Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යුද හමුදාව එෆ්. ඒ. කුසලාන දිනාගනී

යුද හමුදාව එෆ්. ඒ. කුසලාන දිනාගනී

Nisanka Sandeepani - 2018 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මෙලනය සංවිධානය කළ ‘වැන්ටේජ්’ එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට යුද හමුදා කණ්ඩායම සමත් විය. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී ගෝල 4-2 ක් ලෙස සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය පරාජය කරමින් යුද හමුදා ක්‍රීඩකයෝ එම ශූරතාවට හිමිකම් කීහ. 

යුද හමුදාව එෆ්.ඒ. කුසලාන දිනාගත් හයවැනි අවස්ථාව මෙන්ම පිට පිටම ඊට හිමිකම් කී තෙවැනි අවස්ථාව ලෙසද මෙය සටහන් විය. 

තරගයේ පළමු මිනිත්තුවේදීම මීටර 30 ක පමණ දුරකින් සිට ගෝලයක් ලබාගැනීමට සෝන්ඩර්ස් කණ්ඩායමේ සුන්දරාජ් නිරේෂ් උත්සාහ කළද, පන්දුව ගෝල කණුවේ වැදී ඉවතට ඇදීයෑම නිසා ඔහුගේ එම උත්සාහය අසාර්ථක විය. සිය පාපන්දු දිවියෙන් සමුගැනීමේ තරගයට ක්‍රීඩා කළ සෝන්ඩර්ස් කණ්ඩායමේ කසුන් ජයසූරිය 6 වැනි මිනිත්තුවේදී සිය කණ්ඩායමට පළමු ගෝලය ලබාදීමට තැත් කළද, එයත් වලක්වාලීමට යුද හමුදා කණ්ඩායමේ දැළ රකින ක්‍රීඩක මොහෙමඞ් ලුත්ෆිලේ සමත් වූයේය. 

මුල් මිනිත්තු 10 තුළ සෝන්ඩර්ස් කණ්ඩායම සතුව තිබූ තරගයේ පාලනය සියතට ගනිමින් දක්ෂ ලෙස තරගයට අවතීර්ණ වූ යුද හමුදා කණ්ඩායම 16 වැනි මිනිත්තුවේදී මොහොමඞ් ඉසඩීන් ලබාගත් ගෝලයත් සමග 1-0 ක් ලෙස තරගයේ පෙරමුණ අත්කර ගත්තේය.

තරගයේ 21 වැනි මිනිත්තුවේදී යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් දෙවැනි ගෝලය ලබාගැනීමට තිබූ අවස්ථාවක් නිරෝෂණ පතිරණට හිමි වුවද, එය සාර්ථක කරගැනීමට ඔහු අපොහොසත් විය. කෙසේ වුවත් එතැන් සිට මිනිත්තු 6 ක් ගතවන විට එනම් 27 වැනි මිනිත්තුවේදී යුද හමුදාව වෙනුවෙන් දෙවැනි ගෝලය ලබාගැනීමට ජෙසුරාජ් බර්නාඞ් සමත් වූයේ සිය කණ්ඩායම 2-0 ක් ලෙස ඉදිරියට රැගෙන යමිනි.  

යුද හමුදා ක්‍රීඩකයකුගේ නීති විරෝධී ක්‍රියාවක් හේතුවෙන් 34 වැනි මිනිත්තුවේදී සෝන්ඩර්ස් කණ්ඩායමට දඬුවම් පහරක් හිමිවූ අතර එය සාර්ථක කරගත් සුන්දරාජ් නිරේෂ් සිය කණ්ඩායමට පළමු ගෝලය ලබාදුන්නේය. ඒ අනුව ගෝල 2-1 ක් ලෙස යුද හමුදාවට පෙමුරණ අත්කර දෙමින් තරගයේ පළමු අර්ධය නිමාවට පත්විය. 

යුද හමුදා කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩාකළ සජිත් කුමාර පළමු අර්ධයේ අතිරේක කාලයේදී තරගයට අවතීර්ණ වූ අතර තරගයේ 54 වැනි මිනිත්තුවේදී කහ කාඞ්පතක් ලැබීය. එය මෙම තරගය තුළදී ඔහු ලැබූ දෙවැනි කහ කඞ්පත වූ බැවින් රතු කාඞ්පතක්ද ලබාදෙමින් ඔහුව තරගයෙන් ඉවත් කිරීමට විනිසුරුවරයා කටයුතු කළේය. ඒ අනුව එතැන් පටන් තරගය නිමාවන තෙක්ම ක්‍රීඩකයන් 10 දෙනෙක් සමගින් ක්‍රීඩා කිරීමට යුද හමුදාවට සිදුවිය. 

62 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබාගනිමින් තරගය සම තත්වයට පත්කිරීමට සෝන්ඩර්ස් කණ්ඩායමේ ඉන්ද්‍රීව උදාර ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට යුද හමුදා කණ්ඩායමේ දැල රකින්නා සමත් වූ අතර 79 වැනි මිනිත්තුවේදී සෝන්ඩර්ස් කණ්ඩායමේ සුන්දරාජ් නිරේෂ් එල්ල කළ පහරක් ගෝල කණුවේ ඉන් වැදී ඉවතට ඇදී ගියේය. එය නිරේෂ්ගේ පන්දු යොමු කිරීමක් ගෝල කණුවේ වැදී ඉවතට ගිය දෙවැනි අවස්ථාව විය. 

අවසන් මහ තරගයේදී සිය දෙවැනි ගෝලයත් ලබගනිමින් යුද හමුදා කණ්ඩායම ගෝල 3-1 ක් ලෙසින් ඉදිරියට ගෙන යෑමට මෙහොමඞ් ඉසඩීන් සමත් වූයේ 84 වැනි මිනිත්තුවේදීය. එතැන් පටන් තවත් මිනිත්තු 4 ක් ගතවන විට එනම් 88 වැනි මිනිත්තුවේදී සුන්දරාජ් නිරේෂ්ට එකවරම රතු කාඞ් පතක් හිමිවූයේ යුද හමුදා ක්‍රීඩකයකුට වැලමිටෙන් පහරදීම හේතුවෙනි. 

සෝන්ඩර්ස් කණ්ඩායමේ චමෝද් දිල්ෂාන් 93 වැනි මිනිත්තුවේදී තවත් ගෝලයක් ලබාගනිමින් ගෝල 3-2 ක් ලෙස කණ්ඩායම දෙක අතර තිබූ පරතරය අඩු කිරීමට සමත් විය. එහෙත් දෙවැනි අර්ධයේ අතිරේක කාලයේදී යුද හමුදා කණ්ඩායමට සිවුවැනි ගෝලයත් අත්කර දුන් කසුන් ප්‍රදීප් තරගයේ අවසන් ප්‍රතිඵලය ගෝල 4-2 ක් බවට පත්කළේය. 

තරගාවලියේ වැඩිම ගෝල ලාභියා බවට පත්වෙමින් රන් පාවහන දිනාගැනීමට යුද හමුදාවේ මොහොමඞ් ඉසඩීන් සමත් වූ අතර දක්ෂතම දැල රකින්නා ලෙස එම කණ්ඩායමේම මොහොමඞ් ලුත්ෆි රන් අත්වැසුමට හිමිකම් කීවේය. 

යුද හමුදා කණ්ඩායමේ ආර්.එම්. වරකාගොඩ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මන දිනාගත්තේ ය. 

AAAA

BBB

CCCC

CDDDD

ඡායාරූප - වරුණ කරුණාසේකර


අදහස් (0)

යුද හමුදාව එෆ්. ඒ. කුසලාන දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.