Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මේ ගෙවෙන්නේ අඳුරුතම හෝරාවයි - මාවන්

මේ ගෙවෙන්නේ අඳුරුතම හෝරාවයි - මාවන්

Nisanka Sandeepani - 2019 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සිංහ ධජය රැගත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ගෙන් වෙනදා මෙන්ම ක්‍රීඩාංගණ පිරී පැවැති නමුත් ගෙවී ගිය මාස හය හතක කාලය ඇතුළත ඔවුන්ට තම සිතැඟි පරිදි කොඩිය වනන්නටත් අත්පොළසන් දෙන්නටත් අවස්ථාවක් නොවීය. සැමදාම පාහේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් ක්‍රීඩා පිටියෙන් නික්මී ගෙදර ගියේ කළකිරුණු සිතිනි. නැත්නම් ක්‍රීඩකයන්ට බැණ අඬ ගසමිනි. 

ශ්‍රී ලංකාවේ ජීවත් වන අයට වඩා ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට එය වඩාත් අමිහිරි අත්දැකීමක් විය. මක්නිසාද යත් ඔවුන්ගේ සේවා ස්ථාන වලදී මුණ ගැසෙන ඉන්දියානු සහ පාකිස්තානුවන්ගේ සරදම් වදන් වලින් ගැලවීම මහත්සේ අසීරු වන බැවිනි. 

පසුගිය වසරේ (2018) සැප්තැම්බර් මාසයේදී පැවැති ආසියානු කුසලාන තරගාවලියේදී ඇෆ්ඝනිස්ථානය හමුවේ ලද පරාජයෙන් ආරම්භ වූ කඩා වැටීම තවමත් නිමා වී නැත. ආසියානු කුසලාන තරගාවලියේ සිට මේ දක්වා එක දිගට පැවැති එක්දින තරග 10 කින් තරග 8 ක් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම එතෙක් මෙතෙක් ජයගෙන ඇත්තේ එකම එක්දින තරගයක් පමණි. සැප්තැම්බරයේ සිට මේ දක්වා පැවැති ටෙස්ට් තරග 7 කින් 6 ක්ම පරාජය විය. අනෙක් ටෙස්ට් තරගයද ජය පරාජයෙන් තොරව නිමා වූවා මිස මාස හයකින් මෙපිට ටෙස්ට් ජයග්‍රහණයක් නොවේ. 
කණ්ඩයමේ බෙදීම් ඇතිවී තිබේ. නායකයෝ නායකයෝ ගැටෙති. පුහුණුකරුවෝ හිටි අඩියේ කණ්ඩායම හැරයති. කොටින්ම කියතොත් ශ්‍රී ලංකා කණ්ඩායම මහත් අවුල් සහගත තත්ත්වයකට පත්වී සිටින බව අතිශයෝක්තියක් නොවේ. ඒ බව ක්‍රීඩා අමාත්‍යවරයාම ප්‍රසිද්ධියේ පිළිගනී. 

ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරගාවලිය පරාජය වීමෙන් පසු හිටපු නායකයකු මෙන්ම ජාතික කණ්ඩායමේ හිටපු පුහුණුකරුවකුද වන මාවන් අතපත්තු ‘ක්‍රික්බස්’ වෙබ් අඩවියේ භාරත් සුන්දරේසන් හමුවේ සිය හඬ අවදි කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමාන ස්වභාවය පිළිබඳ කදිම විවරණයක යෙදෙන මාවන් අතපත්තුගේ වදනින් චිත්‍රණය කෙරෙන්නේ අතිශය භයංකාර අනාගතයකි. 

මේ ගෙවෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අඳුරුතම යුගයද ?

අවංකවම කියනවා නම්, අතීතයේදීත් අසීරු කාල වකවානු නොතිබුණා නෙමෙයි. ඒත් ඒ හැම වෙලාවෙම අපි හිරවෙලා හිටපු අඳුරු බිම්ගෙයි කෙළවර එළියක් පෙනුණා. එත් දැන් නම් කටයුතු කාරණා සිද්ධ වෙන හැටියටයි, ඒවා හසුරුවාගන්නා ආකාරයයි දිහා බැලුවාම ආලෝකයක සේයාවක් වත් පෙනෙන්නට නෑ. මා එහෙම කියන්නේ හේතු දෙක තුනක් නිසා නෙමෙයි. හේතු රාශියක් තිබෙන නිසයි. 

