Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රුසියාවට අලුත් බලාපොරොත්තු

රුසියාවට අලුත් බලාපොරොත්තු

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රුසියාවේ වාතාවරණය එහෙම පිටින්ම වෙනස්වී ඇත. ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වෙද්දී සිය කණ්ඩායම ගැන කොහෙත්ම ප්‍රසාදයක් නොදැක්වූ එරට ලක්ෂ සංඛ්‍යාව වැසියන්ගේ මුවෙහි දැන් දැන් නැගෙන එකම හඬ රුසියාව.. වීරයෝ... රුසියාව...වීරයෝ...යන්න පමණි.

මීට වසර අටකට පෙර මෙවර තරගාවලියට සත්කාරකත්වය ලබාදීමේ අයිතිය රුසියාවට නොලැබුණා නම් හෙට ක්‍රොඒෂියාව සමග අර්ධ අවසන් පූර්ව වටයේදී මෙලොව කිසිවකුට රුසියානු කණ්ඩායම නම් දකින්නට නොලැබෙන බව ඒකාන්තය. සත්කාරකයන් මෙවර තරගාවලියට සුදුසුකම් ලැබුවේ සත්කාරක රට නිසාම පමණි. ඇරත් රුසියාව සිටියේ තරගාවලිය ආරම්භවීමටත් පෙර දුර්වලතම කණ්ඩායම ලෙස ලේබල්ගතවීය.

රුසියානු පාපන්දු පිල මූලික වටයේ පළමු තරගයෙන් සෞදි අරාබිය ගෝල 5-0 කින් පරාජය කරමින් ඒ ලේබලය ගලවා ඈතට වීසි කළේය. අනතුරුව ඊජිප්තුවට 3-1 කින් ගැසුවේය. පරාජය වූයේ උරුගුවේ පිලට පමණි.

සොචී නුවර ෆිෂ්ට් ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී හෙට පැවැත්වෙන රුසියාවේ මංගල ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේදී වැඩිම අවධානයක් දිනාගෙන සිටින්නේ කණ්ඩායමේ නායක 32 හැවිරිදි ඉගෝර් ආකින්ෆීව්ය. ඔහු රුසියාවේ වීරයා බවට පත්වූයේ පිළිමළුන් පිටුදැකීමේ වටයේ ස්පාඤ්ඤයට එරෙහිව පැවැති තරගයේ දඬුවම් පහර මගින් ජයග්‍රාහකයා තීරණය කිරීමේදී ප්‍රතිවාදීන්ගේ පහර දෙකක්ම අතිදක්ෂ ලෙස වළක්වාලමින් රුසියාවට අර්ධ අවසන් තරගයේ පාර කපා දුන් නිසාය.

එය ඉගෝර්ට රුසියාවේ දීප්තිමත් පාපන්දු තරුව බවට පත්වීමට වාසනාව ගෙන දුන්නා පමණක් නොව එරට ජනකාන්ත චරිතයක් වීමටත් භාග්‍යය අත්කර දුන්නේය. පසුගියදා මොස්කව් නුවර සත්වෝද්‍යානයේ උපන් රාජාලි පැටවා නම් කළේ ඔහුගේ නමිනි. එපමණක් නොව රුසියාවේ ජනප්‍රියතම මෝස්තර නිරූපන ශිල්පිනියක හා ගෘහ නිර්මාණ ශිල්පිනියක වන මරියා ලිමාන් එදා තරගයෙන් රුසියාව ජයගැනිමෙන් පසුව ඇගේ ‘ඉන්ස්ටග්‍රෑම්‘ පිටුව එහෙම පිටින්ම පුරවා දැමුවේ උඩුකය නිරුවත් ඡායාරූප මාලාවකිනි.

එය මුදා හැර තිබුණේ ඉගෝර්ට දෙන උපහාරය ලෙස නම් කරමිනි. මේ රූමත් මෝස්තර නිරූපන ශිල්පිනිය සෞදි අරාබියට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමෙන් පසුව සිය ‘ඉන්ස්ටග්‍රෑම්‘ පිටුව සම්පූර්ණයෙන්ම නිරුවත් ඡායාරූපවලින් පුරවා දමා තිබුණේ සතුට වාවාගත නොහැකිවය.

රුසියානු ජනතාවට දැන් අලුත් බලාපොරොත්තුවක් තිබේ. තම පාපන්දු පිල ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබිම ඔවුන්ගේ එකම ප්‍රාර්ථනය වී තිබේ. එහෙත් රුසියානු පිලේ කළමනාකරු ස්ටැනිස්ලොව් චෙර්චෙසොව් එතරම් දුරට සිතා නැත. ඔහු කියන්නේ තමා තරගයෙන් තරගයට බලාපොරොත්තු අලුත් කරගන්නා බව පමණි.

හෙට තරගය දෝලනය වනු ඇත්තේ රුසියාවේ ඇලෙක්සැන්ඩර් ගොලෝවින් සහ ක්‍රොඒෂියාවේ ලූකා මොඞ්රික් අතරය. මේ දෙදෙනාම දෙපිලේ දැල් රකින්නන්ට අමතරව වැඩිම අවධානය දිනාගත්තෝ වෙති.
රුසියාව දඬුවම් පහර මගින් ස්පාඤ්ඤය පරාජය කළා සේම ක්‍රොඒෂියාව එවැනිම ආකාරයෙන් ජයලැබුවේ ඩෙන්මාර්කයට එරෙහිවය. ඉගෝර් ආකින්ෆීව් රුසියාවේ වීරයා වූවා සේම ක්‍රොඒෂියානු ජනතාව අතර වීරයා බවට පත්වූයේ ඩෙන්මාර්ක ක්‍රීඩකයන් එල්ල කළ ගෝල 3 ක්ම ඉවතට තල්ලු කළ ඩැනියෙල් සුබාසික්ය.  

ඇලෙක්සැන්ඩර් ගොලොවින්, ස්මෝලෝව්, ඉග්නේෂිවික් හා ඩෙනිස් චෙරිෂිව් රුසියානු බලාපොරොත්තුවලට ජිවය කැවීමට බලා සිටිති. අයිවන් රැකිටික්, මාර්සෙලෝ බ්‍රොසොවික්, අයිවන් පෙරිසික් ක්‍රොඒෂියාව ශක්තිමත් කිරීමට සිතා සිටින බැවින් එය එතරම් ලෙහෙසි පහසු කාරණාවකුත් නොවේ.

 

සැකසුම : මොහාන් ප්‍රනාන්දු

 


අදහස් (0)

රුසියාවට අලුත් බලාපොරොත්තු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.