Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව නින්දෙන් ඇහැරෙයි

ශ්‍රී ලංකාව නින්දෙන් ඇහැරෙයි

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පැණි වරකා ගහටත් හෙණ වදින කාලයක් තිබේ. කොයි කොයි දේත් පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා යයි තවත් කියමනක්ද තිබේ.

ටෙස්ට් තරග වලදී කෙසේ වෙතත් එක්දින තරග සම්බන්ධයෙන් තමන් දඟ පන්දු යවන්නන් කෙරේ පමණට වඩා විශ්වාසය තැබූ නමුත් එයින් අත්වන ප්‍රතිඵලයක් නැති බව ශ්‍රී ලංකා කණ්ඩායම තේරුම්ගෙන තිබේ. දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තුන්වැනි එක්දින තරගයට පෙරදා (අද) සීමිත ඕවර කණ්ඩායම් දෙකේම නායකයා වන ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේ මෙතෙක් කල් පවත්වාගෙන ආ තරග රටාව සහ උපක්‍රම වෙනස් කළ යුතු බවයි.

තවත් මාස 10 කින් එංගලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් කණ්ඩායමක් සූදානම් කරන්නට නම් සාම්ප්‍රදායික සිතිවිලි වලින් බැහැරව, අභීතව ඉදිරියට ගමන්කළ යුතු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නවතම මතය වී තිබේ.

“අපි වඩාත් හොඳ තණතීරු මත ක්‍රීඩා කරන්න ඕනේ”

“ඇත්ත, (කණ්ඩායමට සාර්ථක වෙන්න) ටික කාලයක් ගතවෙයි තමා. ඒත් ඒ විදිහට ඉදිරියට ගියොත් කණ්ඩායම දියුණු වෙන බව මට සහතික වශයෙන්ම කියන්න පුළුවන්.... ක්‍රීඩකයන් ඒ තත්ත්වයට හුරු වෙනකොට අපට පිට රටවලදීත් දිනන්න පුළුවන්”

“අපි ඒ වෙනස්කම් කරමින් ඉදිරියට යනවා” යයි ඇන්ජලෝ මැතිව්ස් පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද පස්වරුවේදී පැවසීය.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් 2-0 ක් ලෙසින් පසුපසට වැටී තිබේ. එහෙත් වෙනස් විය යුතු කාරණා සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටින ශ්‍රී ලංකා නායකයා කියන්නේ “මොන දේ වුණත් අපි ඒ වෙනස් කම් කරමින් ඉදිරියටම යනවා” කියායි.
“අපට කරන්න ඕනෑ වෙනස්කම ඒකයි” මැතිව්ස් වැඩිදුරටත් කීවේය.

“අපට වැරදුණේ කොතැනද කියලා බලන්න ඕනේ. පසුගිය එක්දින තරග 36 අරන් බැලුවොත්, අපි දිනල තියෙන්නේ ඒවායින් 9 ක් විතරයි. ඒත් අනෙක් හැම අවස්ථාවලදීම අපි නිදහසට විවිධ කරුණු කිව්වා.”
“අපට නිදහසට කරුණු කියන්න පුළුවන්. නායකයෝ ගොඩාක් හිටියා...ක්‍රීඩකයන්ව දිගින් දිගටම මාරු කළා...වගේ දේවල්. ඒත් ඇත්ත කාරණය නම් පසුගිය තරගාවලි දහයක් විතර ගත්තොත් අපි දිනලා තියෙන්නේ එකයි” යයි මැතිව්ස් කණ්ඩායමේ කණස්සල්ල හෙළිදරව් කළේය.  

“අපි මේ හිතන විදිහයි අපේ උපක්‍රමයි වෙනස් කරන්න ඕනා. දඹුල්ලේ තරගයෙන් පස්සේ අපි සාකච්ඡා කළා. දැන් අපි මේ ක්‍රීඩා කරන රටාව වෙනස් කරන්නයි යන්නේ”

“ලෝක කුසලාන තරගාවලියට තියෙන්නේ තවත් මාස 10 ක් විතරයි. ඒත් දකුණු අප්‍රිකාව වගේ කණ්ඩායම් එක්කලා, දූවිලි සහිත දඟ කැවෙන තණතීරුවලදී තරග කිරීමෙන් අපට ලැබෙන්නේ මොනවාද කියා අප සිතා බැලිය යුතුයි”

“ඒකෙන් අපට ලැබෙන යමක් නැති නිසා අප ඉදිරියේ තියෙන විශාලතම ගැටළුව ඒකයි. ඒ නිසා, අප විදේශයන්හිදීත් දිනන්න ඕනෑ නම්, මේ යන ක්‍රමය වෙනස් කරන්න ඕනෑ” යයි මැතිව්ස් වැඩිදුරටත් පැහැදිලි කළේය.

