Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා පිලට අලුත් ඉලක්කයක්

ශ්‍රී ලංකා පිලට අලුත් ඉලක්කයක්

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවය රැකගැනීමේ අභියෝගයකට මුහුණ දී සිටින වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත් ඉලක්කයක් දී තිබේ. එනම් එක්දින තරගයකදී ලකුණු ලබා නොගන්නා පන්දු සංඛ්‍යාව 50% සිට 15% - 20% පමණ අඩුකර තනි ලකුණු ලබාගැනීම වැඩිකිරීමයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා අද (02 වැනිදා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් මේ බව හෙළිදරව් කළේය.

ක්‍රීඩයින් හට ලබාදී ඇති පුංචි පුංචි ඉලක්කයන් පිළිබඳව පැහැදිලි කරමින් ගුණවර්ධන මහතා පවසා සිටියේ මාස 12 ක කාළයක් පුරා ඉනිමක ලකුණු ලබානොගන්නා පන්දු සංඛ්‍යාව 145 ක් බවත් එය තරගයේ යවන පන්දු සංඛ්‍යාවෙන් 50% ආසන්න සංඛ්‍යාවක් බවයි. එය 15% - 20% පමණ අඩුකර තනි ලකුණු ලබාගැනීම 20% කින් වැඩි කිරීමට උත්සාහ ගන්නා බවද ගුණවර්ධන මහතා පැවසීය.

කණ්ඩායමේ සිටින පළමු පිතිකරුවන් පස්දෙනා හෝ හයදෙනාගෙන් එක් අයකුවත් ඕවර 45 ක් ගතවනතුරු කඩුල්ලේ රැඳී සිටීමටත් ලකුණු 100 ක සම්බන්ධතාවයක් සහ ලකුණු 75 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් පුංචි පුංචි ඉලක්කයන් සපුරාගැනීමට හැකිවුවහොත් හොඳ ලකුණු සංඛ්‍යාවක් කරා කණ්ඩායම රැගෙන යාමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකියාව ඇති බවත් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

මේ වනවිටත් ඉන්දියාව හමුවේ තරග 4-0 ක් ලෙස පරාජයට පත්වී ඇති ශ්‍රී ලංකා කණ්ඩායමට හෙට (03 වැනිදා) තරගය තීරණාත්මක තරගයක් වනු ඇත. හෙට තරගය ජයගතහොත් අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත ලයිස්තුවේ ප්‍රසාද ලකුණු 88 රඳවාගැනීමේ අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට තිබෙන නමුත් තරගය පරාජය වී තරගාවලිය 5-0 ක් ලෙසින් පරාජය වුවහහොත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 87 දක්වා පහළ බසී. එය තරමක් අවදානම් සහගත තත්ත්වයකි.

හෙට පැවැත්වෙන පස්වැනි සහ අවසන් එක්දින තරගය මෙහෙයවීමේ වගකීම තරග දෙකක තහනමකට ලක්වූ උපුල් තරංග නායකයා ලෙසින් නැවතත් කණ්ඩායමට එක්වන අතර ඔහු යළිත් වරක් ආරම්භක පිතිකරුවාගේ භූමිකාවට පිවිසීමට සූදානමින් සිටී.

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දිනවල පුහුණුවීම් කටයුතු වලට වඩා මානසිකත්වය හදා ගැනීමට උනන්දු වූ බව අවිෂ්ක ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. කණ්ඩාමේ වැඩිවශයෙන් සිටින්නේ තරුණ ක්‍රීඩකයින් බැවින් ඔවුන් තමන්ගේ අඩුපාඩු ඉගෙනගත යුතු බවත් ඒවා ඉක්මනින්ම හදාගතයුතු බවත් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

පුහුණු කටයුතු කරන අතරතුරදී ක්‍රීඩයින් සමග කථාබස් කරමින් ඔවුන්ගේ මානසිකත්වය ඉහළ දැමිමට කටයුතු කළ බවත් ඔවුන්ට පුංචි පුංචි ඉලක්කයන් ලබාදී ඇති බවත් එම ඉලක්කයක් සපුරා ගැනිමට ඔවුන්ට හැකිවුවහොත්  හෙට හොඳ තරගයක් ලබාදිය හැකි බවත් ගුණවර්ධන මහතා පැවසුවේය.

සිවුවැනි තරගය අවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික නායකයා වශයෙන් කටයුතු කළ ලසිත් මාලිංග පවසා සිටියේ තරගයෙන් තරගයට නවක ක්‍රීඩකයින් කණ්ඩායමට ඇතුළත් නොකර කණ්ඩායමේ සිටින ක්‍රීඩකයින්ට වැඩිපුර අවස්ථාව ලබාදෙමින් වැඩි තරග සංඛ්‍යාවක් ඔවුන්ට ලබාදෙමින් ඔවුන්ගේ අත්දැකීම් වැඩිකර ගැනිමට අවස්ථාව ලබාදිය යුතු බවයි.

මෙම තරගාවලියෙන් පසුව ලසිත් මාලිංගට කණ්ඩායමේ රැඳී සිටීමට අවස්ථාව උදාවේද යන්න ඉතාමත් අවිනිශ්චිත නමුත් තමන්ට තරග දිනවීමට නොහැකිනම් තවත් මාස තුන හතරකින් තමන් පිළිබඳ තීරණයක් ගැනිමට සිදුවන බව ලසිත් මාලිංග සිවුවැනි එක්දින තරගයෙන් පසුව පැවසීය.

දැනට ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩයින් දෙස බැලුවීට පෙනී යන්නේ ක්‍රීඩා කළහැකි මට්ටමේ සිටින ක්‍රීඩකයන්ට වඩා ආබාධයන්ට ලක්වී ඇති ක්‍රීඩකයින්ගේ ලයිස්තුව දිගින් වැඩි බවයි. ඇත්ත ඇති සැටියෙන් ගෙන බැලුවහොත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතර වඩාත් දක්‍ෂ පිරිස සිටින්නේ ආබාධිත ලයිස්තුවේය.

 


අදහස් (0)

ශ්‍රී ලංකා පිලට අලුත් ඉලක්කයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.