පිටින් එන ප්‍රශ්න. කණ්ඩායම ඇතුළේ ප්‍රශ්න. කිසිම සැලැස්මක් නැතිකම. ඒ වගේම පිටින් ඉඳන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළට එන්න හදන අයගේ කෙරුවාවල් පවා මේ තත්ත්වය ඇතිවීමට හේතුවක් වෙලා තියෙනවා. මේ හැම කෙනාටම තියෙන්නේ එකිනෙකට වෙනස් විදිහේ අදහස් හා අරමුණු....මා කියන්නේ මේකයි. බොහෝ වෙලාවට අපි කිහිප දෙනෙක් ඉන්න තැනක අදහස් ගොන්නක් තියෙන්න පුළුවන්. ඒත් අපි සියලු දෙනාටම එක අරමුණක් තියෙන්න ඕනා. ඒ වෙනුවෙන් සියලු දෙනාම එක්ව ගමන් කරන්න ඕනා. 

අද එකක් කරලා ආයෙ හෙට කියනවා අපි ඊයේ කරපු එක වැරදියි කියලා. ඒත් ඒක ඒ විදිහට දිගටම අරන් යනවා. මේකේ තේරුම මොකක්ද ?

ඒ කියන්නේ මේ වන විට කණ්ඩායමට බොහෝ දුරින් ඉන්න ඔබටත් ඒ අඳුර පෙනෙනවාද ?

මට ආලෝකයක් පෙනෙන්නේම නෑ. මාත් ඉන්නේ බිම්ගේ ඇතුළේ සිරවෙලා වගේ. කිසිම ආලෝකයක් පෙනෙන්නේ නෑ. මට ඒ ගැන පුදුමයක් නැති වුණත් ‘අනේ මම වැරදියි’ කියලා හිතන්න මා උත්සාහ කරනවා. ඒත් මෙතැන ඉන්න සමහර ක්‍රීඩකයන්ට වගේම කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ අයත් ඉන්නේ මා වගේම අසරණ වෙලා. ඒක හරිම භයංකාරයි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පද්ධතිය ඇතුළේ සිටින අයට හොඳටම දැනෙනවා තමන්ගේ ඉදිරි ගමන භයංකාරයි කියලා.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මේ තත්ත්වයට ඇද වැටුණේ කොහොමද ?

‘සංක්‍රාන්ති සමය’ කියලා යෙදුමක් තියෙනවානේ. (කණ්ඩායමක ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනකු එක විට විශ්‍රාම ගැනීමෙන් පසුව පැමිණෙන නවකයන් කිසියම් පළපුරුද්දක් ලබාගනිමින් පූර්ණ තරග කරුවන් ලෙස හැඩ ගැසීමට ගතවන කාලය) මේක, ඒ කියන්නේ ‘සංක්‍රාන්ති සමය’ කියන යෙදුම දිගින් දිගටම භාවිතා කළා වැඩියි. 

මා හිතන්නේ මේ ‘සංක්‍රාන්ති සමය’ කියන වචන දෙක සම්පූර්ණයෙන්ම අමතක කරලා, නැත්නම් අපගේ ක්‍රිකට් ශබ්දකෝෂයෙන් සදහටම මකලා දාන්න ඕනේ. ඒක ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩකයකුටත්. වර්තමාන ක්‍රීඩකයකුටත්, පුහුණුකරුවකුට මෙන්ම සාමාන්‍ය ක්‍රිකට් ලෝලියකුටත් එක වගේම බලපානවා.

ඇත්ත. සංගා, මහේල සහ ඩිල්ෂාන් තුන්දෙනාගේම සේවය අහිමි වුණා. දැන් හේරතුත් නෑ. ඒත් ඒ වෙනුවට වෙනත් ක්‍රීඩක පිරිසක් ඉන්න ඕනේ. ඔවුන් කෙරේ විශ්වාසය තබන්න පුළුවන් වෙන්න ඕනේ. ඔවුන්ට අපේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. ඒත් මාස 18 ක විතර කාලයක් ඇතුළේ ක්‍රීඩකයන් 30 ක් විතර කණ්ඩායම ඇතුළට එන්නයි, කණ්ඩායමෙන් එළියට යන්නයි වුණාම, කාටවත් විශ්වාසයක් නෑ කාත් එක්කද දිගටම ක්‍රීඩා කරන්නේ කියලා. කා ගැනද විශ්වාසය තියන්නේ කියලා. 

