Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව අලුත් ආරම්භයක් සොයයි

ශ්‍රී ලංකාව අලුත් ආරම්භයක් සොයයි

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගෙවීගිය වසර 10 කට ආසන්න කාලයේදී පැවැති ලෝක කුසලාන තරගාවලි තුනෙන් දෙකකදීම අවසන් මහ තරගයට සුදුසකම් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම 2015 ලෝක කුසලාන තරගාවලියේදීත් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. එහෙත් එතැනින් ඔබ්බට ශ්‍රී ලංකා එක්දින පිලට තිබුණේ සාර්ථක ගමනක් නොවේ.

ශ්‍රී ලංකා කණ්ඩායම වසර 4 ක් ඇතුළත එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ දෙවැනි තැන සිට 8 වැනි ස්ථානය දක්වා ඇදවැටී තිබේ. තවත් ලෝක කුසලාන තරගාවලියක් අත පොවන මානයේ තිබුණද ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ස්ථාවර මට්ටමක නැතැයි කීම අතිශයෝක්තියක්ද නොවේ.

ඇන්ජලෝ මැතිව්ස් වරින් වර තුවාල ලබා එක්දින කණ්ඩායමෙන් ඉවතට යාම මෙම තත්ත්වය ඇතිවීමට එක මූලික හේතුවකි. ඒ නිසාම කණ්ඩායමට බොහෝ නායකයෝ මෙන්ම ක්‍රීඩකයෝද එක්වූහ. එකක් වත් සාර්ථක නොවීය.

කෙසේ කළ හැකි යමක් කිරීම විනා ඒ ගැන මැසිවිලි කීමෙන් හෝ වැරදිකරුවන් සෙවීමෙන් පලක් නැති බව ක්‍රිකට් ක්‍රීඩකයෝම දනිති. එබැවින් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේදී හෝ සාර්ථක ආරම්භයක් ලබාගනිමින් ලබන වසරේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාවයි.

“අපේ අරමුණ ඒ සියල්ලම අමතක කරලා, ආයෙමත් අලුතෙන් පටන් ගන්නයි. ඒ සඳහා මේක හොඳ අවස්ථාවක්. මොකද මේ තරගාවලිය තියෙන්නේ අපේ රටේ නිසා” යයි රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද පැවැති පුහුණුවීම් වලින් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් කීවේය.

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර හෙට (29 වැනිදා) පැවැත්වෙන පළමු වැනි එක්දින තරගයට මැතිව්ස් ඇතුළු කණ්ඩායම සූදානම් වන්නේ එලෙසිනි.

තරගාවලිය එක්දින තරග 5 කින්  සමන්විතය.

ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රේණිගත ලයිස්තුවේ 8 වැනි ස්ථානයේ සිටීමත් දකුණු අප්‍රිකානු පිල ශ්‍රේණිගත ලයිස්තුවේ 3 වැනි ස්ථානයේ සිටීමත් ශ්‍රී ලංකා පිලේ අපේක්‍ෂාවන්ට සුදුසු පසුබිමක් නිර්මාණය කර තිබේ. මෙම තරගාවලිය හොඳ මට්ටමකින් ජයගත හැකිවුවහොත් ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළ යාමට ප්‍රමාණවත් තරමේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් එකතු කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව තිබේ. තවත් මාස දෙකකින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ මේ වන විට අංක 1 රැඳී සිටින එංගලන්ත පිල බැවින් ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළ යාමට හොඳ තල්ලුවක් ලබාගත හැකිය.

ඒ කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික අරමුණ වන්නේ 2019 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසු සංචිතයක් සකස්කර ගැනීමයි. එ වෙනුවෙන් දඟ පන්දු යවන්නෝ මෙන්ම වේග පන්දු යවන්නෝද සංචිතයට එකතු කර සිටිති.

“බැලූ බැල්මටම තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය වගෙයි කියලා පේනවා. ඒත් මෙතන අනාවැකි කියන්නම බෑ. මොකද තත්ත්වය ඉතාම ඉක්මනින් වෙනස් වෙන නිසා.  තණතීරුව වහලා තිබ්බොත්, තණකොළ උඩට ඇවිල්ලා පන්දුව දෝලනය වෙන්න ගන්නවා....ඒ නිසා අපි අන්තිම මොහොතේ තමයි අපේ සංයුතිය කොයි වගේද කියලා තීරණය කරන්නේ” යයි පළමු තරගය සම්බන්ධයෙන් මැතිව්ස් පැවසීය.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම තේරීමේදී නායක ඇන්ජලෝ මැතිව්ස් තුන් ඉරියව් ක්‍රීඩකයකු වශයෙන් කටයුතු කිරීම තීරණාත්මක සාධකයකි. මක්නිසාද යත් ඔහුට ඕවර 6 ක් හෝ 7 ක් යැවිය හැකි නම් වැඩිපුර දඟ පන්දු යවන්නකු කණ්ඩායමට එකතු කරමින් කණ්ඩායම සමබර කරගැනීමේ අවස්ථාවක් තේරීම් කමිටුවට තිබෙන බැවිනි. එහෙත් පන්දු යැවීම සම්බන්ධයෙන් මැතිව්ස් එතරම් විශ්වාසනීය තත්ත්වයක නොසිටී.