පිට පිටම හත්වැනි වතාවටත් දඹුල්ලේදී ලද පරාජය වෙස්වළාගත් ආශිර්වාදයක් වී තිබේ. එය එසේ නොවුණානම් කණ්ඩායම තුළ මෙවන් කතාබහක් ඇති නොවන්නට බොහෝ දුරට ඉඩ තිබිණ. කෙසේවෙතත් දෙවැනි එක්දින තරගය ජයගත්තා නම් දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය 1-1 ක් ලෙසින් සමවන බැවින් එතැන් සිට තරගාවලියේ ජය සොයා යාමට ශ්‍රී ලංකා කණ්ඩායම උත්සුක වීම අරුමයක්ද නොවේ.

ශ්‍රී ලංකා පිල නින්දෙන් ඇහැරී ඇත්තේ දඹුල්ලේදී ලද දෙවැනි පරාජයත් සමගිනි.

තරගාවලියක ජයග්‍රහණය තාවකාලික නොහොත් කෙටි කාලීන සාර්ථකත්වයකි. එහෙත් ශ්‍රී ලංකාව වැනි අන්තර්ජාතික මට්ටමේ ඉහළම තලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතු කණ්ඩායමක් තමන්ගේ සාර්ථක - අසාර්ථක භාවය විශ්ලේෂණය කළයුතු වන්නේ වෘත්තීමය ආකාරයෙනි.

දඹුල්ලේදී ලද පරාජයෙන් පසුව කළ විශ්ලේෂණයේදී හෙළිදරව් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගි වූ එක්දින තරග 36 න් ජයගෙන ඇත්තේ තරග 9 ක් පමණක් බවයි. වෙනත් ආකාරයකින් කියන්නේ නම් සහභාගි වූ තරග වලින් ජයගෙන ඇත්තේ හතරෙන් එකකි. එනම් 25% කි. ශ්‍රී ලංකාව වැනි කණ්ඩායමකට එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.

වසර 2014 අවසන් වන විට එක්දින ශ්‍රේණිගත කිරීම් සටහනේ 2 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම වසර හතරක ඇවෑමෙන් 8 වැනි ස්ථානය දක්වා පහළට ඇද වැටී තිබේ. මෙම අභාග්‍යසම්පන්න තත්ත්වයට මුහුණදීමට මූලික හේතුවක් වූයේ 2015 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව මුහුණ දුන් පරාජයන් වැලයි.

බොහෝ අවස්ථාවන්හිදී කණ්ඩායම කරේ තියාගෙන ගිය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වූ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ෂාන් තිදෙනාගේ සමුගැනීමත් ලසිත් මාලිංග විවිධ ආබාධ හේතුවෙන් පසෙකට වීමත් මෙම තත්ත්වය ඇතිවීමට තවත් ප්‍රබල කාරණාවක් විය.

සංගක්කාර, මහේල සහ ඩිල්ෂාන් තිදෙනාගේ සමුගැනීමෙන් පසුව මේ දක්වා මව්බිමේදී එකම එක්දින ශතකයක් හෝ ලබාගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ අපොහොසත්ව සිටිති. 2015 ලෝක කුසලාන තරගාවලියේදී කුමාර් සංගක්කාර පිට පිටම ලබාගත් ශතක හතරෙන් පසුව, ශ්‍රී ලංකා පිතිකරුවකු ලබාගත් එකම එක්දින ශතකය වන්නේ 2016 දී කුසල් ජනිත් පෙරේරා අයර්ලන්තයට එරෙහිව ඩබ්ලින්හිදී ලබාගත් ලකුණු 135 යි.
පන්දු යැවීමේ තත්ත්වයද ඊට නොදෙවනි නොවේ.

