා කියන්නත් බෑ”

“ආසියානු පදක්කම දක්වා යෑමට අපි සැළසුම් සකස් කරමින් ඉන්නේ. පිරිමි සහ කාන්තා පූර්ණ කාලීන සංචිතයක් පවත්වාගෙන යෑමට විශාල මුදලක් අවශ්‍යයි. ඉදිරි වසරේ අපිට අභියෝග රැසක් තියෙනවා”
ශ්‍රී ලංකා රග්බි සංගමයේ මූල්‍ය ශක්තිය සහ කනිෂ්ඨ රග්බි කණ්ඩායම් පිළිබඳව උද්ගත වී ඇති තත්ත්වය සභාපතිවරයා මෙසේ පැහැදිළි කළේය.

“ජාතික කණ්ඩායම සහ වෙනත් තරගාවලි පැවැත්වීමට අපිට මූල්‍ය ශක්තිය තියෙනවා. නමුත් කනිෂ්ඨ කණ්ඩායම් අනුග්‍රහකයෙක් නොමැතිව තරගාවලිවලට සහභාගි කරවන්න සිදුවුවහොත් මූල්‍ය ප්‍රශ්නයක් ඇති වෙනවා”

“අපිට අන්තර්ජාතික රග්බි සංගමයෙන් පවුම් 20,000 ක පමණ මුදලක් ලැබෙනවා. එහෙම වුණාට අපි සංගමය හැටියට මිලියන 10 කට වැඩි ප්‍රමාණයක් වියදම් කරනවා”

“අනුග්‍රහකයන් නෑ කියලා තරගාවලට සහභාගි නොකර ඉන්න බෑ. එහෙම වුණොත් තරුණ ක්‍රීඩකයන්ට රට නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි වෙනවා. පාසල් තරගාවලිවලට අනුග්‍රහකයෙක් ලැබෙන්න ඕනේ. එහෙම නොවුණොත් අපි මේක කරන්න අපහසු වෙයි”

“පාසල් රග්බි සංගමය අපේ අනුබද්ධ සංගමයක් වුණාට ඒක පාලනය වෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශයෙන්. ඒ නිසා අපිට එහි තරගාවලිය හෝ වෙනත් දේවල්වලට මැදිහත් වෙන්න බෑ”

“ඒක එහෙම වුණාට පාසල් කණ්ඩායම්වලට විදේශ තරග සංචාර වෙනුවෙන් ශ්‍රී ලංකා රග්බි සංගමය පසුගිය වසරේ තුනේ පමණක් රුපියල් මිලයන 35 ක් වැය කරලා තියෙනවා” යැයි සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ උප සභාපතිවරයකු වන නසීම් මොහොමඞ් මහතා පැවසුවේ මේ වන විට පාසල් රග්බි කණ්ඩායම්වල වගකීම බාරගැනීමට කිසිවකු නොමැති තත්ත්වයක් උද්ගත වී ඇති බවයි

උප සභාපතිවරයා ඒ පිළිබඳව වැඩි දුරටත් මෙසේ ද අදහස් දැක්වීය.

“අධ්‍යාපන අමාත්‍යංශය හරහා අපිට පාසල් සංගමය අපිට දැනුම්දීලා තියෙනවා කනිෂ්ඨ කණ්ඩායම් පිළිබඳ වගකීම ශ්‍රී ලංකා රග්බි සංගමය දරන්න ඕන කියලා. ක්‍රීඩා අමාත්‍යංශයෙනුත් දන්වලා තියෙනවා කනිෂ්ඨ කණ්ඩායම් පිළිබඳව ඔවුන්ට වගකීමක් නෑ කියලා. එතකොට කවුද කනිෂ්ඨ රග්බි පිළිබඳ වගකීම ගන්නේ. ඒ නිසා තමයි දැන් අපි පාසල් රග්බිවලට අනුග්‍රහකයෙක් සොයමින් ඉන්නේ”

“ශ්‍රී ලංකා රග්බි සංගමය පසුගිය වසර පහේ පමණක් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් රක්‍ෂණයට පමණක් රුපියල් මිලියන 10 ක් වැය කර තිබෙනවා. මේ වසරේත් අපි එය කළ යුතුයි”

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා රග්බි සංවර්ධන කමිටු සභාපති ෆසාල් මොහොමඞ් සහ ශ්‍රී ලංකා රග්බි විධායක අධ්‍යක්‍ෂ රොහාන් ගුණරත්න යන මහත්වරු ද සහභාගි වූහ.


අදහස් (0)

සත් සාමාජික සංචිතයකට මිලියන 30 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.