Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශූමාකර්ගේ ලෝක වාර්තාව හැමිල්ටන් සම කරයි

ශූමාකර්ගේ ලෝක වාර්තාව හැමිල්ටන් සම කරයි

editorial - 2020 නොවැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 
තුර්කි ගෝන් ප්‍රී තරගය ජයගනිමින් මෙම වසරේදීත්  (2020) ෆෝමියුලා I කාණ්ඩයේ රියැදුරු ලෝක ශූරතාව තමන් සතුකර ගැනීමට බ්‍රිතාන්‍යයේ ලුවිස් හැමිල්ටන් සමත් විය. මේ වසරේ ෆෝමියුලා තරග කාලසටහනේ තවත් තරග 3 ක් ඉතිරිව තිබියදීම හැමිල්ටන් ලෝක ශූරතාවට හිමිකම් කීම සෙසු රියැදුරනන් අතරේ ඔහුට තරගයක් නොතිබූ බවට කදිම නිදසුනකි.

සිය ෆෝමියුලා I ක්‍රීඩා දිවිය තුළ හැමිල්ටන් ජයගත් 7 වැනි රියැදුරු ලෝක ශූරතාව මෙය විය. මෙම ‍ශූරතාව ජයගැනීමත් සමග වසරේ රියැදුරු ලෝක ශූරතා 7 ක් ජයගෙන ජර්මානු ජාතික මයිකල් ශූමාකර් පිහිටුවා තිබූ වැඩිම ලෝක ශූරතා සංඛ්‍යාවේ වාර්තාව සම කිරීමටද හැමිල්ටන්ට හැකි විය.

පසුගිය ඔක්තෝබර් මාසයේ පැවැති පෘතුගාල ‍ගෝන් ප්‍රී තරගයේදී සිය 92 වැනි ජයග්‍රහණය සනිටුහන් කරමින් ශූමාකර්ගේ ගෝන් ප්‍රී ජයග්‍රහණ වාර්තාව බිඳහෙළූ හැමිල්ටන්ට, ලබන වසරේදී (2021) ශූමාකර්ගේ ලෝක ශූරතා වාර්තාවද බිඳ හෙළීමේ අවස්ථාව තිබේ.  

කිලෝ මීටර් 5.338 ක දුරකින් සමන්විත ඉස්තාන්බුල් ධාවන පථයේදී පැවැති වට 58  සමන්විත වූ තුර්කි ගෝන් ප්‍රී තරගය ජයගැනීම සඳහා හැමිල්ටන්ට පැය 1 යි, විනාඩි 42 යි, තත්පර 19.313 ක කාලයක් ගත විය. එය ඔහු‍ගේ 94 වැනි ෆෝමියුලා ජයග්‍රහණය ලෙස සටහන් විය.

හැමිල්ටන්ට වඩා තත්පර 31.633 ක් පසුපසින් තරගය නිමා කළ ‍රේසිං පොයින්ට් මර්සිඩීස් කණ්ඩායමේ සර්ජියෝ පෙරිස්, එහි දෙවැනි ස්ථානයට පත් විය. ෆෙරාරි කණ්ඩායමේ සෙබස්තියන් වෙට්ල් තෙවැනි ස්ථානය හිමිකරගත්තේ හැමිල්ටන්ට වඩා තත්පර 31.960 ක් පසුපසින් තරගය නිමා කරමිනි.

“ගොඩාක් ස්තූතියි මිතුරනි...“
“ කළ නොහැකි යැයි සිතන දේවල් ගැන හීන දකින හැමෝටම මට කියන්න තියෙන්නෙ ඔයාලට ඒක කරන්න පුළුවන්, මම ඔයාලව විශ්වාස කරනවා කියලයි.” හැමිල්ටන් තුර්කි ගෝන් ප්‍රී තරගය ජයගැනීමෙන් අනතුරුව පැවැසීය. ‍‍

“ලෝක ශූරතා හතක් ජග්‍රහණය කළා කියලා මට හිතාගන්නවත් බෑ. එහෙත් මේ තරම් දක්ෂයන් පිරිසක් සමග වැඩ කරන විට සහ එකිනෙකා විශ්වාස කරන විට, කළ හැකි දේට සීමාවක් නැහැ කියල මම හිතනවා.” යැයි හැමිල්ටන් කියා සිටියේය‍.

තවමත් 2021 තරග වාරය සඳහා නව ගිවිසුමක් අත්සන් කර නොමැති හැමිල්ටන් අවසන් වශයෙන් කියා සිටියේ මෙය අවසානයක් නොව ආරම්භයක් පමණක් ලෙස තමාට හැ‍‍ගෙන බවය‍.

මේ වසර (2020) තුළ මෙතෙක් පැවැති ගෝන් ප්‍රී තරග 14 න් 10 ක්ම ජයගැනීමට සමත්ව සිටින හැමිල්ටන් මේ දක්වා ලබා  සිටින ලකුණු සංඛ්‍යාව 307 කි. ඔහුගේ මසර්සිඩීස් කණ්ඩායම් සගයා වන වෙල්ටරි බොටාස් ලකුණු 197 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිකර ගෙන ඇති අතර රෙඩ්බුල් රේසිං කණ්ඩයමේ මැක්ස් වර්ස්ටපන් ලකුණු 170 ක් ලබා එහි තෙවැනි ස්ථානයේ රැදී සිටියි.

ඕස්ට්‍රියාවේදී පැවැති ස්ටයිරියන්, ජර්මනියේදී පැවැති එෆිල්, ඉතාලියේදී පැවැති ටස්කන් සහ එමිලියා රොමන්ගා යන ගෝන් ප්‍රී තරගද, හංගේරියානු, බ්‍රිතාන්‍ය, ස්පාඤ්ඤ, බල්ගේරියානු සහ පෘතුගාල ගෝන් ප්‍රී තරගද මේ වසර තුළදී හැමිල්ටන් ජයගත් සෙසු ෆෝමියුලා-I තරග විය.

මේ වසර තුළ තවත් ගෝන් ප්‍රී තරග 3 ක් පැවැත්වීමට නියමිතව ඇති අතර ඉන් පළමු සහ දෙවැනි තරග මේ මස 29 වැනිදා සහ දෙසැම්බර් මස 4 වැනිදා බහරේන්හිදීද, වසරේ අවසන් ගෝන් ප්‍රී තරගය දෙසැම්බර් 13 වැනිදා අඩුඩාබිහිදීද පැවැත්වීමට නියමිතය.

-036

 


අදහස් (0)

ශූමාකර්ගේ ලෝක වාර්තාව හැමිල්ටන් සම කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.