Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව පරාජයෙන් බේරීමේ මං සොයයි

ශ්‍රී ලංකාව පරාජයෙන් බේරීමේ මං සොයයි

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වන විට තරග 2 ක් පරාජය වී ඇති බැවින් කෙසේ හෝ ඉතිරි තරග 2 ජයගනිමින් එංගලන්තයට  එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය 2-2 ක් ලෙස සම තත්වයට පත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තුවෙන් සිටින බව කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරුවකු වන සධීර සමරවික්‍රම පවසයි.

දෙරට අතර පැවැත්වීමට නියමිත සිව්වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ අවසන් පුහුණු සැසිය නිමාවීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී සධීර ඒ බව පවසා සිටියේය.
මෙම තරගය හෙට (20 වැනිදා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. තරගය පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතය.

තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමූ අතර වර්ෂාවෙන් බාධා එල්ල වූවද දෙවැනි සහ තෙවැනි තරග ජයගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් විය. හෙට පැවැත්වෙන සිවුවැනි තරගයද ජයගැනීමට එංගලන්තය සමත් වුවහොත්, තවත් තරගයක් ඉතිරිව තිබියදීම ඔවුන්ට 3-0 ක තරගාවලිය ජයක් හිමිවනු ඇත. එසේ වීම වලක්වාලීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්යයෙන්ම හෙට තරගය ජයගත යුතුව තිබේ.

“දැන් අපිට මේ තරගාවලිය ජයගන්න බෑ. ඒ නිසා කළින් තරග වලදි සිද්ධ වුණ වැරදි හදාගෙන ඉතිරි තරග 2 ජයග්‍රහණය කරලා කොහොම හරි තරගාවලිය සම තත්වයකට පත් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ...”

“මම හිතනවා ඉතිරි තරග දෙකේදි අපේ පිතිකරුවො වැඩි වගකීමක් අරන් ක්‍රීඩා කළොත් අපිට ඒ තරග ජයග්‍රහණය කරන්න පුළුවන් වේවි කියලා.” යැයි මාධ්‍ය හමුවේදී සධීර පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද සඳහන් කළේය.

“පළමුවෙන් පන්දුවට පහරදුන්නත්, යම් ලකුණු සංඛ්‍යාවක් හඹාගියත් අපිට මීට වඩා අපේ පිතිහරඹ අංශය ශක්තිමත් කරගන්න සිද්ධ වෙනවා. කළින් තරගයේදිත් අපි හොඳ ආරම්භයක් ලබාගත්තා. නමුත් අවාසනාවකට වගේ අපිට ඒ තත්වය දිගටම පවත්වාගෙන යන්න ලැබුණේ නෑ. එංගලන්ත වේගපන්දු යවන්නෝ ඉතාමත් හොඳින් පන්දු යැවුවා. ඔවුන්ගේ වේගය අඩාල කර එවන පන්දු ඇතුළු විවිධාකාරයේ පන්දු හමුවේ අපේ පිතිකරුවන් අසාර්ථක වුණා. ඒ නිසා හෙට තරගයේදී ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යයිද සධීර සමරවික්‍රම පැවසීය.

තෙවැනි එක්දින තරගයේදී ආරම්භක පිතිකරුවකු ලෙස කණ්ඩායමට එක්වූ සධීර, එහිදී පන්දු 34 කට මුහුණ දෙමින් හතරේ පහර 4 ක් සමග ලකුණු 35 ක් රැස්කළ අතර පළමු කඩුල්ල වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල සමග එක්ව පන්දු 33 කදී ලකුණු 57 ක වේගවත් සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. ආරම්භක පිතිකරුවකු ලෙස කණ්ඩායමට එක්වීමට ලැබීම සම්බන්ධයෙන් ඔහු මෙසේ අදහස් දැක්වීය.