ධනුෂ්ක ගුණතිලක තහනමකට ලක්වූවද එක්දින තරගයකදී ඉනිම ආරම්භ කළ හැකි සිව්දෙනෙක් ශ්‍රී ලංකා සංචිතයේ තවමත් සිටිති. උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ල යන සිවුදෙනාම ආරම්භක පිතිකරුවාගේ සිට අංක 7 දක්වා ඕනෑම ස්ථානයකින් පන්දුවට පහරදීමට යැවිය හැකි බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම එය උපායක් කරගනිමින් සිටී. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගළය කවුරුන්ද යන්න හෙළිදරව් කිරීමට මැතිව්ස් අකමැති විය.

දකුණු අප්‍රිකානු පිල නම් හසිම් අම්ලා ආරම්භක පිතිකරුවා ලෙසින් පිටියට එවීමේ සූදානමකින් පසුවෙයි. තමන්ගේ හොඳම පිතිකරුවාට පන්දුවට පහර දීමේ වැඩි අවස්ථාවක් දීම මෙන්ම එක් අන්තයකින් පන්දු යවන්නන්ට පහර පිට පහර දෙමින් අනෙක් අන්තයෙන් කඩුල්ල ආරක්‍ෂා කරගැනීම එහි යටි අරමුණයි.
ශ්‍රී ලංකා සංචිතයේ දඟ පන්දු යවන්නෝ රොත්ත බුරුත්තක්ම සිටිති. මෑතකදී පැවැති තරග වලදී ඔවුන් සියලු දෙනාම එකිනෙකාට නොදෙවනි දස්කම් පළකර ඇති හෙයින් කාට ස්ථානය ලැබේද කාට අහිමි වේද යන්නත් කුතුහලය දනවන පැනයකි. කාට අවස්ථාව ලැබුණද, දඹුල්ලේදී පවතින අධික දාහය නිසා තණතීරුවෙන් දඟ පන්දු යවන්නන්ට සහයෝගයක් ලැබෙන බව නම් අපේක්‍ෂා කළ හැකිය.

එසේ වුවත් මේ වතාවේදී නම් දකුණු අප්‍රිකානු නායකයා ඒ ගැන එතරම් තැකීමක් නොකරයි.

“එක්දින ක්‍රිකට් කියන්නේ ටෙස්ට් ක්‍රිකට් වගේ දෙයක් නෙමේ. එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේදී තණතීරු ලෝකය පුරාම එක වාගෙයි. ඒත් ශ්‍රී ලංකාවට හොඳ දඟ පන්දු යවන්නන් ඉන්නවා කියන එකනම් රහසක් නෙමේ.....කෝක වුණත්, අපිත් එක්ක ඉන්න තරුණ ක්‍රීඩකයන්, පළමු වතාවට මේ වගේ තත්ත්වයක ක්‍රීඩා කරලා, ඊට මුහුණ දෙන ආකාරය දිහා බලා ඉන්න එකත් විනෝදයක්” යයි ෆෆ් ඩු ප්ලෙසි පැවසීය.

“අනෙක් අතට එක්දින තරගයක දඟ පන්දු යවන්නන් 5 දෙනෙක් යොදවන්නත් බෑනේ. මොකද ඊළඟ ලෝක කුසලාන තරගාවලිය තියෙන්නේ දකුණු ආසියාවේ නෙමේ. එංගලන්තයේ.....ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ වේග පන්දු යවන්නන් ගැනත් බලන්න ඕනා” යයිද දකුණු අප්‍රිකානු නායකයා පැවසීය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාව වන්නේ තරගාවලිය ජයගැනීම බැවින් වියළි තණතීරුවක් සකස් කිරීම අරුමයක් නොවේ. එහෙත් ඒ අභියෝගයට මුහුණ දීමට දකුණු අප්‍රිකානු නායකයා සූදානමින් සිටී.


ශ්‍රී ලංකා එක්දින සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, කසුන් රාජිත, අකිල ධනංජය, ප්‍රභාත් ජයසූරිය, ලක්ෂාන් සඳකැන් සහ ෂෙහාන් ජයසූරිය


දකුණු අප්‍රිකානු එක්දින සංචිතය
ෆෆ් ඩු ප්ලෙසි (නායක), ක්වින්ටින් ඩි කොක්, හසිම් අම්ලා, ඒඞ්න් මාක්රම්, ජේ.පී. ඩුමිනි, ඬේවිඞ් මිලර්, විලියම් මල්ඩර්, කේෂව් මහාරාජ්, ජූනියර් දාලා, රීසා හෙන්රික්ස්, ඇන්ඩිල් පෙලුක්වායෝ, ලුන්ගි න්ගිඩි, හෙන්රික් ක්ලාසන්, කගීසෝ රබාඩා, තබ්රේෂ් ශම්සි.

 


අදහස් (0)

ශ්‍රී ලංකාව අලුත් ආරම්භයක් සොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.