Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මාලිංගට දැන් වයසයි වේගය අඩුවෙලා - ෂිකාර් ධවාන්

මාලිංගට දැන් වයසයි වේගය අඩුවෙලා - ෂිකාර් ධවාන්

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

මාලිංගගේ පන්දු හමුවේ
බිම දැමූ උඩපන්දු 12 ක්

ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ ස්ථානය අහිමි වීම නිසා පවුලේ උදවියත් සමගින් නිවාඩුවක් ගතකිරීම සඳහා හොං කොං බලා ගොස් සිටි ෂිකාර් ධවාන් හදිසියේම ශ්‍රී ලංකාවට කැඳවන ලද්දේ ලෝකේෂ් රාහුල් අසනීපව සිටි බැවිනි.

ගාල්ල ටෙස්ට් තරගයේදී රාහුල්ගේ ස්ථානය ගත් ධවාන් ටෙස්ට් තරගාවලියේදී ශතක දෙකක් ලබාගැනීමෙන් අනතුරුව දඹුල්ලේදී පැවැති එක්දින තරගාවලිය ආරම්භ කළේත් කස පිපිරෙන වේගයෙන් ලබාගත් ශතකයකිනි.

ඉන්දීය පිතිකරුවකු ශ්‍රී ලංකාවේදී ලබාගත් වේගවත්ම එක්දින ශතකය (විනාඩි 96 යි, පන්දු 71 යි, 4x16 යි, 6x3 යි) ලෙසින් වාර්තාව වූ මෙම ශතකය ඉන්දීය ආරම්භක පිතිකරුවාගේ 11 වැනි එක්දින ශතකයද විය. ශ්‍රී ලංකා පිලේ පරාජය කෙරෙහි වඩාත්ම තීරණාත්මක සාධකය වූ මෙම ශතකය ලබාගැනීමට ධවාන්ට තිබුණේ පහසු අවස්ථාවකි.

ශ්‍රී ලංකා පිලේ පළපුරුදුම වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංගගේ ජවය සිඳී ගොස් තිබුණු අතර පළපුරුදු වේග පන්දු යවන්නන් වන ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා දෙදෙනාම එක්ව යැවූයේ ඕවර 4 ක් පමණි.

එක්දින තරග 200 ක අත්දැකීම් ඇති ලසිත් මාලිංගගේ ඕවර 8 කින් ලකුණු 52 ක් උදුරාගත් ඉන්දියානුවෝ ලසිත් මාලිංග අබියස දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 197 ක අඛණ්ඩ සම්බන්ධතාවක්ද ගොඩනැංවූයේ මෙම විශිෂ්ට පන්දු යවන්නාගේ කීර්තිනාමයට අභියෝග කරමිනි.

තරගයෙන් පසුව මාලිංගගේ පන්දු යැවීම සම්බන්ධයෙන් විමසූ කල්හි ෂිකාර් ධවාන් කියා සිටියේ මෙවන් කතාවකි.

“මාලිංග කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ යෝධයෙක්. එයා අන්තර්ජාතික තරග බිමේදී සියලුම ආකාරයේ ක්‍රිකට් තරගවලදීත් කරලා තියෙන දේවල් අති විශාලයි....ඒත් එයා දැන් ටිකක් වයසයි. ඒ නිසා මා හිතන්නේ කාලයත් එක්ක එයාගේ වේගය ටිකක් බාල වෙලා”

“ඒ නිසා තමයි මාලිංග හමුවේ ටිකක් විතර ආක්‍රමණශලී වෙන්න පිතිකරුවන් වශයෙන් අපට පහසු වෙලා තියෙන්නේ. ඒක සාමාන්‍යය තත්ත්වයක්. එයා ඒ තරම් කාලයක් ක්‍රිකට් ගහලා තියෙනවා..මේක හරියට කැරකෙන රෝදයක් වාගේ. ජීවිත රෝදේ...අපි හිතන්නේ එහෙමයි” යයි ධවාන් කීවේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම සම්බන්ධයෙන් දිගින් දිගටම කළ විමසීම් හමුවේ සහෝදර ක්‍රීඩකයන් (ප්‍රතිවාදී පිලේ වුවද) ආරක්‍ෂා කරගැනීම සඳහා දැඩි උත්සාහයක් ගත් නමුත් ධවාන්ගේ මුවින් අවසානයේදී මෙම වදන් වැල ගලා ආවේය. ලසිත් මාලිංගගේ වේගය අඩුවී ඇතිබව කියන්නේ රූපවාහිනියෙන් තරග නරඹන ප්‍රේක්ෂකයකු නොවේ. ලසිත්ට මුහුණ දුන් පිතිකරුවෙකි. එම ප්‍රකාශයේ තිබෙන වැදගත්කම එයයි.

