Last Update  :  2024-03-28 18:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මීටර 1500 ශ්‍රී ලංකා වාර්තාව අලුත් වෙයි

මීටර 1500 ශ්‍රී ලංකා වාර්තාව අලුත් වෙයි

නාමල් පතිරගේ - 2019 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සුගතදාස පිටියේදී අද (16) ආරම්භ වූ 97 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී මීටර 1500 (කාන්තා) ඉසව්වෙන් නව වාර්තාවක් (විනාඩි 4 තත් 15.86) පිහිටුවීමට පළපුරුදු ක්‍රීඩිකා නිමාලි ලියනආරච්චි සමත් වූවාය. ඒ අතර අද දිනයේ සුවිශේෂිතම සිදුවීමක් වූයේ මීටර 100 කඩුලු ඉසව්වෙන් ලක්මිණි සුගන්ධි දැක්වූ දස්කම්ය.

එම ඉසව්ව තත්ත්පර 13.59කට ජයගත් සුගන්ධිගේ එම තරග නිමි කාලය වාර්තා වන්නේ ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවූ හිටපු සුපිරිතම කඩුලු පැනීමේ ශූරිය වන ශ්‍රියානි කුලවංශගෙන් පසුව ක්‍රීඩිකාවක් වාර්තා කළ එම ඉසව්වේ හොඳම දක්ෂතාව ලෙසයි.

වසර 2004 දී තරග බිමෙන් සමුගත් පොදුරාජ්‍ය මණ්ඩලයීය හා ආසියානු ශූරතා පදක්කම්ලාභිනියක් වූ ශ්‍රියානි කුලවංශගේ එහි හොඳම කාලය ලෙස වාර්තා වන්නේ තත්පර 12.91කි.

1996 ඇට්ලන්ටා ඔලිම්පික් උලෙලේදී ඇගෙන් වාර්තා වූ එම දස්කම අදටත් මීටර 100 කඩුලු ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව  ලෙස නොනැසී පවතී.

අද කඩුලු පැනීමෙන් දක්ෂතා දැක්වූ යුද හමුදා ක්‍රීඩිකා ලක්මිණි සුගන්ධිගේ පෞද්ගලික පුහුණුකරු වන්නේ වසන්ත කුමාර මහතාය. මෙහි ජාතික ශූරතා තරග වාර්තාවට තවදුරටත් හිමිකම් කියන්නේද තත්පර 13.25ට ශ්‍රියානි  කුලවංශය. ඒ 1999 දීය.

මේ අතර මීටර් 6.23කට විදුෂා ලක්ෂානි දුර පැනීම (කාන්තා) ඉසව්ව ජය ගත්තේ එහි පළපුරුදු ක්‍රීඩිකාවන් දෙදෙනකු වන සාරංගි සිල්වා (මීටර් 5.92) හා අංජානි පුල්වංශ (මීටර් 6.02) පරාජයට පත් කරමිනි.

චාමලි ප්‍රියදර්ශනි සතුව මෙම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව තවදුරටත් පවතින්නේ  මීටර 6.43කට ය. වසර 2015 දියගමදී ඇගෙන් එම දක්‍ෂතා වාර්තා වුවාය.

මිටර් 6.32කට (2010) එහි ජාතික  ශුරතා තරග වාර්තා වාර්තාවවටද චාමලි ප්‍රියදර්ශනී සම අයිතිවාසිකම් කියන්නේ 1999 දි තරගාවලියට සහභාගිවූ ඉන්දිය ක්‍රිඩිකා අංජු මාකොස් සමගිනි.

මෙම වසරට නියමිත සාග් ක්‍රීඩා උළෙළට සහභාගි වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම නිර්දේශ කිරීම  මුලික අරමුණ කර ගත් මෙවර ජාතික මලල ක්‍රීඩා ශුරතා  තරගාවලියේ තවත් ඉසව්  ගණනාවක් හෙට සහ අනිද්දාත්  (17-18) සුගතදාස පිටියේදී පැවැත්වේ.

