Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලුවිස් හැමිල්ටන්ට නයිට් පදවිය

ලුවිස් හැමිල්ටන්ට නයිට් පදවිය

editorial - 2021 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


ෆෝමියුලා-I ලෝක ශූර ලුවිස් හැමිල්ටන්ට නයිට් පදවිය පිරිනැමීමට එලිසබෙත් මහ රැජින තීරණය කර තිබේ. මහ රැජිනගේ නව වසරේ (2021) ගෞරව ලැයිස්තුවට ලුවිස් හැමිල්ටන් ඇතුළත්ව සිටින බව පසුගියදා ප්‍රකාශයට පත්කෙරිණ.

මේ වන විට 35 හැවිරිදි හැමිල්ටන්, ඉකුත් වසරේ (2020) නොවැම්බර් මාසයේදී තුර්කි ගෝන් ප්‍රී තරගය ජයගනිමින් සිය හත්වැනි ෆෝමියුලා-I කාණ්ඩයේ ලෝක ශූරතාව දිනාගත්තේය. වැඩිම ලෝක ශූරතා සංඛ්‍යාවකට හිමිකම් කියන ජර්මන් ජාතික මයිකල් ෂූමාකර්ගේ වාර්තාව සම කිරීමටද එහිදී හැමිල්ටන් සමත් විය.

මැක්ලරන් කණ්ඩායම නියෝජනය කරමින් 2008 වසරේදී සිය පළමු ලෝක ශූරතාව දිනාගත් හැමිල්ටන්, ඉන් අනතුරුව 2014, 2015, 2017, 2018 සහ 2019 යන වසරවලදීද ලෝක ශූරතා දිනාගත්තේය. ඒ අනුව 2020 වසරේදී ඔහු ලෝක ශූරතාවට හිමිකම් කීවේ පිට පිටම සිවුවැනි වරටය.

වර්තමානයේදී මර්සිඩීස් කණ්ඩායම නියෝජනය කරමින් තරග වදින හැමිල්ටන්, මේ වන විට ශූමාකර්ගේ වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවේ වාර්තාවද (92) බිඳදමා ඇති අතර 2020 වස‍ර අවසන් වන විට ඔහු ජයගෙන සිටි සමස්ත තරග සංඛ්‍යාව 95 කි.

ශූමාකර්ගේ ජයග්‍රහණය වාර්තාව පසුකර යමින් ලැබූ ඉස්තාන්බුල් ජයග්‍රහණයෙන් පසුව හැමිල්ටන් කියා සිටියේ ‍එය අවසානයක් නොව ආරම්භයක් පමණක් යැයි තමාට හැඟුණු බවය. කළ නොහැකි දේ ගැන සිහින දකින ලෙස එහිදී ඔහු කුඩා දරුවන්ට කියා සිටියේය.

ෆෝමියුලා-I තරග බිමේ තවදුරටත් රැඳී සිටීමට තමා කැමති බවත්, මානව හිමිකම් සහ ජාතීන් අතර සමානත්වය මෙන්ම පරිසරය සම්බන්ධයෙන් වෙනසක් උදෙසා දිගින් දිගටම අරගල කිරීමට තමාට අවශ්‍ය බවත් ඔහු වැඩි දුරටත් පැවසීය. හැමිල්ටන් කුඩා කාලයේ සිටම එංගලන්තයේ හැදී වැඩුණු අතර ඔහුගේ සීයා කැරීබියන් දූපත් සමූහයේ සිට එංගලන්තයට සංක්‍රමණය වූ අයෙකි.

ඉකුත් ව‍සරේ තුළ පැවැති ගෝන් ප්‍රී තරග 17 න් 16 කටම සහභාගි වූ හැමිල්ටන් ඉන් 11 ක් ජයගැනීමට සමත් විය. කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා බහරේනයේදී පැවැති සකීර් ගෝන් ප්‍රී තරගයට සහභාගි වීමේ අවස්ථාව පමණක් ඔහුට මඟ හැරී ගියේය.

“ලුවිස් සෑම විටම සුවිශේෂී දක්ෂතා දැක්වූවා. නමුත් මේ වසරේදී ඔහු අත්කර ගත් දේ ඇදහිය නොහැකි තරම් විශාලයි.“ ‍

“ගෙවී ගිය වසර ලොව බොහෝ දෙනෙකුට එතරම් හොඳ වසරක් නොවූවත්, ලුවිස්ට නම් එය ඉතාම හොඳ වසරක් වුණා.” යැ යිද හිටපු ලෝක ශූරයකු වන ඩේමන් හිල් මහතා පැවසීය.

නයිට් පදවිය ලද සිව්වැනි ෆෝමියුලා 1 ලෝකශූරයා හැමිල්ටන්ය. ඔහුට පෙර නැසීගිය ඕස්ට්‍රේලියානුවකු වන ජැක් බ්‍රැබ්හැම්, සටර්ලිං මෝසස් සහ ජැකී ස්ටුවර්ට් නයිට් පදවිය ලද ෆෝමියුලා 1 ලෝක ශූරයෝ වෙති. එහෙත් ධාවන පථයෙන් සමුගැනීමට පෙර නයිට් පදවිය ලද පළමුවැන්නා ලුවිස් හැමිල්ටන්ය.

එංගලන්ත ක්‍රිකට් පිලේ හිටපු නායක ඇලිස්ටෙයාර් කුක්, ප්‍රංශ සවාරියේ ජයග්‍රාහකයකු වූ බ්‍රැඩ්ලි විගින්ස්, මීටර 5000 සහ මීටර 10,000 ඔලිම්පික් ශූරයා වූ මෝ ෆාරා සහ විම්බල්න් ශූර ඇන්ඩි මරේ ක්‍රීඩා පිටියෙන් සමුගැනීමට පෙර නයිට් පදවිය ලද සෙසු ක්‍රීඩකයෝ වෙති.

-036


අදහස් (0)

ලුවිස් හැමිල්ටන්ට නයිට් පදවිය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.