Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රීසා - සුරාජ් හඹාගොස් ජයගනිති

රීසා - සුරාජ් හඹාගොස් ජයගනිති

ශනුක අරවින්ද - 2016 අප්‍රේ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නුවරඑළිය මාර්ග මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ යතුරුපැදි අංශයෙන් වැඩි දස්කම් දැක්වීමට රීසා ඔඩෙයාර් සහ සුරාජ් පෙරේරාද, මෝටර් රථ අංශයෙන් වැඩි දස්කම් දැක්වීමට රජිත් උළුවිටද සමත් වූහ.

ප‍්‍රමුඛ සේසත් සමග කළ කරට කර සටනකින් අනතුරුව තරගාවලියේ වේගවත්ම යතුරුපැදි ඉසව්ව වූ ‘එම්’ කාණ්ඩයේ නවීකරණය කළ සහ නවීකරණය නොකළ යතුරුපැදි ඉසව්වේ විවෘත තරගය ජයගැනීමට රීසා ඔඩෙයාර් සමත් විය.

වට 8 කින් සමන්විත වූ එම තරගයේ අවසන් වටයේ අවසන් මිනිත්තු කිහිපය දක්වාම පෙරමුණ ගැනීමට ප‍්‍රමුඛ සේසත් සමත් වූ නමුත් මුල් වට 7 පුරාම ඔහු පසුපස හඹාගිය රීසා ඔඩෙයාර් තරගයේ නිමාව පෙනෙන තෙක්මානයේදී ඔහු පසුකර ඉදිරියට ඇදෙමින් පළමු වැනියා ලෙස තරගය නිමා කළේය.

එම ඉසව්වේ පළමු තරගය (සි. ධා. 900 සිට 1000 දක්වා) ජයගැනීමට ප‍්‍රමුඛ සේසත් සමත් වූ අතර රීසා ඔඩෙයාර්ට එහිදී දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදුවිය. විවෘත තරගයේ තෙවැනි ස්ථානය ශ්‍රීයන්ත අනුරාධටද, පළමු තරගයේ තෙවැනි ස්ථානය ඉන්සාෆ් බාෂිර්ටද හිමිවිය.

තවත් වේගවත් ඉසව්වක් ලෙස සැළකෙන ‘එස්. එම්.’ කාණ්ඩයේ සුපර් මෝටාඞ් යතුරුපැදි ඉවසව්වේ විවෘත තරගයේදීද නරඹන්නන්ට එවැනි ආකාරයේ සිදුවීමක් දැකගත හැකි විය.

වට 8 කින් සමන්විත වූ එම තරගයේ මුල් වට 7 නිමාවන තුරු පෙරමුණේ ගමන් කිරීමට ප‍්‍රවීන කී‍්‍රඩක ආනන්ද වෙඩිසිංහ සමත් විය. කෙසේ වුවත් මුල් වට 7 පුරාම ඔහු සමග ඉතා තියුණු තරගයක නිරත වූ සුරාජ් පෙරේරා, අවසන් මොහොතේදී වෙඩිසිංහ පසුකර යමින් තරගය ජය ගත්තේය.

එම ඉවසව්වේ පළමු තරගය (සි. ධා. 250 සිට 450 දක්වා) ජයගැනීමට ආනන්ද වෙඩිසිංහ සමත් වූ අතර එහිදී සුරාජ් පෙරේරාට හිමිවූයේ දෙවැනි ස්ථානයයි. මෙම සුපර් මෝටාඞ් යතුරුපැදි තරග දෙකේම තෙවැනි ස්ථාන හිමිකර ගැනීමට ඉකුත් වසරේ පැවැති තරගාවලියේ සුපර් මෝටාඞ් අංශයේ ශූරයා බවට පත් වූ ආනන්ද සම්පත් වීරසිංහ සමත් විය.

මෝටර් රථ අංශයේ වැඩි ගෞරව අත්කරගැනීමට රජිත් උළුවිට සමත් වූයේ ‘එස්. එල්. එන්.’ කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය ජය ගනිමින් සහ එම කාණ්ඩයේම (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගයේ දෙවැනි ස්ථානයට පත්වෙමිනි.