දස්කම් අවප්‍රමාණ වීම නැතහොත් වෙනත් සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ගේම කණ්ඩායමේ හෝ ප්‍රතිවාදී පිලේ ක්‍රීඩකයකු මාධ්‍ය හමුවේ විවේචනය නොකිරීමේ ප්‍රතිපත්තියක් අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩකයෝ අනුගමනය කරති. ක්‍රීඩකයන් වශයෙන් පවතින සහෝදරත්වය සම්බන්ධයෙන් එය අගය කළ හැකි නමුත් ඇත්ත කතා කිරීම සම්බන්ධයෙන් නම් ඒ ගැන ඇත්තේ මතවාදයකි. ඇරත් අන්තර්ජාතික තරග වලදී ක්‍රීඩකයන් මාධ්‍ය හමුවට පැමිණෙන අවස්ථා ගණන් කළ නොහැකි තරම් වන බැවින් ඉදිරියේදී තවත් අයකු වෙතින් තමන් විවේචනයට ලක්වීමට ඇති ඉඩකඩ අහුරා දැමීමත් එහි එක් පරමාර්ථයකි.

අද රටවල් දෙකකට ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ හෙට අයි.පී.එල්. හෝ බිග් බෑෂ් නැතහොත් නැට්වෙස්ට් බ්ලාස්ට් හෝ සී.පී.එල්. තරගාවලියේදී එකම කණ්ඩායමක් වෙනුවෙන් තරග කරති. අයි.පී.එල්. නොතිබූ නමුත් වර්ණභේදවාදය තදින්ම තිබූ 1980 දශකයේදීත් සමර්සෙට් ප්‍රාන්තය වෙනුවෙන් එකට ක්‍රීඩා කළ එංගලන්තයේ ශ්‍රීමත් ඉයන් බොතම් සහ බටහිර ඉන්දීය දූපත් සමූහයේ ශ්‍රීමත් විවියන් රිචඞ්ස් හතරේ සීමාවෙන් පිටතදී පවා පුදුමාකාර සහෝදරත්වයකින් බැඳී සිටියහ. එබැවින් ක්‍රීඩකයකු සම්බන්ධයෙන් තවත් ක්‍රීඩකයකු පවසන දේ පිළිබඳ ගැඹුරට සිතීම පසෙක තබා අප හමුවේ ඇති සංඛ්‍යාත්මක දත්ත විශ්ලේෂණය කිරීම වඩාත් ප්‍රතිඵල දායකය.

මේ (2017) වසරේදී එක්දින තරග 9 කට සහභාගි වෙමින් ඕවර 72.5 ක් යවා ඇති ලසිත් මාලිංග දවාගෙන ඇත්තේ කඩුලු 7 ක් පමණි. ආසන්න වශයෙන් ඕවර 10 කට එක කඩුල්ලකි. හරියටම කියන්නේ නම් පන්දු 62 කට එක කඩුල්ලකි. මේ එක තරගයක තත්ත්වය නොවේ. මාස 8 ක දත්ත විශ්ලේෂණය කිරීමකි. මේ කාලය ඇතුළත ලසිත් මාලිංග විසින් යවන ලද ඕවර 72.5 කින් ප්‍රතිවාදී පිතිකරුවන් උදුරාගත් ලකුණු ප්‍රමාණය 432 කි. කඩුල්ලක් වෙනුවෙන් ලකුණු 61.71 කි.