තරගාවලියෙන් තරගාවලියට නැත්නම් රටින් රටට යනකොට එක එක විදිහේ පිතිකරු ලයිස්තු නම් තියෙන්නේ ඒකෙන් ක්‍රීඩකයන් අවුල් වෙනවා. ඒකෙන් සියලු දෙනාමත් අවුල් වෙනවා. ක්‍රීඩකයන් වගේම ක්‍රීඩා ලෝලීන් පවා. ඒක හරියට මේ වගේ....ශ්‍රී ලංකාවෙදි ඔබ මට කියනවා මා අංක 3 පිතිකරුවා ලෙස ඉතාම හොඳයි කියලා. මාස තුනකට විතර පස්සේ වෙනත් රටකට ගියාම කියනවා ඔයාව එතෙන්ට හරියන්නේ නෑ. ඒ නිසා මින් පස්සේ ඔයා අංක 3 ක්‍රීඩා කරන්නේ නෑ කියලා. මේකෙන් කියැවෙන්නේ මොකක්ද ?

මේ අවිනිශ්චිතතාව කණ්ඩායම ඇතුළට කිඳා බැස්සා. ඒත් හොඳ කණ්ඩායමක හැම දෙනාම දන්නවා මේ තමයි ආරම්භක පිතිකරුවෝ, මේ තමයි අංක 3 පිතිකරුවා වගේ දේවල්. ක්‍රිකට් ලෝලියකුට වුණත් ඒ ගැන ආයෙ කාගෙන් වත් අහන්න දෙයක් නෑ. ඒ ගොල්ලන් ඒ ගැන දන්නවා. 

ඒ කාලෙ, ඒ කියන්නේ අපේ කාලෙ,  කවුරුහරි කිව්වා නම් “කඩුලු දෙකක් වැටිලා” කියලා අහගෙන ඉන්න කෙනා දන්නවා අරවින්ද කඩුල්ලේ ඉන්නවා කියලා. ඒ ගැන ආයෙ අහන්න දෙයක් නෑ. දැන්, මේ දවස්වල, ඉන්දියාව වෙනුවෙන් කඩුල්ලක් දවාගත්තේ දඟ පන්දු යවන්නෙක් කියලා කිව්වොත් හැමෝම දන්නවා ඒ අශ්වින් කියලා. ඒත් ශ්‍රී ලංකාව වෙනුවෙන් එහෙම කිව්වොත්..කවුද? සඳකැන්ද ? කියලා අහන්න වෙනවා. 

ඔබ 2015 වන තුරු කණ්ඩායමේ සිටියා. ඔබ හිතන ආකාරයට මේ කඩා වැටීම නවත්වන්න බැරි විදිහට පටන්ගත්තේ කොතැනින්ද ?

වසර 2015 දී අප ඉන්දියාව සහ පාකිස්තානය හමුවේ පරාජය වීමෙන් පසු මා කණ්ඩායමෙන් ඉවත් වුණා. සංගා සමුගත්තෙත් ඒ තරගාවලි දෙකේදීමයි. ඒ වෙනකොට ඔහු කණ්ඩායම තුළ විශාල යමක් කරමින් හිටියා. එත් සංගාගේ සමුගැනීමෙන් පසුව, සියල්ලම අනෙක් පැත්තට හැරුණා. ඒ සඳහා වගකියයුතු විශාල පිරිසක් හිටියා. 
මා කියන්නේ පරිපාලන නිලධාරීන්, පුහුණුකරුවන්, මාධ්‍ය මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයන්ට වුණත් එක අරමුණක් තියෙන්න ඕනේ. එක සැලැස්මක් තියෙන්න ඕනේ. ඒත් පරිපාලන නිලධාරී කණ්ඩායම් දෙකක් සැරෙන් සැරේ ඇවිත් එකිනෙකට පරස්පර දේවල් කිව්වාම, තේරීම් කමිටු දෙකක් ඇවිදින් දෙවිදියක් කිව්වාම කොහාමද හරියට වැඩක් කරන්නේ ?

අපි උදාහරණයක් ගනිමු. චාමික කරුණාරත්න. එයා ටෙස්ට් ක්‍රිකට් ගහන්න සූදානමින් හිටියාද ? මගේ ප්‍රශ්නය ඒකයි. එයාට පළමු ඕවරයේදීම කඩුල්ලක් ලැබුණ එක හොඳයි. එයාට ලකුණු 50 ක් ගහන්නත් පුළුවන්. ඒත් එකෙන් කියැවෙන්නේ මොකක්ද? ඒක හරියට කණා පල්ලමක් වගේනේ....එයා හරියට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් වත් පුහුණුවීම් කරලා තිබුණාද ? එයා සූදානමින් හිටියේ නෑ. මේ වෙලාව්දී ඕස්ටේ්‍රලියාවට ඇවිදින් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරනවා කියන එක එයාගේ හීනෙක වත් තිබුණේ නෑ....එහෙනම් සැලසුම් කොහේද ?
කිසිම සැලැස්මක් නෑ. හැම දේම හරියයි කියලා හිතන් ඉන්නවා. ඒත් ඒ දේවල් (ටෙස්ට් තරගක් දිනනවා කියන එක) එහෙම වෙන්නේ නෑ. 

