Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මැතිව්ස්ගේ වික්‍රමාන්විතයට උපදෙස් ‘සංගා’ගෙන්

මැතිව්ස්ගේ වික්‍රමාන්විතයට උපදෙස් ‘සංගා’ගෙන්

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කුසල් මෙන්ඩිස් සමග එක්ව වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගලවාගත් ඇන්ජලෝ මැතිව්ස් තමන්ගේ වික්‍රමාන්විත ඉනිමට පසුබිම වූයේ “හිටපු නායක කුමාර් සංගක්කාරගේ උපදෙස්” යයි කියයි.

වෙලින්ටන් නුවර බේසින් රිසව් ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 296 ක් ලබාගැනීමේ අභියෝගයට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 3 ක් ලකුණු 13 ක් ඇතුළතදී බිඳ වැටිණ. එහෙත් කුසල් මෙන්ඩිස් සමග එක්වූ ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 274 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගලවා ගත්තේය.

මෙම පිතිකරුවන් දෙදෙනා තරගයේ සිව්වැනි දිනය පුරාම පන්දුවට පහර දුන්නේ එකම කඩුල්ලක් හෝ දවාගැනීමේ අවස්ථාව පන්දු යවන්නන්ට නොදෙමිනි.

පළමු ඉනිමේදීත් ලකුණු 9 කට කඩුලු 3 ක් දැවී තිබියදී පිටියට පිවිස ලකුණු 83 ක් ලබාගත් මැතිව්ස් දෙවැනි ඉනිමේදී කණ්ඩායම වෙනුවෙන් දැක්වූ දායකත්වය ලකුණු 120 කි. මෙම සුවිශේෂී ඉනිම දෙක සඳහා පසුබිම සැකසූයේ කුමාර් සංගක්කාරගෙන් තමන්ට ලැබුණු අවවාද බව මැතිව්ස් කියයි.

“මම කුමාර් අයියාත් එක්ක පොඞ්ඩක් කතා කළා. අපි අවසන් වතාවට වෙලින්ටන්හි ගහපු ටෙස්ට් තරගයේදී ඔහු ද්විත්ව ශතකයක් ලබාගත්තා....මට දැනගන්න උවමනා කළේ එයා එතැනට ගියේ කොහොමද?...එයා ඒ ගැන හිතුවේ කොහොමද කියන එකයි..?” යයි ඇන්ජලෝ මැතිව්ස් ‘ක්‍රික් ඉන්ෆෝ’ වෙබ් අඩවියට පවසා තිබිණ.
“අපි වැඩිපුරම කතා කළේ හිතන්න ඕන දේවල් සහ පහර තේරීම ගැනයි”

“එක එක පන්දු යවන්නන් වෙනුවෙන් එයා තෝරා ගත්ත පහර ගැන ඔහු මට කියා දුන්නා. පන්දු යවන්නන් දපනේ දමාගන්නා ආකාරයත් මට කියා දුන්නා...ඊට පස්සේ මේ ක්‍රීඩාංගණ වලදී මම ක්‍රීඩා කර ලබාගත් අත්දැකීම් සියල්ලත් ප්‍රයෝජනයට ගත්තා...ඔහුගේ අවවාදත් සිහියේ තියාගත්තා” යයිද මැතිව්ස් පැවසීය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් වරට ටෙස්ට් ද්විත්ව ශතකයක් ලබාගත් පිතිකරුවා වන කුමාර් සංගක්කාර 2015 වෙලින්ටන් ටෙස්ට් තරගයේදී ලකුණු 203 ක් ලබාගත්තේය.

පැය හයකට වැඩි කාලයක් පිටියේ රැඳුණු මැතිව්ස් ඒ සෑම අවස්ථාවකදීම තමන්ගේ සාහයක පිතිකරුවා වූ කුසල් මෙන්ඩිස් සමග දිගින් දිගටම කතා බහ කළේය. විවේක කාලයෙන් විවේක කාලය දක්වා තමන්ගේ කඩුල්ල ආරක්‍ෂා කරගන්නා ආකාරය ගැන දෙදෙනාම සාකච්ඡා කළහ. මේ අතරවාරයේදී නවසීලන්ත පන්දු යවන්නෝ තමන්ගේ ආක්‍රමණය වෙනස් කරමින් බවුන්සර් පන්දු වරුසාවක් ආරම්භ කළහ. එහෙත් මෙන්ඩිස් හෝ මැතිව්ස් යටත් නොවූහ.

