Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මාලිංග තනි අතින් ශ්‍රී ලංකාව දිනවයි

මාලිංග තනි අතින් ශ්‍රී ලංකාව දිනවයි

editorial - 2019 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ සිට)

පිතිකරුවන් අසාර්ථක වූ නමුත් තනිවම හෝ තරගය දිනන්නෙමැයි අදිටන් කරගත් ලසිත් මාලිංග කළ ඓතිහාසික පන්දු යැවීම නිසා මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති විස්සයි-20 තරගයේදී ලකුණු 37 ක අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

විස්සයි-20 තරගයක ජයග්‍රහණයක් සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන ලකුණු 125 ක් ආරක්‍ෂාකර ගැනීම වෙනුවෙන් අද්වීතීය පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා විස්සයි-20 නායකයා එකම ඕවරයකදී තුන්වරක් ක්‍රිකට් ඉතිහාස පොතට එක්විය. මාලිංගගේ මෙම සුවිශේෂී පන්දු යැවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම වසරකට පසුව විස්සයි-20 තරගයක් ජයගත්තේය.

ශ්‍රී ලංකා පිලේ අවසන් විස්සයි-20 ජයග්‍රහණය වාර්තා වන්නේ 2018 අගෝස්තු 14 වැනිදා දකුණු අප්‍රිකානු පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීය. එතැන් සිට වි-20 තරග හතක්ම එක දිගට පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 4 ක් ඉතිරිව තිබියදීම නවසීලන්ත පිල සම්පූර්ණයෙන් දවාගනිමින් අද තරගය ජයගත්තේය.
පළමු තරග දෙකම ජයගත් නවසීලන්ත පිල 2-1 ක් ලෙසින් තරගාවලිය ජයගත්තේය.

සිය දෙවැනි ඕවරයේ තුන්වැනි පන්දුවෙන් කොලින් මුන්රෝ දවාගත් මාලිංග විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී කඩුලු 100 ක් දවාගත් ලෝකයේ පළමු වැනි පන්දු යවන්නා ලෙසින් ඉතිහාස ගතවිය. අනතුරුව යැවූ පන්දු දෙකේදී හමීෂ් රදර්ෆර්ඞ් සහ කොලින් ඩි’ග්‍රැන්ඞ්හෝම් දවාගනිමින් කඩුලු ත්‍රිත්වයක් ලබාගත් මාලිංග විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී කඩුලු ත්‍රිත්ව දෙකකට හිමිකම් කී ලොව පළමු වැන්නා ද වූයේය.

නවසීලන්ත පිලේ වඩාත්ම පළපුරුදු පිතිකරුවා වන රොස් ටේලර් පිටියට ආවේ මාලිංග කඩුලු ත්‍රිත්වය ලබාගැනීමෙන් පසුවය. එහෙත් කිසිදු පැකිලීමකින් තොරවම රොස් ටේලර්ටත් යෝකර් පන්දුවක් යොමුකළ වේග පන්දු යවන්නා විස්සයි-20 අන්තර්ජාතික තරගයකදී පිට පිටම පන්දු 4 කින් කඩුලු 4 ක් දවාගත් ලොව දෙවැනි ක්‍රීඩකයා ලෙසින් ක්‍රිකට් ඉතිහාස පොතට එක්වූයේය. මාලිංගට පෙර විස්සයි-20 තරගයකදී පිට පිටම පන්දු 4 කින් කඩුලු 4 ක් දවාගෙන ඇත්තේ ඇෆ්ඝනිස්තානු ක්‍රීඩක රෂීඞ් ඛාන් පමණි. අයර්ලන්තයට එරෙහිව දෙහෙරාදුන්හිදී පැවැති තරගයේදී රෂීඞ් ඛාන් එම කඩුලු 4 දවාගත්තේ ඕවර දෙකකදීය.

කෙසේ වෙතත් එක්දින සහ විස්සයි-20 යන ආකාර දෙකේදීම පන්දු 4 කින් කඩුලු 4 ක් දවාගත් ලොව එකම පන්දු යවන්නා ලසිත් මාලිංගයි. වසර 2007 ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයදීත් පිට පිටම පන්දු 4 කින් කඩුලු 4 ක් දවාගැනීමට මාලිංග සමත් වූයේය.