මෙම දත්ත වලින් ෂිකාර් ධවාන්ගේ ප්‍රකාශය කදිමට තහවුරු වුවද ලසිත් මාලිංගගේ පැත්තෙන් සාධාරණව බලන කල්හි ඔහුගේ පන්දු හමුවේ ශ්‍රී ලංකා පන්දු රකින්නන් විසින් බිම අතහරින ලද උඩපන්දු සංඛ්‍යාව 12 කි. එම කඩුලු 12 ත් මාලිංගගේ ගිණුමට එක්වූයේ නම් මේ වසර තුළදී ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 22.73 ක් වැනි ඉතාමත් යහපත් තත්ත්වයකට පත්වන්නට තිබිණ. එසේ වූයේ නම් ශූරයන්ගේ කුසලාන තරගවලියේදී ඊට වඩා වැඩි දුරක් යාමට ශ්‍රී ලංකා පිලට අවස්ථාව තිබූ අතරම පරාජයන් වැල මේ තරම් දිගු වන්නේත් නැත.

දඟ පන්දු යවන්නකුට කෙසේ වෙතත් දිගින් දිගටම උඩපන්දු අතහැරීම වේග පන්දු යවන්නකුට නම් දරාගත නොහැකිය. එවන් තත්ත්වයක් තිබියදීත් “උඩපන්දු අතහැරියාට මැච් පරදින්නේ නැතැයි” කියූ ලසිත් මාලිංග තමන්ගේ සහෝදර ක්‍රීඩකයන් ආරක්‍ෂා කරගැනීමට උත්සාහ කළ හෙයින් කප්පරකට බැණුම් ඇසුවේය.

දඹුල්ලේදී පැවැති තරගයේදී ෂිකාර් ධවාන් ලකුණු 118 ක් ලබා සිටියදීත් ලසිත් මාලිංගගේ පන්දුවකට දුන් උඩපන්දුව උපුල් තරංග විසින් බිම හෙළන ලදි. මෙවන් තත්ත්වයක් හමුවේ වේග පන්දු යවන්නකු කළකිරීමට පත්වීම පුදුමයක් නොවේ. ඔහුගේ උනන්දුව හීනවීමත් පුදුමයක් නොවේ.

ඉරිදා රාත්‍රියේ අතහරින ලද උඩපන්දු දෙකත් සමගින් මේ වසරේදී අතහරින ලද උඩපන්දු සියල්ලේම එකතුව 61 කි. එහෙත් ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වීමට පෙර සිටම පන්දු රැකීමේ පුහුණුකරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වූ නික් පොතාස් මහතා ඒ සම්බන්ධයෙන් කර ඇත්තේ කුමක්ද? දිගින් දිගටම ක්‍රීඩකයන් වෙනුවෙන් කතා කරමින් ඔවුන් ආරක්‍ෂා කරමින් කටයුතු කිරීමෙන් නරක් වන්නේ ක්‍රීඩකයන් සහ කණ්ඩයම පමණක් නොවේ. පුහුණකරුවාගේ කීර්ති නාමයත් කුණුගොඩට එක්වීම වැළැක්විය නොහැකිය.

වැරැද්ද ඇති තැන දැක දැක එය පෙන්වා නොදීමත් වැරැද්දකි.

ෂිකාර් ධවාන් වසර හතක පමණ කාලයක් තිස්සේ ඉන්දීය පිල  වෙනුවෙන් ක්‍රීඩා කරන පළපුරුදු ආරම්භක පිතිකරුවෙකි. මීට පෙර මුහුණ දුන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් සහ වත්මන් පන්දු යවන්නන් අතර වෙනස පැහැදිළි කරන්න’යි ඉරිදා රාත්‍රියේ පැවැති පුවත් පත් සාකච්ඡාවේදී ධවාන්ට අවස්ථාවක් දුන්නේය. ධවාන් ඊට මෙසේ පිළිතුරු දුන්නේ මෙලෙසිනි.

“මෙහෙමයි. මේක තරුණ කණ්ඩායමක්. ඒ ගොල්ලන් දැන් ඉන්නේ කිසියම් පරිවර්තන යුගයක. මේ ළමයින් තව ටික කාලයකින් පරිණත තත්ත්වයට පත්වෙලා හොඳ දස්කම් පෙන්වන්න ගනීවි, මොකද අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී අත්දැකීම් ඕනෑමයි.”

“මේ තරුණ හාදයන් හොඳයි. අත්දැකීම් එක්ක ඔවුන් හොඳ තත්ත්වයකට එයි. මට හිතෙන්නේ එහෙමයි” යයි ධවාන් කීවේය.

