Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා කණ්ඩායම දුර බලන්න සැරසෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම දුර බලන්න සැරසෙයි

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින  තරගාවලියේ ප්‍රතිඵලය කුමක් වූවත් මෙතැනින් හෝ ආරම්භ කරමින් නිවැරදි ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අලුත්ම තීරණය වී තිබේ. රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින තරගයේදී ලද පරාජයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ මෑත කාලීන තරග සියල්ලම විමර්ශනය කරමින් පැවැති රැස්වීමකදී මෙම තීරණයට එළඹ තිබේ.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග දෙකම මේ වන විට පරාජය වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම 0 - 2 ක් ලෙසින් තරගාවලියේ පසුපසට වැටී සිටී. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තුන්වැනි එක්දින තරගය (දිවා තරගයකි) ඉරිදා (5 වැනිදා) මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරග 5 කින් සමන්විත තරගාවලියක පළමු තරග දෙක පරාජය වීමෙන් පසු තරගාවලියක් ජයගැනීම පහසු නොවේ. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නවතම අරමුණ වී ඇත්තේ තරගාවලියේ ජයග්‍රහණය පසෙක තබා දීර්ඝ කාලීනව සාර්ථක විය හැකි වැඩපිළිවෙලක් සකසා ගැනීමයි.

“මේ තරගාවලිය අපි පරාජය වෙන්න පුළුවන්. ඒත් අපි දැන්වත් ක්‍රියාත්මක වුණොත්, තවත් මාස කිහිපයකින් අපට නැවතත් අපේ සුපුරුදු දස්කම් අතරට එන්න පුළුවන්....”

“අපට ක්‍රීඩකයන්ගෙන් හිඟයක් නෑ. විශේෂයෙන්ම තරුණ ක්‍රීඩකන් ගොඩාක් අපට ඉන්නවා. මේ වන විටත් අන්තර්ජාතික තරගාවලි තුනක් ලංකාවේ පැවැත්වෙනවා. ඒ සියල්ලටම අපට ක්‍රීඩකයන් ඉන්නවා...ඒ නිසා අවශ්‍ය වෙන්නේ නිවැරදි ක්‍රමවේදයක් හරහා ඔවුන්ව හරි මාර්ගයට ගන්නා එක මිස කෙටි කාලීන සාර්ථකත්වය නෙමේ” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස්ම නිලධාරියෙක් ලංකාදීපට පැවසීය.

දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලිය පැවැත්වෙන අතරේ දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම සහ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අතර පළමු පෙළ තරගාවලියක් පැවැත්වෙයි. ඉන්දීය 19 න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම අතර තවත් තරගාවලියක්ද පැවැත්වෙමින් තිබේ.

2014 වසර අවසන් වන විට අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ 2 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම මේ වන විට 8 වැනි ස්ථානය දක්වා පහළට ඇද වැටී තිබේ. ඊට ප්‍රධානතම හේතුව වූයේ 2015 පෙබරවාරි - මාර්තු මාස වලදී පැවැති ලෝක කුසලාන තරගාවලියෙන් පසුව මුහුණ දුන් පරජයන් වැලයි.

2015 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ එක්දින තරග 66 කින් තරග 41 ක්ම පරාජය වී තිබේ. ජයග්‍රහණය ලබා ඇත්තේ තරග 20 කදී පමණි. එයින්ද වැඩිහරියක් ශ්‍රී ලංකාවේදී සකස් කරගත් දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය, මන්දගාමී තණතීරු මතදීය.

“දිගටම මෙහෙම ක්‍රිකට් ගහන්න බෑ. අපි ක්‍රිකට් ගහන්නේ ලංකාවේ විතරක් නෙමේ....ලෝකයේ අනෙක් රටවලටත් යන්න වෙනවා. ඒ නිසා ඒ රටවලදීත් හරියට සෙල්ලම් කරන්න පුළුවන් කණ්ඩායමක් හදාගන්න ඕනේ” යයි ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය නිලධාරීන්ගේ සහ පුහුණුකරුවන්ගේ ඒකමතික මතය වී තිබේ.

දිගින් දිගටම ක්‍රීඩකයන් මාරු කරමින් තරග කළද බොහෝ අවස්ථාවලදී ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරගාවලි පවා ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩයම අපොහොසත් වී තිබේ. 2015 නොවැම්බර් මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව (එක්දින ශ්‍රේණිගත ලයිස්තුවේ ඒ වන විට ශ්‍රී ලංකාවට වඩා පහළින් සිටි කණ්ඩායමකි) ශ්‍රී ලංකාවේදී පැවැති තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාවේදී පැවැති එකම එක්දින තරගාවලියක් හෝ ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අසමත්ව තිබේ.

දීර්ඝ කාලීන බලාපොරොත්තු ඇතිව ශ්‍රී ලංකා කණ්ඩායම සකස් කිරීමට සූදානම් වන හෙයින් දඹුල්ලේදී පැවැති දෙවැනි තරගයේදී ක්‍රීඩා කළ 11 දෙනාගේ වැඩි වෙනසක් පල්ලෙකැළේදී නොවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.
“තරගයෙන් තරගයට ක්‍රීඩකයන් මාරු කරලා මේක කරන්න බෑ. කාට වුණත් ආත්ම විශ්වාසය ඇතිකරගන්න සාධාරණ කාලයක් දෙන්න ඕනේ. එහෙම නොවුණාම ක්‍රීඩකයන් තමන් දන්න දේ කරන්නත් බය වෙනවා” යයි පුහුණුකරුවන්ගේ මතය වෙයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකර ඇතැයිද දැනගන්නට තිබේ. දඹුල්ලේ තරගය නිමාවේදී නායක ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම පාසල් ක්‍රීඩකයන්ගේ තත්ත්වයට ඇද වැටී ඇති බවයි.

“මේ තරගය පුරාම අපි වැරදි ගොඩාක් කළා. අපිට තරග දිනන්න ඕන නම් මේ තරම් වැරදි කරලා බෑ”
“තරගයකදී වැරැද්දක් දෙකක් වෙන්න පුළුවන්. ඒත් ඒවා හදාගෙන තරගය ජයගන්න ඕනා. ඒත් තරගය පුරාම (පන්දු රැකීමේදී) ඒ වගේ වැරදි කරනවා නම් තරග දිනන්න බෑ” යයි නිරෝෂන් දික්වැල්ල දඹුල්ලේ තරගයෙන් පසුව කීවේය.

දඹුල්ලේදී පැවැති දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 ක් නිමාවේදී කඩුලු 8 ක් දැවී ලකුණු 244 ක් ලබාගත්තේය. එහෙත් දකුණු අප්‍රිකානු ඉනිමේ පළමු ඕවර 5 දී උඩපන්දු තුනක් ගිළිහී ගිය අතර පන්දුව කිහිප වතාවක්ම ක්‍රීඩකයන්ගේ දෑත් අතරින් සහ දෙපා අතරින් හතරේ සීමාව කරා ඇදී ගියේය.  

මෙම තත්ත්වයෙන් ප්‍රයෝජන ගත් දකුණු අප්‍රිකානුවෝ කඩුලු 4 කින් තරගය ජයගත්හ.

ඡායාරූපය : ශාන්ත රත්නායක

 


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායම දුර බලන්න සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.