Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට 5-0 ක පරාජයක්

ශ්‍රී ලංකාවට 5-0 ක පරාජයක්

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විරාට් කෝලීගේ (නොදැවී 110) විශිෂ්ට පිතිහරඹයත් බුවනේෂ්වර් කුමාර්ගේ (42/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකරගත් ඉන්දියාව තරගාවලියද 5-0 ක් ලෙස ජයගැනීමට අද (03 වැනිදා) සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 239 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාව ඕවර 46.3 කදී කඩුලු 4 ක් දැවී ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත්විය. සිය 30 වැනි එක්දින ශතකය පන්දු 107 කදී වාර්තා කළ විරාට් කෝලී මෙම තරගාවලියේදී ඔහු රැස්කළ දෙවැනි ශතකයද වන්නේය. තරගය නිමාවන විටදී නොදැවී කඩුල්ලේ රැඳී සිටි කෝලී පන්දු 116 කදී හතරේ පහර නවයක් සමගින් ලකුණු 110 ක් රැස්කිරීමට සමත්විය.

ඉන්දීය පිලේ මුළු ලකුණු සංඛ්‍යාව 29 ක් වන විට ආරම්භක පිතිකරුවන් වූ අජින්ක්‍යා රහනේ සහ රෝහිත් ශර්මාට ලකුණු අතරට පැමිණීමට අවස්ථාවක් ලබානොදෙමින් ඔවුන් දවා ගැනීමට ලසිත් මාලිංග සහ විශ්ව ප්‍රනාන්දු සමත්වූහ.

අඩු ලකුණු සංඛ්‍යාවට කඩුලු දෙකක් බිඳ වැටුණද තෙවැනි කඩුල්ල සදහා පන්දු 107 කදී ලකුණු 99 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් කඩා වැටුණු ඉනිම ගොඩනගමින් ජයග්‍රහණ දෙසට කණ්ඩායම රැගෙන යාමට විරාත් කෝලී සහ මනිෂ් පාන්ඬේ සමත්වූහ. මාලිංද පුෂ්පකුමාරගේ පන්දුවකට ගැසු පහරකින් ඉහළ ගිය පන්දු උපුල් තරංග රැකගැනීමත් සමගින් තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාවය බිඳ වැටුණි. පන්දු 53 කට මුහුණ දෙමින් හතරේ පහර දෙකක් සමගින් ලකුණු 36 ක් රැස්කිරීමට මනිෂ් පාන්ඬේ සමත්විය.

විරාට් කෝලී සමගින් සිවුවැනි කඩුල්ල සදහා පන්දු 126 කදී ලකුණු 109 සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූ කේදර් ජාදව් ජයග්‍රහණයට ලකුණු දෙකක් තිබියදී නිරෝෂන් දික්වැල්ලට උඩපන්දුවක් දෙමින් ලකුණු 63 කට දැවී ගියේය. වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේ දැවීයන විටදී පන්දු 73 කට මුහුණදුන් ජාදව්ගේ ඉනිමට හතරේ පහර හතක් ඇතුළත් විය.

ළහිරු තිරිමාන්න (67) සහ ඇන්ජලෝ මැතිව්ස් (55) සාර්ථක සම්බන්ධතාවයක් ගොඩනගමින් ඉහළ ලකුණු සංඛ්‍යාවකට ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන ගියද පසුපෙළ පිතිකරුවන්ගේ අසාර්ථක පිතිහරඹය හමුවේ ඔවුන්ට ඕවර 50 අවසානයේ සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 238 ක් පමණි.

ප්‍රවේගකාරී පිතිකරුවකුවූ නිරෝෂන් දික්වැල්ලට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාවක් ලබානොදුන් බුවනේශ්වර් කුමාර් තමන් යැවූ පන්දුවට නැවත ලබාදුන් උඩපන්දුවක් රැකගනිමින් ලකුණු 2 කට ඔහුගේ ඉනිම අවසන් කළේය.

බුවනේශ්වර් කුමාර්ගේ පන්දුවකට වේගවත් පහරක් ගැසීමට ගියද විරාට් කෝලීගේ දක්ෂ පන්දු රැකීම හමුවේ ලකුණු 4 කට දැවීයන්නට ඩිල්ෂාන් මුණවීරට සිදුවිය.

තමන්ට අහිමිවූ තරග දෙකේ වාඩුව ගැනීමට මෙන් ආරම්භයේ සිට ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවූ උපුල් තරංගගේ ඉනිම අවසන් කිරීමට ජස්ප්‍රීට් බුම්රා සමත්විය. පන්දු 34 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 48 ක් රැස්කරගත් තරංග කඩුලු රකින මහේන්ද්‍ර සිං දෝනී අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.