ධවාන් කතාකළේ දඹුල්ලේදී එක්දින හිස්වැස්ම ලද විශ්ව ප්‍රනාන්දු (ධවාන් ලකුණු 88 ක් ලබා සිටියදී විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ දුන් උඩපන්දුවක් නිරෝෂන් දික්වැල්ල වෙතින් ගිළිහී ගියේය), ලක්ෂාන් සඳකැන් හෝ වනිඳු හසරංග පිළිබඳව විය හැකිය. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි අනෙක් වේග පන්දු යවන්නන් දෙදෙනා වන තිසර පෙරේරා සහභාගි වී ඇති එක්දින තරග සංඛ්‍යාව 120 කි. ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කළ එක්දින තරග සංඛ්‍යාව 188 කි. එහෙත් ඉරිදා තරගයේදී මේ දෙදෙනාම එක්ව යැවූයේ ඕවර 4 ක් පමණි.

නායකයා කුමක් කළේද ?
එංගලන්තයේ ග්ලොස්ටර්ෂයර් ප්‍රාන්ත පිල වෙනුවෙන් විස්සයි:20 තරග වලට ක්‍රීඩා කරමින් සිටියදී හදිසියේම ලංකාවට ගෙන්වාගත් තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාගෙන් කණ්ඩායමට ලැබෙන්නේ ලකුණු 0 ක් සහ ලකුණු 18 ක් තිළිණ කළ ඕවර 2 ක් පමණි. අනෙක් අතට කඩුලු 2 කට 150 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 8 ම ලකුණු 66 කට ඇද වැටුණද ඉන්දීය පිතිකරුවෝ ඕවර 28.5 කදී කඩුල්ලක් පමණක් දැවී ලකුණු 220 ක් ලබාගන්නාහ.

“මා ඒ ගැන හිතන්න ගියේ නෑ. එන එන පන්දුව දිහා බලලා ඒවාට පහර දුන්නා. මා හිතන්නේ තණතීරුව හොඳ මට්ටමක තිබුණා....ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ආරම්භ කරපු විදිහට අපි හිතුවා ඒගොල්ලන් ලකුණු 300 කට විතර යයි කියලා” යයි තණතීරුව සම්බන්ධයෙන් කළ විමසීමකදී ධවාන් පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් තරුණ කණ්ඩායමක් බවත් අත්දැකීම් එක්වීමත් සමගින් ඔවුන් වඩාත් යහපත් තත්ත්වයට පත්වන බවත් බලධාරීහු පුන පුනා කියති. එහෙත් මේ සුරංගනා කතා ඇසීමෙන් ක්‍රිකට් ලෝලීහු වෙහෙසට පත්ව සිටිති. මේ වන විට එම වෙහෙස නොසන්සුන්තාව සහ කෝපය දක්වා පරිවර්තනය වී තිබේ. දඹුල්ලේදී තරගය අවසන් වීමෙන් පසුව ක්‍රීඩකයන් නංවාගත් බසය අඩහෝරාවකට වැඩි කාලයක් ක්‍රීඩාංගණයේ රඳවාගැනීමට සිදුවූයේ ක්‍රිකට් ලෝලීන්ගේ කෝපය පිටාර ගලන්නට වූ බැවිනි.

දඹුල්ල එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව කඩුලු 2 කට 150 ක් දක්වා ඔසවා තැබුවේ (නිරෝෂන් දික්වැල්ල 64 යි, ධනුෂ්ක ගුණතිලක 35 යි, කුසල් මෙන්ඩිස් 36 යි) තරුණයෝ තිදෙනෙකි. එහෙත් ජ්‍යෙෂ්ඨයෝ (උපුල් තරංග 13, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 36, චාමර කපුගෙදර 1, තිසර පෙරේරා 0) කුමක් කළාහුද ?

මැතිව්ස්ට සහායක පිතිකරුවන් නොසිටි බව සැබෑවකි. එහෙත් එක්දින තරග 615 ක අත්දැකීම් ඇති මෙම පිතිකරුවන් සිවුදෙනාම කණ්ඩායමට එක්කළේ ලකුණු 50 ක් පමණි.

ශ්‍රී ලංකාව පරාජය වීමේ සැබෑ යථාර්තය මෙයයි. එය තරුණ මෙන්ම නැගී එන ක්‍රීඩකයන් මත පැටවීම සහමුළින්ම අසාධාරණය.


අදහස් (1)

මාලිංගට දැන් වයසයි වේගය අඩුවෙලා - ෂිකාර් ධවාන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.