මේ සම්බන්ධයෙන් ඔබ ඉස්සරවෙලාම චෝදනා කරන්නේ කාටද ?

කිසියම් තනි පුද්ගලයකුට ඇඟිල්ල දිගු කරන්න බෑ. ඒත් ඇත්තටම බැලුවොත් තම තමන්ගේ එදිරිවාදිකම් පැත්තකින් තියන්න කවුරුවත් කැමති නෑ. මේ වෙලාවේ හැමෝම බලන්නේ හැමෝගෙන්ම ඡන්දය ගන්න. 
ඒ ඡන්දය ගැනීම “මම ඔයත් එක්ක ඉන්නවා” කියන එකනේ. ඒකෙන් කියැවෙන්නේ “ආ මෙන්න මෙයත් මගේ පැත්තේ” කියලා මිස රටේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියකට තියෙන එකඟතාවක් ගැන නෙමේ. මම බලයට ආවොත් මම ඇවිදිල්ලා මේ දේවල් වෙනස් කරනවා කියන එක නෙමේ”

ඒත් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වශයෙන්, අපට අපේ ක්‍රිකට් ක්‍රීඩාව හොඳට තියෙන්න ඕනා. ක්‍රිකට් වෙනුවෙන් යමක් කරන්න නම්, උදව් කරන්න ඕනෑ නම්, බලය එනකම් බලා ඉන්නේ ඇයි ?

ඔබේ කාලයේ හිටපු ක්‍රීඩකයන් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කිසියම් දෙයක් ආපසු දෙනාවද ?

මට පුළුවන් මා ගැන කියන්න. 
මට නම් මේ වෙලාවේ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න ඕන නෑ. මොකද කාගෙවත් ආධාරකාරයෙක් කියලා ලේබලයක් අලවා ගන්න මට ඕන නෑ. මා ඉතාමත් සන්තෝෂයෙන් මගේ කාලයේ ක්‍රිකට් ක්‍රීඩාව කරන්න වාසනාවන්ත වුණා. මා දැන් එයින් සමු අරගෙන කරදරයක් නැතිව, පාඩුවේ ඉන්නවා. 

ඒත් වචනයකින් හරි මට ඒ වෙනුවෙන් දායකත්වයක් දරන්න පුළුවන් නම් මම කරනවා. ඒත් එහෙම කරන්නේ නිවැරදි කණ්ඩායමක් එක්ක ඉඳගෙනයි. ප්‍රසිද්ධිය තකාගෙන නොවෙයි....මගේ කාලයේ බොහෝ දෙනා මේ ප්‍රතිපත්තියම අනුගමනය කරමින් නිහඬව ඉන්න ආකාරය මට පෙනෙවා

ඔබ හිතන ආකාරයට බලයේ ඉන්න අය මේ තත්ත්වය තේරුම් අරන් තියෙනවාද ?

මා හිතන්නේ ඔවුන් ඒ බව තේරුම් අරගෙනයි ඉන්නේ. ඒත් ඔවුන් ඒ ගැන කතා නොකර ඉන්න උත්සාහ කරනවා. ශ්‍රී ලංකාවේ හැමෝටම ඕනෑ කරන්නේ බලයයි. ඒත් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මට යමක් කරන්න උවමනායි කියන එක කවුරුවත් කියන්නේ නෑ. අනෙක් ක්‍රීඩා බැලුවත් ඒ වගේම තමයි. 

ඔබ හිටපු ක්‍රීඩකයෙක් නම්, ඒක වැටුපක් නොලබන ගරු සේවයක් වෙනුවෙන් මේ තරම් එකිනෙකා එක්ක කා කොටා ගන්නේ ඇයි ? එහෙම කරන්න ඕන නෑ නේ. ක්‍රීඩාව වෙනුවෙන් සැබෑ ආදරයක් තියේ නම්, ඊට වඩා හොඳ නැද්ද කට්ටියම එකතු වෙලා, කිසියම් ප්‍රතිපත්තියක් හදාගෙන, ඒ වෙනුවෙන් කටයුතු කිරීම. ඒත් දැන් සිද්ධ වේගෙන යන්නේ එක එක්කෙනා තම තමන්ගේ කීර්තිය පසු  පස්සේ හඹා යනවා

 


අදහස් (0)

මේ ගෙවෙන්නේ අඳුරුතම හෝරාවයි - මාවන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.