Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලෝක කුසලානය වෙනුවට හදවත දිනාගැනීම

ලෝක කුසලානය වෙනුවට හදවත දිනාගැනීම

ශනුක අරවින්ද - 2018 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

රුසියාවේ පැවැත්වෙන මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම් අතළොස්ස අතරින් එකක් වූ ජපානය සඳුඳා (2) තියුණු තරගයකින් පසුව 16 දෙනාගෙන් වටයෙන් ඉවත් විය.

දහසය දෙනාගේ වටයට එක්වූ එකම ආසියානු කණ්ඩායම වූ ජපාන කණ්ඩායම තීරණාත්මක තරගයේදී බෙල්ජියමට ප්‍රබල අභියෝගයක් විය. තරගයේ දෙවැනි අර්ධයේදී ගෝල දෙකක් වාර්තා කරමින් වැඩි වාසි අත් කරගැනීමට ජපාන කණ්ඩායම සමත් වූවද එම වාසිය පැවැතියේ විනාඩි 20කටත් අඩු කාලයකි. තරගයේ 69 වැනි මිනිත්තුවේදී තම පළමු ගෝලයත් 74 වැනි මිනිත්තුවේදී දෙවැනි ගෝලයත් වාර්තා කරමින් ජපානය හා සම වන්නට බෙල්ජියානු කණ්ඩායම සමත්විය. ඉන් අනතුරුව කණ්ඩායම් දෙක අතර තියුණු සටනක් පැවැති අතර තරගයේ අතිරේක කාලයේදී එනම් 94 වැනි මිනිත්තුවේදී තවත් ගෝලයක් වාර්තා අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට බෙල්ජියානු කණ්ඩායම සමත්වූයේ තරගය 3-2ක් ලෙස ජයගනිමිනි. 

තියුණු තරගයකින් අනතුරුව 16 දෙනාගෙන් වටයෙන් ඉවත් වීමට සිදුවුවත් ජාත්‍යන්තර මාධ්‍යය බොහෝමයක අවධානය තමන් වෙත හරවා ගැනීමට සටන්කාමී හා විනයානුකූල ජාතියක් ලෙසින් හැඳින්වෙන ජපානයේ පාපන්දු කණ්ඩායම සමත්විය. 

වේදනාකාරී තරග පරාජයකට මුහුණ දුන් ජපාන පාපන්දු කණ්ඩායම තරගය පැවැති රොස්ටොව් ඇරීනා ක්‍රීඩාංගනයේ තමන්ගේ විවේකාගාරයෙන් නිකම ගොස් තිබුණේ ‘රුසියානු බසින්’ ‘ස්තූතියි’ යනුවෙන් සත්කාරක රුසියාවට කෘතඥ වෙමින් සහ ඔවුන්ගේ විවේකාගාරය සම්පූර්ණයෙන් පිරිසුදු කරමිනි. 

රුසියානු බසින් ‘ස්තූතියි’ යනුවෙන් කාඞ්බෝඞ් වැන්නක ලියා එය ජපාන කණ්ඩායමේ විවේකාගාරයේ තබා ගොස් තිබූ අතර එය සහ ඉතා පිළිවෙළකට තිබෙන ජපාන පාපන්දු කණ්ඩායමේ විවේකාගාරය දැක්වෙන ඡායාරූපයක් අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සාමාන්‍ය සම්බන්ධිකාරිකා ප්‍රිසිලා යැන්සන්ස් විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබිණි. ජපාන කණ්ඩායමේ මෙම ක්‍රියාව අනෙකුත් කණ්ඩායම් සියල්ලට ද ඉතාමත් හොඳ පූර්වාදර්ශයක් යැයිද එම ඡායාරූපය පළ කරමින් ඇය සඳහන් කර තිබිණි.

 තරග පරායෙන් පසු කඳුළු පිරි දෙනෙත්වලින් පිටියෙන් ඉවත් වූ ජපාන කණ්ඩායමේ මෙම ක්‍රියා කලාපය ලොව පුරා පාපන්දු ලෝලීන්ගේ හදවත් දිනාගැනීමට සමත්ව තිබේ. ජපාන පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් පමණක් නොව තරගය නැරඹීමට පැමිණි ජපාන පාපන්දු ලෝලීන් ද තරගයෙන් අනතුරුව ක්‍රීඩාංගනයේ ඔවුන් රැඳී සිටින ස්ථාන පිරිසුදු කරන අයුරු ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ කැමරා කාචවලට හසුව තිබිණි. 

“ජපාන පාපන්දු ක්‍රීඩකයන්ගේ ඔවුන්ට සහාය පැතීමට පැමිණි සියලු දෙනාට ස්තූති කළා. ඒ වගේම ඔවුන් මාධ්‍යයට අදහස් දැක්වූවා. ඒ වගේම ඔවුන් ඔවුන්ගේ විවේකාගාරය සම්පූර්ණයෙන් පිරිසුදු කරලා. ඒ වගේම රුසියානු බසින් ‘ස්තූතියි’ කියා සටහනක් ද තබලා. අනෙකුත් කණ්ඩායම්වලට එය කොතරම් ආදර්ශයක් ද ? ජපාන කණ්ඩායම සමඟ කටයුතු කිරීමත් ගෞරවයක්” යැයි ප්‍රිසිලා යැන්සන්ස් සඳහන් කර තිබිණි.
 
 
 
 
ඩේලිමේල් ඇසුරිනි
 
-055 

අදහස් (1)

ලෝක කුසලානය වෙනුවට හදවත දිනාගැනීම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.