ඇන්ජලෝ මැතිව්ස් සමගින් එක්ව සිවුවැනි කඩුල්ල සදහා පන්දු 177 කදී ලකුණු 122 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් කඩාවැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගූ ළහිරු තිරිමාන්න ලකුණු 67 ක් ලබාසිටියදී බුවනේශ්වර් කුමාර්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. සිය 19 වැනි එක්දින අර්ධ ශතකය පන්දු 83 කදී රැස්කළ තිරිමාන්න දැවීයන විටදී පන්දු 102 කට මුහුණදෙමින් හයේ පහරක් සහ හතරේ පහර තුනක් සමගින් ඉනිම අලංකාර කළේය.

යුස්වේන්ද්‍ර චහල් එවූ පන්දුවකට ළහිරු තිරිමාන්න කඩුල්ල මුවා කළේ යැයි ඉල්ලීමක් කළද ප්‍රධාන විනිසුරු විසින් එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කිරීමත් සමගින් විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය වෙත යෑමට විරාත් කෝලී විසින් ඉල්ලීමක් කළේය. තෙවැනි විනිසුරු විසින් රූපවාහිනී දර්ශණ නැරඹීමෙන් අනතුරුව එය දැවී යාමක් නොවන බව පැවසීමත් සමගින් ළහිරු තිරිමාන්නට තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමට වාසනාව උදාවිය.

තිරිමාන්න දැවීයාමෙන් සුළු මොහොතකට පසුව ඇන්ජලෝ මැතිව්ස්ද මහේන්ද්‍ර සිං දෝනී අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 55 කට දැවී ගියේය. පන්දු 98 කට මුහුණදී කුල්දීප් යාදව්ගේ පන්දුවක් හමුවේ දැවීගිය මැතිව්ස්ගේ ඉනිමට හතරේ පහර හතරක් ඇතුළත්විය. මැතිව්ස් සිය 36 වැනි එක්දින අර්ධ ශතකය 79 කදී වාර්තා විය.

බුවනේශ් කුමාර්ගේ පන්දු යැවීම හමුවේ අසරණවු පසුපෙළ පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට නොහැකිවූ අතර අවසන් කඩුලු හත ලකුණු 53 ක් තුළ දැවී ගියේය. විශිෂ්ට පන්දුයැවීමක නිරතවූ බුවනේශ් කුමාර් ඕවර 9.4 ක් යවමින් ලකුණු 42 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ඕවර 10 ක් යවමින් ලකුණු 45 කට කඩුලු 2 ක් දවාගත් ජස්ප්‍රීට් බුම්රා තරගාවලිය පුරා පන්දුවෙන් දස්කම් දක්වමින් කඩුලු 15 ක් දවාගත් අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලියකදී වේගපන්දු යවන්නකු විසින් දවාගත් වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගැනීමේ වාර්තාව අලුත් කිරීමට සමත්විය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූ ඕස්ටේ්‍රලියාවේ ක්ලින්ට් මැකේ පාකිස්තානයට එරෙහිව කඩුලු 14 ක් දවාගෙන තිබුණේය.

ස්ටම්ප් කිරීම් 99 ක් ලබාගනිමින් කුමාර් සංගක්කාර තබා තිබූ ලෝක වාර්තාවක් අභිබවා යමින් මහේන්ද්‍ර සිං දෝනී 100 වැනි ස්ටම්ප් කිරීම ලෙස අකිල ධනංජය දවා ගත්තේය.

තරමක පොද වැස්සක් ඇදහැළීම හේතුවෙන් තරග ආරම්භය මිනිත්තු 40 කට ආසන්න කාළයක් ප්‍රමාද වුවද තරගයේ යැවිය යුතු ඕවර සංඛ්‍යාවේ වෙනසක් සිදුනොවීය.

තරග දෙකක තහනමකට ලක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක උපුල් තරංග නැවතත් කණ්ඩායම සමගින් එක්වීමත් සමගින් කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවකුවූ කුසල් මෙන්ඩිස්ට කණ්ඩායමේ ස්ථානය අහිමිවී ගියේය.

ඉන්දීය කණ්ඩායමේ වෙනස්කම් හතරක් සිදුකර ඇති අතර ලෝකේෂ් රාහුල්, හර්දික් පාණ්ඩ්‍යා, ඇක්සා පටෙල් සහ ශීකරු ධාවන් විවේක ගන්වා අජින්ක්‍යා රහනේ, බුවනේෂ්වර් කුමාර්, යුස්වේන්ද්‍ර චහල් සහ කේදර් ජාදව් කණ්ඩායමට කැඳවූහ.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

 


(ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි)

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට 5-0 ක පරාජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.