Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මාලිංග ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරයි

මාලිංග ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරයි

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දැන්ම ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් තවමත් තමාගේ කිසිදු අදහසක් නොමැති බවත්, අවස්ථාව හිමි වුවහොත් 2019 වසරේදී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට තමා බලාපොරොත්තුවෙන් සිටින බවත් ලසිත් මාලිංග පවසයි.

එංගලන්ත කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි තරගයේදී මුයින් අලීගේ කඩුල්ල බිඳදමින් සිය 500 වැනි ජාත්‍යන්තර කඩුල්ල දවාගත්  මාලිංග, එම තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී එසේ කියා සිටියේය.

“දැන්මම විශ්‍රාම ගන්න කියලා මගේ බලාපොරොත්තුවක් නැහැ. ඒත් සමහර වෙලාවට මට හිතුන දෙයක් තමා මම හොඳින් ක්‍රීඩා කරනකොට මට අවස්ථාව ලබාදෙන්නේ නැත්නම් මම ඉන්න එකේ තේරුමක් නැහැ කියන එක. ඊට වඩා ලේසියි මට කණ්ඩායමෙන් අයින් වෙන එක. මේ වෙලාවෙ මම බලාපොරොත්තුවෙන් ඉන්නේ අවස්ථාවක් ලැබුණොත් ලෝක කුසලානයට ක්‍රීඩා කරන්න. ඒක මගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය වේවි.”

“ඒත් පහුගිය කාලෙ වෙච්ච දේවල් එක්ක මට ලෝක කුසලාන තරගාවලිය වෙනකන් ක්‍රීඩා කරන්න ලැබෙයිද නැද්ද කියන්න මම දන්නේ නැහැ. මේ තරගය දැන් ඉවරයි. මීළඟ තරගය ක්‍රීඩා කරන්න නුවරට යනකොට කණ්ඩායම වෙනස් වෙන එකක් නැහැ කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ තරගයත් මට ලැබුණොත් ඒකෙදිත් හොඳට ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.” යැයි මාලිංග පැවසීය.

“මගේ ක්‍රීඩා ජීවිතේ මම තේරීම් කමිටු ගණනාවක් එක්ක ක්‍රීඩා කරලා තියෙනවා. එක එක කාල වලට. ඒ එන කට්ටිය එයාලට ඕන විධියට එක එක තීරණ ගන්නවා. අපි ක්‍රීඩකයො විතරයි. අපිට තියෙන්නේ අවස්ථාවක් ලැබුණොත් ක්‍රීඩා කරන්න. මට වසර එකහමාරක් විතර කණ්ඩායමට එන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ.”
“පස්සේ මම කැනඩාවට ගිහිල්ලා සෙල්ලම් කළා, ඒ වගේම මම පළාත් තරග ක්‍රීඩා කරලා ඒකේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වුණා. ඒක නිසා මට අයෙමත් ජාතික කණ්ඩායමට එන්න අවස්ථාවක් ලැබුණා. මම හිතනවා ඒ ලැබුණ අවස්ථාවෙන් මම උපරිම ප්‍රයෝජන ගත්තා කියලා. මට ඕනේ ලැබෙන හැම අවස්ථාවකදිම කඩුලු ලබාගන්න. මම හිතනවා අදත් මම ඒ දේ කළා කියලා.” යැයිද එහිදී මාලිංග වැඩි දුරටත් කියා සිටියේය.

2004 වසරේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් වරම් දිනාගත් මාලිංග, දණහිසේ ආබාධ තත්වයක් හේතුවෙන් 2010 වසරේදී ටෙස්ට් තරගවලින් සමුගන්නා විට තරග 30 කදී කඩුලු 101 ක් දවාගෙන සිටියේය. ඊට කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 3 ක් ඇතුළත්ව තිබූ අතර ඔහුගේ ටෙස්ට් කඩුල්ලක් දවාගැනීම් සාමාන්‍ය 33.16 ක් ලෙස සටහන් වී තිබිණ.   

එක්දින තරග 208 කදී දවාගත් කඩුලු 311 ක් සහ විස්සයි20 තරග 68 කදී දවාගත් කඩුලු 90 ක්ද මාලිංගගේ ජාත්‍යන්තර කඩුලු ගිණුමට බැර වී තිබේ. එක්දින තරගයකදි මාලිංගගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 28.53 ක අගයක් ගන්නා අතර විස්සයි20 තරගයකදී එය 19.78 කට රඳවාගැනීමට ඔහු සමත්ව සිටියි.  

සෙනසුරාදා (13 වැනිදා) එංගලන්තයට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 44 කට කඩුලු 5 ක් දවාගැනීමට මාලිංග සමත් වූ අතර එක්දින තරගයකදී ඔහු එවන් දක්ෂතාවක් දැක්වූ 8 වැනි අවස්ථාව ලෙස එය සටහන් විය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාලිංග මෙසේ පැවසීය.

“කඩුලු 5 ක් දවාගැනීමට හැකිවීම සම්බන්ධයෙන් මට ගොඩක් සතුටුයි. ඒත් තරගය පරාජය වීම ගැන හිතේ ලොකු කණගාටුවක් තියෙනවා. මාත් එක්ක පන්දු යවපු අනිත් පන්දු යවන්නන්ගෙන් ලැබුණ සහයෝගය නැත්නම් මට අද කඩුලු 5 ක් දවාගන්න වෙන්නේ නැහැ. ඒ අය අද හුගක් හොඳට පන්දු යැවුවා. ඒ නිසා තමා මට කඩුලු වැඩි ප්‍රමාණයක් ගන්න හැකි වුණේ.”

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජය සම්බන්ධයෙන් මාලිංග මෙසේ සිය අදහස් දැක්වීය.

“ඕනෑම කණ්ඩායමක් පළමු ඕවර 10 ඇතුළත කඩුලු තුන හතරක් බිඳ වැටුණොත් හුගක් අමාරු තත්වයකට පත්වෙනවා. අවාසනාවට වගේ මේ තරගයේදි අපිට ඒ දේ වුණා. ඒත් හැමදාම එහෙම වෙන්නේ නැහැ. මම හිතනවා අපේ පිතිකරුවෝ අද තරගයේදී ලබාගත්ත අත්දැකීම් එක්ක මීළඟ තරගයේදි හොඳ දෙයක් කරයි කියලා.”

 


අදහස් (0)

මාලිංග ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.