2015 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 66 ක් ක්‍රීඩා කර ඇතත් ශ්‍රී ලංකා පන්දු යවන්නකු එක්දින තරගයකදී කඩුලු 5 ක් දවාගෙන ඇත්තේ දෙවතාවක් පමණි. 2016 දී අයර්ලන්ත පිලට එරෙහිව කඩුලු 5 ක් දවාගත් දසුන් ශානක වෙනුවෙන් අත්පොළසන් දීමට ඩබ්ලින්හි මලයිඞ් පිටියේ සිටියේ ශ්‍රී ලාංකිකයන් අතළොස්සක් පමණි. 2017 දී ඉන්දීය පිලට එරෙහිව අකිල ධනංජය ලකුණු 54 කට කඩුලු 6 ක් දවාගන්නා අයුරු පල්ලෙකැළේ ක්‍රීඩාංගණයට රැස්වූ දහස් සංඛ්‍යාත ප්‍රේක්‍ෂකයන් බලා සිටි නමුත් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ මහේන්ද්‍ර සිං දෝනි (නොදැවී 45) සහ බුවනේෂ්වර් කුමාර් (නොදැවී 53) ශ්‍රී ලංකා පිල අබිමුව පෙනි පෙනී තිබූ ජයග්‍රහණය උදුරාගෙන ගියහ.

තමන්ට ලැබෙන දුර්ලභ විවේක දිනය කැපකරමින්, ප්‍රවේශපත් මිලදීගෙන තරග නරඹන්නට එන ක්‍රිකට් ලෝලීන්ට අත්පොළසන් දීමට අවස්ථාවක් නොතිබිණ. ඔවුන්ට තිබුණේ එකම විකල්පයකි. හොඳහැටි පදම් වී, සින්දු කියමින් සහ නටමින් සිට, කණ්ඩායම පරාජය වීමෙන් පසුව කෝපාවිෂ්ඨව, අසහනයෙන් යුතුව කණ්ඩායමට බැණ වදිමින් ක්‍රීඩාංගණයෙන් පිටව යාමයි. ඒ බොහෝ අවස්ථාවලදී ශ්‍රී ලංකා කණ්ඩායමට හූ හඬින් ද සංග්‍රහ නොලැබුණා නොවේ.

2015 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 66 ක් ක්‍රීඩා කළද ඒවායින් ජයගත්තේ තරග 21 ක් පමණි. එම ජයග්‍රහණ ලැබුණේ අවාරයට කජු වැටෙන්නාක් මෙනි. එහෙත් ඇත්ත ඇති සැටියෙන් ගෙන බැලුවහොත් පසුගිය වසර තුනේදීම ශ්‍රී ලංකා කණ්ඩායම මව්බිමේදී එක්දින තරගාවලියක් ජයගෙන නැත. ඒ දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය තණතීරු මතම ක්‍රීඩා කරමිනි. සත්කාරකයන්ගේ වාසිය උපයෝගී කරගනිමින් වුවද තත්ත්වය එසේය.

ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් වරට ශ්‍රී ලංකාවේදී එක්දින තරගාවලියක් ජයගත්තේ 2015 දී එවකට ශ්‍රී ලංකාවට වඩා පහළින් සිටි කොදෙව් පිල පරාජය කරමිනි.

“මා හිතන්නේ අපි දඟ පන්දු යවන්නන් කෙරෙහි ඕනෑවට වඩා විශ්වාසය තියලා”
“ටෙස්ට් තරග වෙනයි. ඒත් සුදු පන්දුවෙන් ක්‍රීඩා කරන සීමිත ඕවර වලදී අපි දඟ පන්දු යවන්නන් කෙරේ ඕනෑවට වඩා විශ්වාසය තියලා තියෙනවා....දකුණු අප්‍රිකාව, එංගලන්තය හෝ ඕස්ටේ්‍රලියාව වගේ කණ්ඩායම් මෙහි එන හැම අවස්ථාවකදීම අපි ඒ දේ කරන්න පෙළඹෙනවා”

“ඒත් අනෙක් කණ්ඩායම් දිහා බැලුවොත් ඔවුන් වඩාත් හොඳ තණතීරු මත ක්‍රීඩා කරනවා” යයි ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

“ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී අනෙක් කණ්ඩායම් වුණත් සත්කාරකයන් වීමේ වාසිය භාවිතා කරනවා. ඒත් එක්දින තරග වලදී ඔවුන් හොඳ තණතීරු මත ක්‍රීඩා කරනවා. අතීතයේදී අපි දඟ පන්දු යවන්නන් කෙරේ ඕනෑවට වඩා විශ්වාසය තැබුවා වුණත් ඉදිරියේදී ඒ දේ වෙන්නේ නෑ” යයි මැතිව්ස් අවධාරණය කළේය.

