Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විශ්වාසනීයත්වය පිතිකරුවන් වෙතටම

විශ්වාසනීයත්වය පිතිකරුවන් වෙතටම

රොෂාන් ගුණරත්න - 2018 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 1975 දී එංගලන්තයේදී පැවැති ලෝක කුසලාන තරගාවලියේ සිටම, අඩ සියවසකට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ස්ථාවර ශක්තිය වූ පිතිහරඹය දෙසට නැවතත් නැඹුරුවීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර තිබේ. මෙම තත්ත්වය තහවුරු කළ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් නැවත වරක් අවධාරණය කර සිටියේ එක්දින තරග වලදී වඩාත් හොඳ තණතීරු මත ක්‍රීඩා කිරීම මගින් ලකුණු 300 ක් හෝ 350 ක් හඹා යා හැකි මට්ටමට පිතිකරුවන්ගේ මනස යළි සකස් කරගත හැකි බවයි. 

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර හෙට (8 වැනිදා) පැවැත්වෙන සිව්වැනි එක්දින තරගයට පෙර මැතිව්ස් මේ බව කියා සිටියේය. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර හෙට පැවැත්වෙන්නේ දිවා/රාත්‍රී තරගයකි. 

“අවාසනාවකට වගේ අවසන් වරට තිබුණ තරගයේදී (5 වැනිදා) අපි ඒ තරම් හොඳට සෙල්ලම් කළේ නෑ. ඒත් හොඳ තණතීරු මත සෙල්ලම් කරනවා නම් බොහෝ වෙලාවට ඉදිරියේදී අපට ලකුණු 300 ක ඉලක්කයක් දෙන්න නැතිනම් ඒ වගේ ඉලක්කයක් හඹා යන්න පුළුවන් වේවි.....කාලයක් යනකොට අපේ පිතිකරුවන් ඒකට හුරුවෙයි” යයි ඇන්ජලෝ මැතිව්ස් අද සවස පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවසීය. 

දකුණු අප්‍රිකානුවන් හමුවේ පැවත්වෙන එක්දින තරගාවලිය මේ වන විටත් පරාජය වී සිටින නමුත් තමන්ගේ ගෞරවය වෙනුවෙන් ඉතිරි තරග දෙකේදී හැකි තරම් හොඳින් ක්‍රීඩා කළ යුතු බව ඇන්ජලෝ මැතිව්ස් කීවේය. 

“අපි අපේ ගෞරවය වෙනුවෙන් ක්‍රීඩා කරන්න ඕන. ඒත් එදා තරගයෙන් අපි කිසියම් දෙයක් ආරම්භ කළා. ඒක දිගටම ගෙනයන්න ඕන...කාලයත් එක්ක ඒකට මුහුණ දෙන්න අපේ අය ඉගෙන ගනීවි. අපි දියුණුවක් ලබන්න නම් ඒ දේ කරන්න වෙනවා” යයිද මැතිව්ස් අද සවස පැවසීය. 

සිය 200 වැනි එක්දින තරගයට ක්‍රීඩා කිරීමට සූදානම් වන ශ්‍රී ලංකා නායකයා වඩාත් අවධාරණයෙන් කියා සිටියේ කණ්ඩායමක් වශයෙන් තමන් සැලසුම් කළ දේ පවත්වාගෙන යනවා විනා තරග ප්‍රතිඵල මත වරින් වර එය වෙනස් නොකරන බවයි. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ලකුණු 5000 ක් ඉක්මවා රැස්කර ඇති මැතිව්ස් සිය තරග දිවිය ආරම්භ කළේ තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් වුවද පාදයේ කලව මස්පිඬුවේ පවතින ආබාධයක් හේතුවෙන් මේ වන විට වැඩි වශයෙන් ක්‍රීඩා කරන්නේ පිතිකරුවකු ලෙසිනි. එහෙත් හැකි ඉකිමනින් පන්දු යැවීම ආරම්භ කිරීම මැතිව්ස්ගේ අපේක්‍ෂාවයි. 

දකුණු අප්‍රිකානු කණ්ඩායමටද සිය නායක ෆෆ් ඩු ප්ලෙසිගේ සේවය අහිමි වී තිබේ. පසුගිය ඉරිදා (5 වැනිදා) පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින තරගයේදී උඩපදුවක් රැකගැනීමට ගත් උත්සාහයේදී නැවත වරක් සිය පැරණි ආබාධය පැවැති උරහිස මතම ඇදවැටීම හේතුවෙන් සංචාරක පිලේ නායකයාට තරගාවලියේ ඉතිරි කොටස අහිමි විය.

“ඔහුට නැවතත් ප්‍රකෘති තත්ත්වයට පැමිණීමට සති හයක පමණ කාලයක් ගතවේවි” යයි දකුණු අප්‍රිකානු කළමණාකරු මොහොමඞ් මුසාජි  මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් කියැවිණ. 

