Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව අභියෝග තුනක් අබියස

ශ්‍රී ලංකාව අභියෝග තුනක් අබියස

ශනුක අරවින්ද - 2018 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාවට එරෙහිව රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී හෙට (1 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගය සඳහා පසුගිය 29 වැනිදා තරගය පැවැති තණතීරුවම භාවිතා කරීමට තීරණය කර තිබේ. ඉතාම හදිසියේ ගන්නා ලද මෙම තීරණය හේතුවෙන් දකුණු අප්‍රිකානුවන් විපිළිසරව සිටියද ඒ සම්බන්ධයෙන් ඔවුන්ට කළ හැක්කක් නැත.

තණතීරුව සැකසීමේ අවසන් බලධරයා වන්නේ ජාතික තණතීරු සැකසුම්කරුවාය. සාමාන්‍ය වශයෙන් ගතහොත් ඒ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කිරීමේ අවස්ථාව සත්කාරක කණ්ඩායමේ නායකයා සහ පුහුණුකරුද ඇතුළත් සත්කාරකයන්ගේ ක්‍රිකට් කමිටුවට ඇතත් ජාතික තණතීරු සැකසුම්කරුවාගේ තීරණය අවසන් තීරණයම වෙයි.

දඹුල්ලේ තරග දෙක සඳහා තණතීරු දෙකක් සූදානම් කළ නමුත් පළමු තරගය නිමාවීමත් සමගම ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉහළ නිලධාරියෙක් තණතීරුව වෙත කඩිනම් ගමනින් ගියේය. ඔහු ආපසු පැමිණීමෙන් පසුව පැවැති රැස්වීමේදී තීරණය වූයේ පළමු තරගය පැවැති තණතීරුවම දෙවැනි තරගය සඳහාත් යොදාගත යුතු බවයි. කෙසේ වෙතත් පවතින කාලගුණික තත්ත්වය අනුව තණතීරුවේ ස්වභාවය වෙනස් විය හැකි බැවින් නායක ඇන්ජලෝ මැතිව්ස් සිටින්නේ ඒ පිළිබඳ දෙගිඩියාවෙනි.

“අපි මේ තරගයත් සෙල්ලම් කරන්නේ කළින් තරගය ක්‍රීඩා කළ තණතීරුවේම තමා. ඒත් දැන් හදිසියේම කාලගුණය වෙනස් වෙලා. ඒ නිසා තණතීරුව මොන වගේ වෙයිද කියලා කියන්න බෑ” යයි මැතිව්ස් අද සවස පැවැති පුවත් පත් සාකච්ඡාවේදී පැවසීය.

අද පස්වරුවේදී දඹුල්ලට තරමක තද වර්ෂාවක් ඇද හැළුණු අතර මාස ගණනක් පුරා පැවැති වියළි කාලගුණය හදිසියේම වෙනස් වී තිබේ. හෙට පැවැත්වෙන තරගය සඳහාත් වර්ෂාවෙන් යම් තරමක බාධාවක් ඇතිවිය හැකි බව දඹුල්ලේ පදිංචිකරුවෝ කියති.

ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු පිල හමුවේ එක්දින තරග 9 ක් එකදිගට පරාජය වී සිටී. මෙම තත්ත්වය අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාව වී තිබෙන්නේ මොන උප්පරවැට්ටියක් හෝ දමා හෙට පැවැත්වෙන තරගය ජයගනිමින් තරගාවලිය සම කිරීමයි. එසේ නොවුණහොත් එක්දින තරගාවලිය ජයගැනීමට ශ්‍රී ලංකා පිල තබා ඇති බලාපොරොත්තු තව තවත් ඈතට යනු ඇත.

රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සතුවන්නේ ඉතාමත් වාසිදායක වාර්තාවකි. එහිදී මේ දක්වා පැවැති එක්දින තරග 42 න් තරග 25 ක් ජයගෙන ඇති ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වී ඇත්තේ තරග 15 ක් පමණි. එය එසේ වූවත් 2014 අගෝස්තු මාසයෙන් මෙපිට දඹුල්ලේදී පැවැති එකම තරගයක් හෝ ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අසමත් වී තිබේ. එදා මෙදා තුර පැවති තරග 7 න් තරග 6 ක් ශ්‍රී ලංකා  කණ්ඩායම පරාජය වී ඇත. අනෙක් තරගය විසඳුමකින් තොරව නිමාවිය.

වසර 2014 දී සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකානුවන් හමුවේ දිගහැරුණු පරාජයන් වැල තවමත් ඇදී යන සෙයකි. 2015 ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගය මෙන්ම දකුණු අප්‍රිකාවේදී මුහුණ දුන් 5-0 ක තරගාවලි පරාජයද මෙම පරාජයන් වැලට ඇතුළත් වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ හෙට ඇත්තේ අභියෝග තුනකි. එකක් තරගාවලිය සමකරගැනීමයි. අනෙක් අභියෝග දෙක වන්නේ දකුණු අප්‍රිකානු පිල හමුවේදී මෙන්ම දඹුල්ල ක්‍රීඩාංගණයේදී දක්වන අසාර්ථකත්වයට නැවතීමේ තිත තබාගැනීමයි.

නායක ඇන්ජලෝ මැතිව්ස් කියන පරිදි පළමු තරගයේදී පිතිකරුවන් ආසාර්ථක වූ නමුත් සෑමදාම එසේ වන්නේ නැත. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූ බරපතළම පාඩුව වන්නේ ළහිරු කුමාර තුවාල ලැබීමයි. අද පැවැති පුහුණු සැසියකදී වම් අතේ ඇඟිළි දෙකක් අතර කරුව තුවාල වීම හේතුවෙන් ළහිරු කුමාරට හෙට තරගයේදී කණ්ඩායමෙන් ඉවත් වීමට සිදුව තිබේ. පළමු තරගයේදී කඩුල්ලක් දවා නොගත් නමුත් සිය ඕවර 3 දී දකුණු අප්‍රිකානු පිතිකරුවන් ලකුණු 11 කට සීමාකරමින් ඔවුන්ට මහත් අපහසුතා ඇතිකිරීමට ළහිරු කුමාරට හැකිවිය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා සංචිතයේ ඇති තරම් වේග පන්දු යවන්නන් සිටින බැවින් එය ප්‍රශ්නයක් නොවන බව නායක මැතිව්ස් කීවේය.

“පසුගිය දවස් දෙකේදී වුණත් අපේ පුහුණුවීම්වල වෙනසක් වෙලා නෑ. පසුගිය සති දෙකේදී අපි සුදු පන්දුවෙන් වෙහෙස වෙලා පුහුණුවීම් කළා. අපි මේවා ගැන කතා කළත් අපේ මානසික ශක්තිය තමයි අවසානයේදී බලපාන්නේ”

“කොහොම වුණත් අපට තවත් තරග 4 ක් තියෙනවා. මේ තත්ත්වය වෙනස් කරගන්න පුළුවන්” යයිද මැතිව්ස් පැවසීය.
දකුණු අප්‍රිකානු කඳවුරේ ආකල්පය වන්නේ පල්ලෙකැළේ යාමට පෙරම තරගාවලියෙන් අඩක් මිටමොළවාගෙන යාමයි.

“අපි අපේ සැලසුම් ඉදිරියටත් ක්‍රියාත්මක කරගෙන යනවා. මහනුවර යන්න ඉස්සරවෙලා 2-0 ක් ලෙසින් ඉදිරියට පැනගන්න පුළුවන් වුණොත් ඒක බොහොම හොඳයි” යයි කගීසෝ රබාඩා අද සවස පැවසීය.

ඡායාරූප - ශාන්ත රත්නායක


අදහස් (0)

ශ්‍රී ලංකාව අභියෝග තුනක් අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.