පිතිකරුවන් සම්බන්ධයෙන් වුවද තණතීරුව තීරණාත්මක සාධකයකි.

“අන්තිමට ක්‍රීඩා කරපු තරග 30 ක් විතර ගත්තාම අපි කී වතාවක් ලකුණු 300 පසුකර ගිහින් තියෙනවාද ? අපි ඕවර 50 ක් පන්දුවට පහර දීලත් නෑ. හතර පස් වතාවකට වඩා ලකුණු 250 ක් ගහලත් නෑ. මේකට හේතුව විශ්වාසනීයත්වයක් නැතිකමයි....”

“පාරක් ගහන්න ඕන නම් කිසියම් අවදානමක් ගන්න වෙනවා. ඒ නිසා තණතීරුව වඩාත් හොඳ මට්ටමක තියෙන්න ඕනෑ. දඟ කැවෙන සුළු, මන්දගාමී තණතීරුවක ලකුණු ලබාගන්නවා කියන එක පිතිකරුවන්ට උණත් පහසු දෙයක් නෙමේ....අපි වඩාත් හොඳ තණතීරු කරා යා යුතු වෙන්න මේකත් එක හේතුවක්” යයිද මැතිව්ස් පිතිකරුවන්ගේ අභියෝග පැහැදිළි කළේය.

මේ අවස්ථාව වන විට ශ්‍රී ලංකාවේ විදේශීය කණ්ඩායම් තුනක් තරග කරති. ඒ සෑම කණ්ඩායමකටම එරෙහිව, ඒ ඒ වයස් සීමාවේ හොඳම කණ්ඩායම් ඔවුනට එරෙහිව තරග කරමින් සිටිති. ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රිකට් පරම්පරාව දෙස බැලූ කල්හි හැකියාව සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් පැන නොනගී. එහෙත් ඔවුන්ගේ ආකල්ප සම්බන්ධයෙන් බොහෝ ගැටළු තිබේ.

දඹුල්ලේදී පැවැති දෙවැනි එක්දින තරගයේදී ඕවර දෙකක් ඇතුළත ශී ලංකා කණ්ඩායමේ කඩුලු දෙකක් ලකුණු 13 කට බිඳ වැටිණ. සටනක් දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 කදී කඩුලු 8 කට ලකුණු 244 ක් ලබාගත් නමුත් දුර්වල පන්දු රැකීම පරාජයේ දැවැන්ත සෙවණැල්ල විය. පළමු ඕවර 5 ඇතුළතදී උඩපන්දු 3 ක් ගිළිහී ගිය අතර ක්‍රීඩකයන්ගේ අත යටින් සහ දෙපා අතරින් රිංගා පන්දුව හතරේ සීමාවට ඇදී ගියේ ජයග්‍රහණයේ බලාපොරොත්තු රඳවාගත් ප්‍රේක්‍ෂකයන්ට සරදම් කරමිනි. එය ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වලතම පන්දු රැකීම විය.
“පන්දු රැකීම පැත්තෙන් බැලුවාම ඒක අපට මහ එපාකරපු දවසක්. තරගයේ පළමු විනාඩි 40 එහෙම පිටින්ම විගඩමක් වගේ” යයි නායක මැතිව්ස් සියල්ල වාක්‍ය දෙකකට සම්පිණ්ඩනය කළේය.

ඒ තරගයේදී වගේ දුර්වල ආකාරයෙන් පන්දු රැකපු තරගයක් මම දැකලම නෑ. මා හිතනවා ඒක ඒ ජාතියේ එකම තරගය වෙයි කියලා....අපි හොඳට පන්දු රකින කණ්ඩායමක්. ඒ වෙනුවෙන් අපි වෙහෙස වෙනවා” යයි ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායම් නායකයා පන්දු රැකීම සම්බන්ධයෙන් තමන්ගේ සිතිවිලි තවදුරටත් වචන බවට පෙරළුයේ සතුටින් නම් නොවේ.

 


අදහස් (0)

ශ්‍රී ලංකාව නින්දෙන් ඇහැරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.