Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රාජකීයයෝ 34-17 කින් පළමු අදියර ජයගනිති

රාජකීයයෝ 34-17 කින් පළමු අදියර ජයගනිති

යොහාන් භාසුර - 2019 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර 75 වැනි ‘බ්‍රැඞ්බි පළිහ’ වාර්ෂික රග්බි තරගාවලියේ පළමු අදියරේ තරගයේදී ලකුණු 34-17 ක පහසු ජයක් ලැබීමට රාජකීය විදුහල් ක්‍රීඩකයෝ සමත් වූහ. මෙම තරගය පල්ළෙකැලේ ත්‍රිත්ව විදුහල් රග්බි පිටියේදී අද (01) පස්වරුවේ පැවැත්විණ.

රාජකීය විදුහල් පිල ගෝල තුනකින්, උත්සාහක දිනුම් දෙකකින් සහ දඩුවම් පහරකින් ලකුණු රැස්කළේය. ත්‍රිත්ව විදුහලට ගෝලයකින් සහ උත්සාහක දිනුම් දෙකකින් ලකුණු එකතු විය.

රාජකීය විදුහල් පිල තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 15-12 ක් ලෙස පෙරමුණේ පසුවිය.
ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයෝ තරග ආරම්භයේදී රාජකීය විදුහල් පිලට හොඳ අභියෝගයක් යොමු කළද දෙවැනි අර්ධයේදී ත්‍රිත්ව විදුහල පසු පෙළ ක්‍රීඩකයන්ගේ සටන්කාමී රිද්මය ගිලිහුණි.

ත්‍රිත්ව විදුහල් සෙන්ටර් ක්‍රීඩක ටෙවින් කරුණානායක තරගය ආරම්භ වී හයවැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය. එහි ප්‍රවර්ථනය මිගාර සුබසිංහ වෙතින් ගිලිහී යෑමෙන් ලකුණු පුවරුව 5-0 ක් බවට පත්විය.

රාජකීය විදුහල් පිලේ නායක තුලයිබ් හසන් නවවැනි මිනිත්තුවේදී අනගි ලෙස පන්දුව ගෝල කණු අතර තබමින් සටනට පිටිසියේය. එහි ගෝල ප්‍රවර්ථනය දුලාන් ගුණවර්ධන වෙතින් අසාර්ථක වීමත් සමඟ ලකුණු පුවරුව 5-5 ක් ලෙස සම විය.

සචිත රදීෂාන් 15 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමට දුලාන් ගුණවර්ධන අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ රාජකීය විදුහල ලකුණු 12-5 ක් ලෙස පෙරමුණට පැමිණියේය.

රාජකීය විදුහලට 28 වැනි මිනිත්තුවේදී දුලාන් ගුණවර්ධන සාර්ථක කළ දඩුවම් පහරත් සමඟ ලකුණු තත්ත්වය 15-5 ක් බවට පත්විය.

පළමු අර්ධය අවසන් වීමට මිනිත්තු පහක් තිබියදී ත්‍රිත්ව විදුහලට දිරේන්ද්‍ර රත්වත්ත එකතු කළ උත්සාහක දිනුම මිගාර සුබසිංහ ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු පුවරුව 15-12 ක් ලෙස දිස්විය. රාජකීය විදුහල දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 19 ක් රැස් කළ ද ත්‍රිත්ව විදුහලට රැස්කළ හැකිවුයේ ලකුණු පහක් පමණි.

රාජකීය විදුහලට දෙවැනි අර්ධයේදී ලෙෂාන් ගුණවර්ධන උත්සාහක දිනුම් දෙකක් ද, කෙවින් සමරසේකර උත්සාහක දිනුමක් ද, එකතු කරමින් තව දුරටත් ශක්තිමත් කිරීමට සමත් වූහ. මලීෂ පෙරේරා ගෝල ප්‍රවර්ථන දෙකක් සාර්ථක කරමින් දෙවැනි අර්ධයේදී රාජකීය විදුහලට අතිරේක ලකුණු හතරක් එකතු කළේය.

හර්ෂ සමරසිංහ දෙවැනි අර්ධයේදී ත්‍රිත්ව විදුහලට එකම උත්සාහක දිනුම සම්පූර්න කළේය.

මෙවර දෙවැනි සහ අවසන් අදියර තරගය රාජකීය විදුහල් රග්බි පිටියේදී මේ මස 15 වැනිදා පැවැත්වීමට නියමිතය.

 

(ඡායාරූප - සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි)


අදහස් (0)

රාජකීයයෝ 34-17 කින් පළමු අදියර ජයගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.