ෆෆ් ඩු ප්ලෙසි වෙනුවට කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටින් ඩි කොක් කණ්ඩායමේ නායකත්වය බාරගනු ඇත. තරගාවලිය දැනටමත් ජයගෙන ඇති බැවින් ඉදිරිපෙළ වේග පන්දු යවන්නන් වන කගීසෝ රබාඩා, ඇන්ඩිල් පෙලුක්වායෝ සහ ලුන්ගි න්ගිඩි තිදෙනාගෙන් අයකු හෙට තරගයේදී විවේක ගැන්වීම ගැනත් දකුණු අප්‍රිකානුවෝ කතාබහ කරමින් සිටිති. 

අනාගතය වෙනුවෙන් නව ක්‍රීඩකයන් අත්හදා බැලීමේ අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තිබුණත් හෙට තරගය ජයග්‍රහණය කරමින් නැවතත් කණ්ඩායමේ ආත්ම විශ්වාසය වර්ධනය කර ගැනීම ගැනත් සිතන්නට ශ්‍රී ලංකා පිලට සිදුව තිබේ. 

වසර හතරකින් මෙපිට එක්දින තරගයකදී දකුණු අප්‍රිකානු පිල පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අපොහොසත් වී තිබේ. 2014 ජූලි මාසයේදී පැවැති ශ්‍රී ලංකා සංචාරයේදී පල්ලෙකැළේදී පැවැති තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් අනතුරුව හම්බන්තොටදී පැවැති තරගය ලකුණු 82 කින් පරාජය විය. එතැන් සිට මේ දක්වා දකුණු අප්‍රිකානු පිලට එරෙහිව පැවැති තරග 11 ක් ශ්‍රී ලංකා කණ්ඩායම එක දිගට පරාජය වී තිබේ. 

අනෙක් අතට ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින වාර්තාවත් එතරම් යහපත් තත්ත්වයක නැත. ගෙවී ගිය වසර දෙකක කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 47 කට ක්‍රීඩා කර ඇතත් ඒවායින් ජයගෙන ඇත්තේ තරග 12 ක් පමණි. තරග 33 ක් පරාජය වී තිබේ. ජයගත් තරග 12 න් වැඩි හරියක් සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශ කණ්ඩායම් වලට එරෙහිවය. ජයග්‍රහණ 12 අතර ඇත්තේ ඉන්දීය පිල හමුවේ ලබාගත් ජයග්‍රහණ දෙකක් සහ ඕස්ටේ්‍රලියානු පිලට එරෙහිව කොළඹදී ලද ජයක් පමණි. 

ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ඇති බරපතළම ප්‍රශ්නය වන්නේ ඉනිමේ පළමු ඕවර 10 නිමාවීමට මත්තෙන් කඩුලු දෙකක් හෝ 3 ක් බිඳවැටීම නිසා ආරම්භයේදීම පසුපාදයට වැටීමයි. දඹුල්ලේදී පැවැති පළමු තරගයේදී 10 වැනි ඕවරය නිමා වීමට මත්තෙන් කඩුලු 5 ක් බිඳ වැටුණු අතර දෙවැනි එක්දින තරගයේදී ලකුණු 13 කට කඩුලු 2 ක් බිඳ වැටිණ. තුන්වැනි තරගයේදීත් 10 වැනි ඕවරය නිමා වීමට පෙර කඩුලු 3 ක් බිඳ වැටිණ. 

“මේ තරගයේදී වත් ඒ තත්ත්වයෙන් මිදෙන්න අප උත්සාහ කරනවා” යයි මැතිව්ස් කීවේ පිතිකරුවන් වෙතට වඩා තණතීරුව කෙරේ විශ්වාසය තබමිනි. 

කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවා වන උපුල් තරංගගේ ස්ථානය මේ වන විට දංගෙඩිය මත තිබෙන තත්ත්වයට පත්ව තිබේ. එක්දින තරග 226 කදී ලකුණු 6000 ඉක්මවා රැස්කර ඇති උපුල් තරග මෙම තරගාවලියේ තරග 3 කදීම ලබා ඇත්තේ ලකුණු 38 ක් පමණි. ලෝක කුසලාන තරගාවලියට පෙර තවත් එක්දින තරග 20 කට ආසන්න සංඛ්‍යාවක් තිබෙන බැවින් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ සිටින ආරම්භක පිතිකරුවන් වෙතින් තරංගට පීඩනය එල්ල වෙමින් තිබේ. 

ඡායාරූපයඃ ශාන්ත රත්නායක


අදහස් (0)

විශ්වාසනීයත්වය පිතිකරුවන් වෙතටම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.