මිටර් 10000 (කාන්තා) ,මීටර 1500(පිරිමි),රිටි පැනීම)(කාන්තා),යගුලිය විසි කිරීම (කාන්තා හා පිරිමි), මිටර් 100 හා මිටර් 400 කාන්තා හා පිරිමි, හෙල්ල විසි කිරීම (කාන්තා) මිටිය විසිකිරීම (කාන්තා හා පිරිමි),උස පැනීම (පිරිමි),යගුලිය විසි කිරිම(කාන්තා හා පිරිමි) මිටර 10000 යන ඉසව්හි අවසන් තරග හෙට පැවැත්විමට නියමිතය.

මේ අතර සැප්තැම්බර් මාසයේදී කටාරයේදී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා  ශූරතා තරගාවලියට සුදුසුකම් සපුරා ගැනිමේ අවස්ථාවක්ද මෙවර ජාතික ශුරතා  තරගාවලියෙන් ශ්‍රී ලංකා ක්‍රිඩක  ක්‍රිඩිකාවන්ට හිමිව තිබේ.

එසේ වුවත් අද දිනයේදි එවැනි ලෝක ශුරතා සුදුසුකම් සපුරා ගැනිීමේ අවස්ථාවක් කිසිදු ක්‍රිඩකයකු හෝ  ක්‍රිඩිකාවක් වෙතින් පළ නොවුහ.

එසේ ලෝක ශූරතා තරග පරිසාදන මට්ටමට එතෙක් ආසන්න වී සිටි ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර මීටර 3000-බාධක ක්‍රීඩිකා නිලානි රත්නායකගේ දක්ෂතා ඊයේ ජාතික තරගාලියේදී විනාඩි 9 තත්පර 50.74 කට අවම වී තිබුණි. මීටර් 80.22 ක මෑතක සිය හොඳම දක්ෂතාව පළ කර සිටි හෙල්ල වීසිකිරීමේ ක්‍රීඩක සුමේධ රණසිංහගේ අද සුදුසුකම් පළ කෙරෙන දක්ෂතාව මීටර 69.47 ක් දක්වා අඩු අගයක් ගත්තේය.

තුන් පිම්ම ක්‍රීඩක ග්‍රේෂන් ධනංජය මීටර් 16.95 ක ලෝක ශූරතා අවම සුදුසුකම් අපේක්ෂාවෙන් ඊයේ තරග වැදීමේ දී පළ වූයේ මීටර 16.10 ක් පමණි. ඔහු සිය ඉසව්වෙ දී යුද හමුදා ක්‍රීඩක සෆ්රින් අහමඞ්ට (මීටර් 16.13) පරාජය වීම ද ඊයේ කැපී පෙණුනි. ඒ අතර මීටර් 100 ශූර හිමාෂ ඒෂාන් මූලික වටයේ දී ඊයේ තත්පර 10.47 ක් වාර්තා කර සිටියේය. කටාර් ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් සපිරීමට නම් ඔහු අවම තත්පර 10.10 කට මීටර් 100 නිමා කළ යුතුය.

97 වැනි වරටත් පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේ මෙතෙක් නොබිඳි පවතින පැරණිතම වාර්තාව රංජිත් සුබසිංහ සතුවේ.ඒ 1993 තරගාවලියේදි මීටර 800 (පිරිමි) ඉසව්වට තරග වදිමිනි.විනාඩි 1 තත්පර 48.56 කට එම වාර්තාව පිහිටුවා තිබේ. ඊයේ නිමාලි ලියනආරච්චි පිහිටුවූ මීටර් 1500 නව ශ්‍රී ලංකා වාර්තාවේ පෙර හිමිකම චමෝදි දිල්රුක්‍ෂි සතු වුවාය. ඒ වසර 2012 දී  විනාඩි 4 තත්ත්පර 16.42කටය.


අදහස් (0)

මීටර 1500 ශ්‍රී ලංකා වාර්තාව අලුත් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.