Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව හෙට අවසන් පූර්ව තරගයේ

ශ්‍රී ලංකාව හෙට අවසන් පූර්ව තරගයේ

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ආසියානු දැල්පන්දු තරගාවලියේ මෙතෙක් අපරාජිත කණ්ඩායම වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (08 වැනිදා) හොං කොං දේශය සමග අවසන් පූර්ව වටයේදී තරගයට පිවිසෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේදී චීන තායිපේ පිල ලකුණු 137-05 ක් ලෙසද, ඉන්දියාව ලකුණු 101-29 ක් ලෙසද, පහසුවෙන් පරාජයට පත් කළේය.

දෙවැනි වටය හෙවත් කුසලාන වටයේ සුපිරි කණ්ඩායම් හතර තුළ සිංගප්පූරුව ලකුණු 58-37 ක් ලෙසද මැලේසියාව ලකුණු  62-59 ක් ලෙසද, හොංකොං ලකුණු  71-48 ක් ලෙසද පරාජයට පත් කරමින් ආසියානු දැල්පන්දු කිරුළට වඩාත් ආසන්න කණ්ඩායම බවට ශ්‍රී ලංකා කණ්ඩායම පත්ව සිටියි.

ශ්‍රී ලංකා කන්ඩායම සහභාගි වීමට නියමිත අවසන් පූර්ව තරගය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30 ට ආරම්භ වේ. අනෙක් අවසන් පූර්ව තරගය මැලේසියාව සහ සිංගප්පූරුව අතර හෙට පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතය.

මෙවර තරගාවලියේදී කුසලාන, පළඟ සහ බඳුන යන අංශ 03 ක් යටතේ ජයග්‍රාහකයන් තෝරාගන්නා අතර, 11 වැනි සහ 12 වැනි ස්ථාන සදහා තරග කරනු ලබන්නේ පාකිස්තානය සහ චීන තායිපේ කණ්ඩායම් දෙකයි. බඳුන අවසන් තරගය සදහා (09 වැනි සහ 10 වැනි ස්ථාන සදහා) පිලිපීනය සහ මාලදිවයින තරග වදිති.

තරගාවලියේ අවසන් දිනය වන ඉරිදා ශ්‍රී  ලංකා වේලාවෙන් පෙරවරු 07.30 ට 07 වැනි සහ 08 වැනි ස්ථාන සදහා ඉන්දියාව සහ ජපානය තරග කිරීමට නියමිතය. එදිනම පළඟ ශූරතාව සදහා (05 වැනි සහ 06 වැනි ස්ථාන සදහා) තායිලන්තය සහ බෘනායි දේශය තරග වැදීමට නියමිත අතර එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 09.30ට ආරම්භ වේ.

තරගාවලියේ තෙවැනි ස්ථානය සදහා වන තරගය පැවැත්වෙන්නේද ඉරිදාය. එය ලංකා වේලාවෙන් පෙරවරු 11.30ට පැවැත්වීමට නියමිත අතර අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට පැවැත්වීමට සැලසුම් කර තිබේ.

කුසලාන වටයේ මෙතෙක් පැවති තරගවලින් ඉහළම දස්කම් දැක්වීමට සමත්ව ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඔවුන් එහිදී තරග 03 කට සහභාගි වී එම තරග 03 ම ජයගෙන ප්‍රසාද ලකුණු 06 ක් ලබා සිටී. මෙම තරග තුනේදීම ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතිවාදීන්ට ලකුණු 168 ක් ලබාදී ඇති අතර ලකුණු 207ක් රැස්  කරගෙන ඉහලම ගෞරව දිනාගෙන සිටියි.

කුසලාන කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 02 ක් හිමි කරගෙන සිටින මැලේසියාවයි. ඔවුන් තරග 03කට සහභාගි වී ඉන් එක් තරගයක් ජයගෙන ඇත්තේ 103.07ක ලකුණු සාමාන්‍යයක් රඳවාගෙනයි. මැලේසියාව ප්‍රතිවාදී කණ්ඩායම්වලට ලකුණු 161ක් දී ගෝල 167 ක් රැස්  කරගෙන සිටියි.

තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 02 ක් හිමි කරගෙන සිටින සත්කාරක සිංගප්පූරුවයි. ඔවුන් තරග 03කට සහභාගි වී තරගයක් පමණක් ජයගෙන ඇත්තේ 92.7ක ලකුණු සාමාන්‍යයක් රඳවාගෙනයි. එහිදී සිංගප්පූරුව ප්‍රතිවාදීන්ට ලකුණු 179 ක් ලබාදී රැස්කරගෙන ඇත්තේ ලකුණු 166ක් පමණි.

කුසලාන කාණ්ඩයේ අවසන් ස්ථානය හිමිව ඇත්තේ හොං කොං දේශයටයි. ඔවුන් එහිදී තරග 03කට සහභාගි වී තරගයක් පමණක් ජයගෙන 81.5 ක ලකුණු සාමාන්‍යයක් රඳවාගෙන සිටිනුයේ ප්‍රසාද ලකුණු දෙකක්ද හිමි කර ගනිමිනි. හොං කොං පිල ප්‍රතිවාදීන්ට එරෙහිව ගෝල 141 ක් රැස් කරගෙන ඇති අතර ලකුණු 173 ක් පිරිනමා තිබේ.

මෙවර තරගාවලියේ ශූරතාව සහ අනුශූරතාව දිනාගන්නා කණ්ඩායම් ලබන වසරේ එංගලන්තයේ ලිවර්පූල් නුවර පැවැත්වෙන දැල්පන්දු ලෝක කුසලාන තරගාවලිය සදහා සහභාගි වීමට නියමිතය.   

 


අදහස් (0)

ශ්‍රී ලංකාව හෙට අවසන් පූර්ව තරගයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.