තවමත් 23 හැවිරිදි ක්‍රීඩකයකු වන කුසල් මෙන්ඩිස් මෑතකදී දිගින් දිගටම අසාර්ථක වීම නිසා මුහුණු පොතේ සාමාජිකයන්ගේ ගර්භාවට ලක්ව සිටින නමුත් දීප්තිමත් අනාගතයක් හිමි ක්‍රීඩකයෙකි. මේ වන විටත් ටෙස්ට් ශතක හයක හිමිකරුවකු වන මෙම අලංකාර දකුණත් පිතිකරුවා, කිසියම් දිනෙක ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ත්‍රිත්ව ශතකයක් ලබාගත හැකි පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටින්නෙකි.

“අපි බොහෝ දේවල් සාකච්ඡා කළා. ඒක ඉතාමත් වැදගත් දවසක්. අපි දෙන්නාට වගේම කණ්ඩායමටත්. ඒත් කණ්ඩායම තමයි මුලින්ම වැදගත් වෙන්නේ”

“අනෙක් අතට කුසල් වගේ තරුණ ක්‍රීඩකයකුගෙන් ඒ වගේ පරිණත බවක් දැකගන්න ලැබෙන එකත් සුවිශේෂී දෙයකි. අපේ ඉනිම වඩාත් හොඳ තත්ත්වයක් ගන්නා බව අපි දෙන්නාම අත්දැකීමෙන් දැනගෙන හිටියා” යයිද මැතිව්ස් කීවේය.

“ඔවුන් අපේ ඇඟට පන්දු යැව්වා. ඒත් පන්දුව එන දිහාවට පිත්ත දැම්මේ නැත්නම් මම දැවී යන්නේ නෑනේ....ඉතින් මම පන්දුව ඇඟේ වැදෙද්දීත් පිත්ත නොදා හිටියා...අනෙක් අතට පන්දු යවන්නන්ටත් ඒ පණිවුඩය දෙන්න මම උත්සාහ කළා....ඕගොල්ලන්ට ඕන තරම් ඇඟට පන්දු එවන්න. ඒත් මම මේක අතහරින්නේ නෑ යයි මම හිතාගත්තා” යයිද මැතිව්ස් පැවසීය.

සිව්වැනි දවසේ අවසන් කොටස ඉතාමත් තීරණාත්මක තත්ත්වයක තිබිණ. තරගයේ අවසන් දිනය වූ 19 වැනිදා වර්ෂාව ඇතිවේ යයි ඒ වන විටත් අනාවැකි පළ වී තිබිණ.

“ඒක හරිම තීරණාත්මක කොටසක්. කුසලුයි මමයි ඒ ගැන කතා කළා. මොකද ඊළඟ දවසේ තිබුණේ වෙනස්ම තත්ත්වයක්. ඒක එහෙමම වුණා” යයිද මැතිව්ස් පැවසීය.

අන්තර්ජාතික තරග වලදී වැඩිම ලකුණු ලබාගත් ශ්‍රී ලාංකික පිතිකරුවන් අතර ඇන්ජලෝ මැතිව්ස් 8 වැනියා වී සිටී. ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 අන්තර්ජාතික තරග වලින් ලකුණු 12,000 කඩයිම පසුකිරීම සඳහා මැතිව්ස්ට තවත් අවශ්‍ය වන්නේ ලකුණු 66 ක් පමණි.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි සහඅවසන් ටෙස්ට් තරගය මෙ මස 26 වැනිදා ක්‍රයිස්ට්චර්ච් නුවරදී ආරම්භ වේ.

අන්තර්ජාතික තරග වලදී වැඩිම ලකුණු ලබාගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ

28,016 - කුමාර් සංගක්කාර
25,957 - මහේල ජයවර්ධන
21,032 - සනත් ජයසූරිය
17,671 - තිලකරත්න ඩිල්ෂාන්
15,646 - අරවින්ද ද සිල්වා
14,036 - මාවන් අතපත්තු
12,561 - අර්ජුන රණතුංග
11,934 - ඇන්ජලෝ මැතිව්ස්


- අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිල වෙබ් අඩවිය ඇසුරිනි

සැකසුම - දමින්ද විජේසූරිය


අදහස් (0)

මැතිව්ස්ගේ වික්‍රමාන්විතයට උපදෙස් ‘සංගා’ගෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.