Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් 3 ක්

ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් 3 ක්

editorial - 2019 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මලල ක්‍රීඩා පිටියේදී තවත් රන් පදක්කම් තුනක් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මීටර 100x4 සහාය දිවීමේ ඉසව්ව්දී වසර 20 ක් පැරණි තරග වාර්තාවක්ද තමන් සතු කරගත්හ. නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ හය වැනි දිනය වූ අද (6 වැනිදා) මීටර 100x4 සහාය දිවීම (පිරිමි සහ කාන්තා) ඉසව් දෙකේදීත්, කාන්තා මීටර 5000 ඉසව්වේදීත් රන් පදක්කම් දිනාගත්හ.

මීටර 5000 ඉසව්වේදී රන් පදක්කම දිනාගත් නිලානි රත්නායක අද දිනාගත්තේ ඇයගේ දෙවැනි රන් පදක්කමයි.

මීටර 100x4 සහාය දිවීමේ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම තත්ත්පර 39.14 කින් තරගය නිම කරමින් වසර 20 ක් පැරණි වාර්තාවක් බිඳ හෙළූහ. එහි පැරණි වාර්තා වූයේ 1999 දී ඉන්දීය කණ්ඩායම විසින් පිහිටුවන ලද තත්ත්පර 39.91 වාර්තාවයි.

ශ්‍රී ලංකාවේ වේගවත්ම ක්‍රීඩකයා වන හිමාෂ ඒෂාන් සහාය දිවීමේ තරගයේ පළමු අදියර නිමා කළේ සෑහෙන වාසියක් පසුපෙළ ක්‍රීඩකයන් වෙත තිළිණ කරමිනි. යුවෝන් අබේකෝන් තරගය නිමා කරන විට ඉන්දීය ක්‍රීඩකයෝ  සෑහෙන දුරක් පසුපසින් සිටියහ. රිදි පදක්කම හිමිකරගත් ඉන්දීය කණ්ඩායමේ තරග කාලය තත්ත්පර 30.97 ක් විය. තත්ත්පර 40.50 කට තරගය නිමකළ පාකිස්තානයට ලෝකඩ පදක්කම හිමිවිය.

නිලානි රත්නායක ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට ඇතුළත් වූයේ අවසන් මොහොතේදීය. එහෙත් තමන්ගේ විවේචකයන්ට දස්කම් වලින් පිළිතුරු දුන් නිලානි රත්නායක මීටර 1500 සහ මීටර 5000 යන ඉසව් දෙකේදීම රන් පදක්කම් දිනාගත්තාය.

විනාඩි 16 තත් 55.18 කින් මීටර 5000 ඉසව්ව නිමා කළ නිලානි විසින් ඉන්දීය ක්‍රීඩිකා පරූල් චෞද්රි දෙවැනි ස්ථානයට ඇද දමන ලදි. ඉන්දීය ක්‍රීඩිකාවගේ තරග කාලය විනාඩි 16 තත්. 57.49 ක් විය. ඉන්දියාවේම ප්‍රීති ලම්බා විනාඩි 17 තත්. 09.32 කට තරගය නිම කරමින් ලෝකඩ පදක්කම දිනාගත්තාය.

ලක්ෂිකා සුගන්ධි, සදීපා හෙන්ඩර්සන්, සාරංගි ද සිල්වා සහ අමාෂා ද සිල්වා එක්ව මීටර මීටර 100x4 සහාය දිවීමේ රන් පදක්කමද දිනාගත්හ. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ තරග කාලය තත්පර 44.89 ක් විය. මීටර 100 කඩුලු පැන දිවීමේ ඉසව්වෙන්ද රන් පදක්කමක් දිනාගත් ලක්ෂිකා මීටර 100 කාන්තා ඉසව්වේදී ලෝකඩ පදක්කම දිනාගත්තාය. සාරංගි ද සිල්වා කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගත්තාය.

අතිශය තියුණු අවසානයක් පැවැති කාන්තා මීටර 400 කඩුලු පැන දිවීමේ ඉසව්වේදී රිදී පදක්කමෙන් සෑහීමට පත්වීමට කෞෂල්‍යා මධුෂානිට සිදුවිය. ඇයගේ තරග කාලය විනාඩි 1 තත් 00.40 කි. පාකිස්තානයේ නජ්මා පර්වීන් විනාඩි 1 තත් 00.35 කට තරගය නිමකරමින් එහි රන් පදක්කම දිනාගත්තාය.

පිටියේ තරග වලදී ශ්‍රී ලංකාවට තවත් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් ලැබිණ. යගුලිය දැමීඹ කාන්තා ඉසව්වේදී මීටර 14.35 ක දක්ෂතාවක් දැක්වූ තාරිකා කුමුදුමාලි රිදී පදක්කම දිනාගත් අතර යගුලිය දැමීම පිරිමි ඉසව්වේදී සමිත් මධුශංක ලෝකඩ පදක්කමක් හිමිකරගත්තේය. ඔහුගේ දක්‍ෂතාව මීටර 15.55 ක් විය.

ඡායාරූප : සමීර පීරිස්

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් 3 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.