Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා පිතිකරුවෝ කඩුලු වීසිකරති

ශ්‍රී ලංකා පිතිකරුවෝ කඩුලු වීසිකරති

editorial - 2019 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ වගකීමෙන් තොර පිතිහරඹය හේතුවෙන් ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවේදී නවසීලන්ත කණ්ඩායම තරගයේ පාලනය තමන් සතු කරගෙන සිටියේය.

එසේ වුවත් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66 ක සටන්කාමී සම්බන්ධතාවක් ගොඩනඟමින් නවසීලන්තයට සැනසුම් සුසුම් හෙළීමේ අවස්ථාව අවහිර කළ නිරෝෂන් දික්වැල්ල සහ සුරංග ලක්මාල් මුල් ඉනිමේ වාසිය අත්කරගැනීමේ අවස්ථාව තවදුරටත් තමන් වෙත රැකගත්හ.

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (15 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 7 ක් දැවී ලකුණු 227 ක් ලබා සිටියේ නවසීලන්ත පිලට ලකුණු 22 කින් ආසන්න වෙමිනි.

අද පෙරවරුවේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සුරංග ලක්මාල් විසින් නවසීලන්ත මුල් ඉනිම ලකුණු 249 කට සීමා කරන ලද නමුත් කුසල් මෙන්ඩිස් ගැසූ හිතුවක්කාර පහරත් සමගින් තරගයට අවතීර්ණ වූ නවසීලන්ත පන්දු යවන්නෝ ලකුණු 18 ක් ඇතුළත ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් පස් දෙනකු ආපසු ක්‍රීඩාගාරයට යැවූහ.

ඔවුන් අතුරින් කුසල් ජනිත් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම ධනංජය ද සිල්වාත් දැවී ගියේ දුර්වල පහර තේරීම හේතුවෙනි.

මනා ඉවසීමකින් යුතුව, දුර්වල පන්දු තෝරා බේරා ගනිමින් සිය අර්ධ ශතකය ලබාගත් කුසල් මෙන්ඩිස් ගැසූ හිතුවක්කාර ‘ස්ක්වෙයාර් ඩ්‍රයිව්’ පහර කණ්ඩායම අමාරුවේ දමන්නක් විය. විවේකය ආසන්න වෙත්ම සන්සුන් නොවීමේ ආදීනව තවමත් වටහා නොගත් මෙම පිතිකරුවා දැවී ගියේ තේ පානයට පන්දු දෙකක් ඉතිරිව තිබියදීය. පිට ඉන්නට ඈතින් පතිත වූ අජාස් පතෙල්ගේ පන්දුව හඹායමින් කුසල් මෙන්ඩිස් ගැසූ පහරින් ස්ලිප්හි සිටි රොස් ටේලර්ට පහසු උඩපන්දුවක් ලැබිණ.

හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සමගින් එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 77 ක් එක්කළ නමුත් කුසල් මෙන්ඩිස් විසින් මුහුදට වීසිකර දැම්මේ ඉතාම පහසුවෙන් ලබාගත හැකිව තිබූ ටෙස්ට් ශතකයකි.

ළහිරු තිරිමාන්න දැවී ගියේත් එවැනිම වගකීම් විරහිත පහරකිනි. වමත් පා දඟ පන්දු යවන්නා හමුවේ සිය සීමාව පැන ඉදිරියට ගිය තිරිමාන්න ස්ටම්ප් කිරීමකට හසුවිය. දිවා ආහාරය වනතුරුවත් කඩුල්ලේ රැඳී සිටීමට ඉවසීමක් නොතිබූ තිරිමාන්න, දිවා ආහාරයට ඕවර දෙකක් තිබියදී දැවීයන විට ලබා සිටියේ ලකුණු 10 ක් පමණි. අවසන් වසර හතරක කාලයේදී ටෙස්ට් තරග 18 කට සහභාගි වී ඇති ළහිරු තිරිමාන්න, එම කාලය ඇතුළත ලබාගෙන ඇත්තේ අර්ධ ශතක දෙකක් පමණි. ඔහුගේ අවසන් ටෙස්ට් ඉනිම 24 ටම ඇත්තේ එකම අර්ධ ශතකයකි.

පන්දු 3 කට පමණක් මුහුණ දුන් කුසල් පෙරේරා ගුවනට පැන සිව්වැනි පන්දුවට ගැසූ  පහරින් ඉගිල ගිය උඩපන්දුව බැක්වර්ඞ් පොයින්ට් හි සිටි මිචෙල් සෑන්ට්නර්ගේ දෑත් අතර සැඟවී ගියේය. අජාස් පතෙල් අවකත්සේරු කිරීමේ වරදට ධනංජය ද සිල්වා සිය කඩුල්ල අහිමි කරගත්තේ ටෙස්ට් තරගයකදී අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු ඉවසීම ශ්‍රී ලංකා පිතිකරුවන්ට නොමැති බව මොනවට ප්‍රදර්ශනය කරමිනි.

අර්ධ ශතකයක් ලබාගත් ඇන්ජලෝ මැතිව්ස් පවා දිගු ඉනිමකට යාමේ අවස්ථාව අපතේ හැරියේය. කුසල් මෙන්ඩිස් දැවී ගිය ආකාරයෙන්ම මැතිව්ස්ද දැවී ගිය අතර තරගයෙන් පසුව අජාස් පතෙල් කීවේ කුසල් මෙන්ඩිස් මෙන්ම මැතිව්ස්ද තමන්ගේ උගුලේ හසුවූ බවයි.

සුරංග ලක්මාල් විශිෂ්ට පන්දු යැවීමක යෙදෙද්දී, බාල බොළඳ පිතිකරුවන් සේ පිති හැසිරවූ නවසීලන්ත පසුපෙළ පිතිකරුවෝ සිය පළමු ඉනිම ලකුණු 249 කට සීමා කරගත්හ. දිනය ආරම්භ වන විට කඩුලු 5 ක් අතැතිව ලකුණු 203 ක් ලබා සිටි සංචාරක කණ්ඩායමේ අවසන් කඩුලු 5 ම ලකුණු 46 කට ඇද වැටිණ.

අද පෙරවරුවේදී පැවැති තරමක් අඳුරු කාලගුණයෙන් නිසි ප්‍රයෝජන ලබාගත් සුරංග ලක්මාල් විසින් දිනයේ පළමු පන්දුවෙන්ම නවසීලන්ත පිලේ සිටින වඩාත්ම පළපුරුදු පිතිකරුවා වන රොස් ටේලර් පිටියෙන් ඉවත් කරන ලදි. අද උදෑසන මුහුණ දුන් පළමු පන්දුවටම ස්ක්වෙයාර් කට් පහරක් ගැසීමට උත්සුක වූ ටේලර්ගේ පිත්තේ යාන්තමින් ගෑවුණු පන්දුව කඩුලු රකින්නා අත පත්වූයේ ඊයේ සවස ඔහු ලබා සිටි ලකුණු 86 ට එකක්වත් එකතු කරගැනීමට කලියෙනි. විනාඩි 155 ක් පුරා පන්දු 132 කට මුහුණ දුන් රොස් ටේලර්ගේ ඉනිම හතරේ පහර 6 කින් සමන්විත වූයේය.

ටේලර්ගේ දැවී යාම නවසීලන්ත ඉනිම බිඳවැටීමේ ආරම්භය වූ අතර සුරංග ලක්මාල් ගාලු කොටු පවුර අන්තයෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත විය.

 

ජායාරූප-චතුර එස්.කොඩිකාර


අදහස් (0)

ශ්‍රී ලංකා පිතිකරුවෝ කඩුලු වීසිකරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.