‘එස්. එල්. ඊ.’ කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ තරගය ධම්මික පීරිස් සමත්වෙද්දී, ‘එස්. එල්. එන්.’ කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා* ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය ජය ගැනීමට ඔහුගේ පුත් කුෂාන් පීරිස් සමත් වීම සුවිශේෂී සිදුවීමක් විය.

‘එස්. එන්. ඒ.’ කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ තරගය ජය ගනිමින් සහ ‘එස්. එල්. ඊ.’ කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ තරගයේ දෙවැනි ස්ථානයට පත්වෙමින් කැපීපෙනෙන දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 කි‍්‍රකට් කණ්ඩායම් නියෝජනය කළ තුන් ඉරියව් කී‍්‍රඩක සචිත් පතිරණ සමත් විය.

ශ්‍රී ලංකා යතුරුපැදි කී‍්‍රඩා සමාජය, නුවරඑළිය මෝටර් රථ කී‍්‍රඩා සමාජය සහ නුවරඑළිය නගර සභාව සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියට මෝටර් රථ ඉසව් 4 ක් සහ යතුරුපැදි ඉසව් 17 ක් ඇතුළත් විය. තරගාවලිය පසුගිය සති අන්තයේදී නුවරඑළිය නගර මධ්‍යයේදී පැවැත්විණ.

යතුරුපැදි තරග ප‍්‍රතිඵල

‘ඕ’ කාණ්ඩයේ (සි. ධා. 180 දක්වා) ටී. වී. එස්. අපාචි යතුරුපැදි තරගය
1 නිලූක්ෂාන් බාලසූරිය (ටී. වී. එස්. අපාචි 180)
2 ඒ. එස්. නිම්මාන (ටී. වී. එස්. අපාචි 180)
3 චමින්ද ගමගේ (ටී. වී. එස්. අපාචි 180)

‘ඕ’ කාණ්ඩයේ (සි. ධා. 100 සිට 125 දක්වා) නවීකරණය නොකළ යතුරුපැදි තරගය
1 සංජීව උදයකුමාර (හොණ්ඩා ජේ. එක්ස්. 125)
2 චමින්ද සුබසිංහ (හොණ්ඩා සී. බී. එන්. 125)
3 ඩිලාන් රත්නායක (හොණ්ඩා ජේ. එක්ස්. 125)

‘එස්. එම්.’ කාණ්ඩයේ (සි. ධා. 125 සිට 250 දක්වා) සුපර් මෝටාඞ් යතුුරුපැදි තරගය
1 කසුන් ධනුෂ්ක (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
2 ඩිලංක ප‍්‍රභාත් (යමහා වයි. ඉසෙඞ්. 250)
3 සුරේන් කුරේ (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)

‘ඕ’ කාණ්ඩයේ (සි. ධා. 125 සිට 160 දක්වා) නවීකරණය නොකළ යතුරුපැදි තරගය
1 ඒරන් ගුණවර්ධන (හොණ්ඩා සී. බී. ආර්. 150)
2 මංගල පතිරගේ (හොණ්ඩා සී. බී. ආර්. 150)
3 අශේන් වික‍්‍රමරතන (හොණ්ඩා සී. බී. ආර්. 150)

‘එස්. එම්.’ කාණ්ඩයේ (සි. ධා. 250 සිට 450 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි තරගය
1 ආනන්ද වෙඩිසිංහ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 450)
2 සුරාජ් පෙරේරා (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 450)
3 ආනන්ද සම්පත් වීරසිංහ (හොණ්ඩා සී. ආර්. එෆ්. 450)

‘එම්’ කාණ්ඩයේ නවීකරණය කළ සහ නවීකරණය නොකළ (සි. ධා. 175 සිට 250 දක්වා) යතුරුපැදි  තරගය
1 කුංචන ද සිල්වා (හොණ්ඩා සී. බී. ආර්. 250)
2 ජේඞ්න් ගුණවර්ධන (හොණ්ඩා සී. බී. ආර්. 250)
3 චින්තක නිෂාන්ත (හොණ්ඩා සී. බී. ආර්. 250)