නවසීලන්ත පිතිකරුවන් වෙත මාලිංග යැවූ තුන්වැනි ඕවරයේදී තවත් කඩුල්ලක් දවාගත් වේග පන්දු යවන්නා 5 වැනි ඕවරය වන විට කඩුලු 5 කට ලකුණු 23 ක් ලෙස ලකුණු පුවරුව වෙනස් කළේය. එයින් ධෛර්යවත් වූ අකිල ධනංජය ශ්‍රී ලංකාවට මහත් කරදරකාරයකුව සිටි මිචෙල් සෑන්ට්නර් සහ ස්කොට් කුග්ලෙජින් දෙදෙනාගේ ඉනිම අවසන් කළේය.

10 වැනි ඕවරය නිමා වූයේ ලකුණු 52 ක් ඇතුළත 9 වැනි කඩුල්ලත් ඇද වැටීමෙනි. එහෙත් කෙසේ හෝ තරගය ජයගැනීමට උත්සාහ කළ නවසීලන්ත නායක ටිම් සවුති, සිය අවසන් පිතිකරුවා වූ සෙත් රැන්සි සමග එක්ව ලකුණු 35 ක සම්බන්ධතාවක් ගොඩනැංවූවද උපායශීලී ලෙසින් සවුතිට ලකුණක් දුන් මාලිංග අවසන් පිතිකරුවා දවාගැනීමේ අවස්ථාව ලක්ෂාන් සඳකැන්ට උදාකර දුන්නේය.

තරගය ජයගත් නමුත් ඉහළ මට්ටමේ ප්‍රහාරාත්මක පිතිකරුවන්ගේ හිඟයත් නවක ක්‍රීඩකයන්ගේ අත්දැකීම් මඳ භාවයත් මෙම තරගයේදී කදිමට ප්‍රදර්ශනය විය.

පිට පිටම තුන්වැනි වතාවටත් කාසියේ වාසිය දිනාගත් ලසිත් මාලිංග කිසිදු පැකිළීමකින් තොරවම පන්දුවට පහර දීම තෝරා ගත්තේ අරමුණු දෙකක් පෙරදැරිවය. එකක් පිතිකරුවන්ට නිදහසේ පන්දුවට පහර දීම සඳහා ලකුණු පුවරුවේ පීඩනයට ඔවුන් නතු නොකිරීමේ අටියෙනි. අනෙක දෙවැනි දිනයටත් යොදාගන්නා තණතීරුවේදී තවත් ඕවර 20 ක් යැවීමෙන් පසුව තම දඟ පන්දු යවන්නන්ට අවස්ථාව දීමටය. එහෙත් පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන් මාලිංගගේ සැලසුම් වතුරේ ගියේය.

“අපි බලාපොරොත්තු වුණේ ලකුණු 140  කට වැඩි සංඛ්‍යාවක්. ඒත් අපට එතැනට යන්න බැරිවුණා” යයි මාලිංග තරගයෙන් අනතුරුව පැවසීය.

ශ්‍රී ලංකා පිතිකරුවන් කෙතරම් දුරට අසාර්ථක වූයේද යත් ශ්‍රී ලංකා ඉනිමේ පන්දු 120 ක් හතරේ සීමාව පසුකර ගියේ පන්දු 10 ක් පමණි. පිතිකරුවන් දැවී ගිය පන්දු 8 අතහැරීමෙන් පසුව තවත් පන්දු 49 ක්ම නිලකුණු පන්දු විය.

දඟ පන්දු යවන්නන් වශයෙන් අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මිචෙල් සෑන්ට්නර් කඩුලු 3 ක් දවාගත්තා මදිවාට සිය ඕවර 4 දී පිතිකරුවන්ට ලබාගැනීමට අවසර දුන්නේ ලකුණු 12 කි. සෑන්ට්නර්ට කදිම සහයෝගයක් දුන් ටොඞ් ඇස්ට්ල් ගුග්ලි පන්දුව මැනවින් උපයෝගී කරගනිමින් සිය ඕවර 4 දී ලකුණු 28 කට කඩුලු 3 ක් දවාගනිද්දී නායක ටිම් සවුති තමන්ගේ ඕවර 4 ලකුණු 16 කට නවතා ගත්තේය.

තරගයේ වීරයා වශයෙන් ලසිත් මාලිංග සම්මාන දිනාගත් අතර නවසීලන්ත නායක ටිම් සවුති තරගාවලියේ වීරයා වශයෙන් සම්මාන ලැබීය.

ඡායාරූප - චමිල කරුණාරත්න


අදහස් (0)

මාලිංග තනි අතින් ශ්‍රී ලංකාව දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.