“ආරම්භක පිතිකරුවෙක් විධියට පිතිහරඹයේ යෙදෙනන්න මම හුඟක් කැමතියි. එදා තරගයෙදිත් මම ඉනිම ආරම්භ කරනවා කියලා දැනගත්තාම මට ලොකු සතුටක් ඇති වුණා. ඉනිම ආරම්භ කරනවා කියන එකත් තරමක පීඩනයක්. එත් අවසන් වරට දේශීය තරගවලදි ආරම්භක පිතිකරුවෙක් විධියට ක්‍රීඩා කරල ලබපු සාර්ථකත්වයත් එක්ක මට ලොකු විශ්වාසයක් තිබුණා ඒ පීඩනයෙන් මිදෙන්න පුළුවන් වේවි කියලා. හෙට තරගයෙදිත් කිසිම වෙනස්කමක් නොකර මගේ සාමාන්‍ය ක්‍රීඩා විලාශයේ නිරත වෙන්න තමයි මම උත්සාහ කරන්නේ.”

ශ්‍රී ලංකා සංචිතයේ සිටින ජ්‍යෙෂ්ඨතම පිතිකරුවා වන උපුල් තරංග දෙවැනි එක්දින තරගයේදී මුහුණදුන් පළමු පන්දුවෙන්ම ලකුණු නොළබා දැවීගිය අතර තෙවැනි එක්දින තරගයේදී ඔහුට කණ්ඩායමේ ස්ථානයක් අහිමිවිය. හෙට තරගයේදී ඔහු නැවතත් කණ්ඩායමට ඇතූළත් වන්නේ දැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු චරිත් සේනානායක මහතා මෙසේ පැවසීය.

“අපි තවම අන්තිම සංචිතය නම් කරලා නෑ. හෙට තණතිල්ලයි, කාලගුණයයි දෙකම බලලා තමයි අපි අවසන් තීරණයකට එන්නේ. තාම හෙට තරගය සඳහා රැස්වීමක්වත් තියලා නෑ. දැන් තමයි කණ්ඩායම පුහුණුවීම් කරලා අවසන් වුණේ. ඒ නිසා හෙට සෙල්ලම් කරන එකොලොස් දෙනා කවුද කියලා හරියටම කියන්න අමාරුයි.”
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, 17 වැනිදා පැවැති තෙවැනි එක්දින තරගයේ පන්දු රකිමින් සිටියදි ක්ලාන්ත තත්වයකට පත්වූ බැවින් ඔහුව වෛද්‍යවරයෙකු වෙත යොමුකළ බවත්, මේ වන විට ඔහු යහපත් ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන බැවින් හෙට තරගයට සහභාගී වන බවත් එහිදී සේනානායක මහතා වැඩිදුරටත් පැවසීය.
 

ශ්‍රී ලංකා සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), නිරෝෂන් දික්වැල්ල, සධීර සමරවික්‍රම කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, දසුන් ශානක, තිසර පෙරේරා, අකිල ධනංජය, ලසිත් මාලිංග, අමිල අපෝන්සු, නුවන් ප්‍රදීප්, උපුල් තරංග, ලක්ෂාන් සඳකැන්, කසුන් රාජිත සහ දුෂ්මන්ත චමීර

එංගලන්ත සංචිතය
ඔයින් මෝගන් (නායක), ජොස් බට්ලර්, ජේසන් රෝයි, ජොනී බෙයාස්ට්‍රෝ, ජෝ රූට්, බෙන් ස්ටෝක්ස්, මුයින් අලී, ක්‍රිස් වෝක්ස්, අදිල් රෂීඞ්, ඔලී ස්ටෝන්, සෑම් කරන්, මාක් වුඞ්, ටොම් කරන්, ජෝයි ඩෙන්ලි,  සහ ඇලෙක්ස් හේල්ස්

 

ඡායාරූපය - චතුර එස්. කොඩිකාර


අදහස් (0)

ශ්‍රී ලංකාව පරාජයෙන් බේරීමේ මං සොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.