Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලක්‍ෂ 70 ක් සොයා පිලිපීනයට යති

ලක්‍ෂ 70 ක් සොයා පිලිපීනයට යති

රොෂාන් ගුණරත්න - 2019 මැයි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කිලෝමීටර් 403.8 ක දුරකින් යුත්, ජයග්‍රාහකයන් සඳහා ඇමරිකානු ඩොලර් 40,000 (රුපියල් ලක්‍ෂ 70 ක් පමණ) මුදලක් ප්‍රදානය කෙරෙන ‘ෆ්රූරයිඞ්’ පාපැදි සවාරියට ක්‍රීඩකයන් පස් දෙනකුගෙන් සමන්විත  ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමක් මෙම 23 වැනිදා පිලිපීනය බලා පිටත්ව යාමට නියමිතය.

ආසියානු පාපැදි සම්මේලනයේ අනුමත වාර්ෂික තරග දින දසුනට ඇතුළත් මෙම ජාත්‍යන්තර පාපැදි තරගය මෙම 24, 25, 26 යන දිනවල පිලිපීනයේ ‘සබික්-බේ’ නුවර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ. මෙම පාපැදි සවාරියේ විශේෂත්වය අදියර තුනකින් තෙදිනක් පුරා පැවැත්වෙන තරගය එකම ධාවන මාර්ගයක් ඔස්සේ පැවැත්වීමය. 

කිලෝමීටර 165.4 වන තරගයේ දෙවැනි අදියරේ විශේෂත්වය වන්නේ එහිදී තරගකරුවන්ට  ‘යමත්’ නමැති එරට ප්‍රසිද්ධ කන්ද තරගය කරමින් ධාවනයේ යෙදීමට සිදුවීමය.

 ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය රටේ ප්‍රධානතම පාපැදි ක්‍රීඩා සමාජ කණ්ඩායම් සඳහා ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා දීමේ වැඩසටහන යටතේ ගුවන් හමුදා පාපැදි කණ්ඩායමට පිලිපීන තරග සංචාරය සඳහා අවස්ථාව උදාකර දුන් බව පාපැදි සම්මේලනයේ සභාපති එන්. කරුණාරත්න මහතා  පවසයි.

ඒ යටතේ මේ වන විට නාවික හමුදා පාපැදි කණ්ඩායමක් තවත් සංචාරයකටද යුද හමුදා පාපැදි කණ්ඩායමක් මලයාසියානු තරග සංචාරයකටද මේ වන විට සහභාගි කර තිබේ. ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායමක් ඒ අනුව ලබන ජුනි මාසයේදී පැවැත්වෙන ඉන්දුනීසියානු (විවෘත) පාපැදි සවාරිය සඳහා සහභාගි වීමට සූදානමින් සිටියි.

ශ්‍රී ලංකා ජාතික පාපැදි කණ්ඩායමක් නොබෝදා උස්බෙකිස්තානයේ ‘ටස්කන්ට්’ නුවරදී පැවති ආසියානු පාපැදි තරගාවලියට සහභාගි විය. ආසියානු තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගි වූයේ වසර කීපයකට පසුවය.

පැවති ගුවන් හමුදා පාපැදි සවාරිය (2019) ජයගත් බුද්ධික වර්ණකුලසූරියගේ නායකත්වයෙන් යුත් සංචාරක ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම දිවයිනේ නමගිය පාපැදි ශූරයන් කීපදෙනකුම එක්ව සිටියි. ඒ අතර අවසන් වරට පැවති සාග් ක්‍රීඩා උළෙලේදී රන් පදක්ම් දෙකක් දිනාගත් මෙරට ප්‍රවීනතම පාපැදි ශූරයකු වන ජීවන් ජයසිංහ ද ඇතුළත්ව සිටීයි.

කෙසේ වුවත් ජීවන් ජයසිංහ එයින්පසු පෙන්නුම් කර ඇත්තේ දිගින් දිගටම පසුබෑමක් වන බැවින් මෙම තරග සංචාරය ඔහුට සිය දක්‍ෂතා නැවත මැන බැලීමට ලැබෙන අවස්ථාවක් බවටද පත්ව තිබේ.

 බෙන් නුගේරා, නිදුෂ් නිරන්ත වීරසිංහ, මධුශංඛ ප්‍රනාන්දු හා අෂේන් තාරුක සංචාරක ගුවන් හමුදා පාපැදි කණ්ඩායම නියෝජනය කරන සෙසු ක්‍රීඩකයෝ වෙති. පිලිපීනයට යන ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි කණ්ඩායමේ ජනක සුමිත් කුමාර මහතා පුහුණුකරු ලෙසත් ලංකා පෙරේරා මහතා කළමනාකරු ලෙසත් කටයුතු කරති.

මේ අතර විදෙස් තරග සංචාර සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම් වෙත ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය උපදෙස් දී ඇත්තේ හැකිතාක් තරග ඉසව් අවසානය දක්වා ධාවනයේ යෙදීමට තරගකරුවන් උනන්දු විය යුතු බවයි. 

 


අදහස් (0)

ලක්‍ෂ 70 ක් සොයා පිලිපීනයට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.