‘එම්’ කාණ්ඩයේ නවීකරණය කළ සහ නවීකරණය නොකළ (සි. ධා. 600 දක්වා) යතුරුපැදි තරගය
1 මොහොමඞ් බාසිත් (සුසුකි ජී. එස්. එක්ස්. ආර්. 600)
2 මධුරංග කල්දේරා (යමහා ආර්. VI 599)
3 චමින්ද ද සිල්වා (හොණ්ඩා සී. බී. ආර්. 600)

‘ආර්’ කාණ්ඩයේ (සි. ධා. 100 සිට 250 දක්වා) රේසිං යතුරුපැදි තරගය
1 ජේඞ්න් ගුණවර්ධන (යමහා ටී. ඉසෙඞ්. 125)
2 ශස්රාන් ඉස්මත් නූන් (හොණ්ඩා ආර්. එස්. 125)
3 ආනන්ද වෙඩිසිංහ (හොණ්ඩා ආර්. එස්. 125)

‘එම්’ කාණ්ඩයේ නවීකරණය කළ සහ නවීකරණය නොකළ (සි. ධා. 900 සිට 1000 දක්වා) යතුරුපැදි තරගය
1 ප‍්‍රමුඛ සේසත් (බී. එම්. ඩබ්ලිව්. 1000)
2 රීසා ඔඩයාර් (බී. එම්. ඩබ්ලිව්. 1000)
3 ඉන්සාෆ් බාෂිර් (සුසුකි ජී. එස්. එක්ස්. ආර්. 1000)

‘ආර්’ කාණ්ඩයේ රේසිං යතුරුපැදි විවෘත තරගය
1 රෙහාන් බුල්ජන්ට්ස් (හොණ්ඩා ආර්. එස්. 125)
2 ඒරන් ගුණවර්ධන (හොණ්ඩා එන්. එස්. ආර්. 250)
3 ශස්රාන් ඉස්මත් නූන් (හොණ්ඩා ආර්. එස්. 125)

‘එස්. එම්.’ කාණ්ඩයේ සුපර් මෝටාඞ් යතුරුපැදි විවෘත තරගය
1 සුරාජ් පෙරේරා (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 450)
2 ආනන්ද වෙඩිසිංහ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 450)
3 ආනන්ද සම්පත් වීරසිංහ (හොණ්ඩා සී. ආර්. එෆ්. 450)

‘එම්’ කාණ්ඩයේ නවීකරණය කළ සහ නවීකරණය නොකළ යතුරුපැදි විවෘත තරගය
1 රීසා ඔඩයාර් (බී. එම්. ඩබ්ලිව්. 1000)
2 ප‍්‍රමුඛ සේසත් (බී. එම්. ඩබ්ලිව්. 1000)
3 ශි‍්‍රයන්ත අනුරාධ (යමහා ආර්. VI 599)

මෝටර් රථ තරග ප‍්‍රතිඵල

‘එස්. එන්. ඒ.’ කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ තරගය
1 සචිත් පතිරණ (ඔස්ටින් මිනි 1000)
2 සරත්චන්ද්‍ර (ඔස්ටින් මිනි 1000)
3 දීප්ති සමරකෝන් (ඔස්ටින් මිනි 1000)

‘එස්. එල්. ඊ.’ කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ තරගය
1 ධම්මික පීරිස් (නිසාන් මාර්ච් 1000)
2 සචිත් පතිරණ (නිසාන් මාර්ච් 1000)
3 ඬේවින් සේරසිංහ (නිසාන් මාර්ච් 1000)

‘එස්. එල්. එන්.’ කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය
1 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමීලියා 1300)
2 රජිත් උළුවිට (ෆෝඞ් ලේසර් 1300)
3 සුසන්ත ගුණවර්ධන (ෆෝඞ් ලේසර් 1300)

‘එස්. එල්. එන්.’ කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය
1 රජිත් උළුවිට (ෆෝඞ් ලේසර් 1500)
2 රන්දික නිරෝෂන් (ෆෝඞ් ලේසර් 1500)
3 කාවින්ද සෙනෙවිරත්න (ෆෝඞ් ලේසර් 15000

ඡායාරූප - ශානුක අරවින්ද


අදහස් (0)

රීසා - සුරාජ් හඹාගොස් ජයගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.